වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




රටේ ගෙදර යයි

රටේ ගෙදර යයි

සැළලිහිණියාගේ වසර තිස් පහක මතක සටහනට අවසන් නිර්මාණය ලෙස කැලෑහඳ ළඟදී ඔබ දකිනු ඇත. බෝගල සවුන්දිරිස්, මහමෙර පාමුල, සිත නිවන කතා ආදී ජාතික රූපවාහිනිය ඔපකළ නිර්මාණ රාශියක්. ඔහු නමින් දයාරත්න රටගෙදරයි. තම රාජකාරි දිවියේදී තමා ළඟ සිටින සියලු දෙනා සිනහ ගස්වමින් තම නිර්මාණය සාර්ථක නිර්මාණයක් ලෙස ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒම ඔහු සතු විශේෂ දක්ෂතාවයකි. මේ වසර 35 පුරාවට ඔහුගේ කලා දිවියේ රසමුසු තැන් අපමණයි. රටගෙදරගේ පෙර දා සිදු වූ සිද්ධීන් පසුදින හිරු කිරණ මිහිතලය සිප ගන්නා විට මතක සටහන් ගොන්නට තවත් රස කතාවකි. ඒ ගෙවන සෑම දිනකම යහළුවන්ට, හිතවතුන්ට ඔහු ගැන නැවත නැවත මතක ආවර්ජනයට අලුත් යමක් ඉතිරි කරදීමට රටගෙදරයන්ගේ පුරුද්දක් විය. එවැනි සුන්දර නිර්මාණ අධ්‍යක්ෂවරයකුගේ රාජකාරි දිවියේ අවසන් දිනය පසු ගිය දින ජාතික රූපවාහිනි පරිශ්‍රයේ තුන්වැනි මැදිරියේදී සිදු විය. ඒ රූපවාහිනි සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන සහ අධ්‍යක්ෂ මණ්ඩලය, කාර්ය මණ්ඩලය හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙනි. එහිදී ප්‍රවීණ හඬ කැවිම් අධ්‍යක්ෂ, නිෂ්පාදක, ලේඛක, දේශක අතුල රන්සිරිලාල්, ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක, චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගවේදී ජැක්සන් ඇන්තනි ගෙනා අතීත මතක සටහන් හා වර්තමාන සිද්ධීන් නිසා රැස්ව සිටි සියලු දෙනාට ගෙනාවේ සිනහවයි.

රූපවාහිනියට වයසින් සමු දුන්න ද, නිර්මාණකරණයෙන් ඔහු සමු නොදෙයි. ඔහුගේ දක්ෂතාවයන්, නිර්මාණයන් මේ මාධ්‍ය ලෝකයට, නව්‍යකරණයට අත්‍යාවශ්‍ය බවයි ඔහු ගැන දේශන පැවැත් වූ සියලු දෙනාගේ මතය ද වූයේ. වසර ගණනාවක් එකට සේවයට පැමිණි 35 කණ්ඩායම අතරට තවත් නොබෝ දිනකින් සැළලිහිණියාගෙන් යන පිරිස ද නැතුවා නොවේය. ඒ යන සියලු දෙනාගේම දක්ෂතාවයන් මේ මාධ්‍ය ලෝකයට අවශ්‍යයි. දක්ෂතාවයන්ගෙන් පිරිපුන් නිර්මාණවේදීන්ගේ සේවය ලබා ගැනීම වගකිවයුත්තන්ගේ යුතුකමක් ද වේ. ඔහු ගැන කතා කළ සැවොම හරසර පුදන්නට එදින අමතක නොකළහ. සමරු ඵලක ද, තෑගි බෝගවලින් අඩුවක් නොවිණි. ඒත් ඔහුට සෙවණැල්ලක් මෙන් දුකේදී සැපේදී සිටිය සැළලිහිණියා හැරදමා යාමට දුකක් ගෙන දුන්නේය. අවසානයේ පැමිණි පිරිසට, ඔහුට හරසර පිදූ සියලු දෙනාට ස්තූතිය පුදන්නට රටගෙදර අමතක නොකළේය. එහි පැමිණි සියලු දෙනාගේ පැතුම වූයේ තව තවත් නව නිර්මාණයන් තුළින් ඔහුගේ මතක සටහන් ගොන්නට තවත් එකක් එකතු කර ගැනීමක් දැකීමය. මේ රටගෙදර සමු ගැනීමේදී සිදු වූ විශේෂ සිද්ධි දාමයන් කිහිපයකි.