වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

පාඨක ප්‍රතිචාර ලියන ඔබට

ප්‍රතිචාර තීරයට අදහස් එවන පාඨක ඔබ තමන්ගේ අදහස ඉතා කෙටියෙන් පැහැදිලිව තැපැල්පත්වල පමණක් ලියා ප්‍රතිචාර තීරයට යොමු කරන්න. ඔබ කියන්නට අදහස් කරන දේ සරල අයුරින් ඉදිරිපත් කර ඇත්නම් පමණක් එම ප්‍රතිචාරයට ඉඩකඩ වෙන්කරලීමට අපි කටයුතු කරමු.

ප්‍රින්ස් අතහැර ගියත්...

හඬ යනු හදවත් තුළ සදාකල්ම රැව් දෙන්නා වූ සංකේතයකි. අමරණීය හඬවල් රාශියක් දායාද කර රූපයෙන් ඈත්වී ගිය ගායක ගායිකාවන් අතර අපූරු ලියාන්විත හඬක් වූයේ ප්‍රින්ස් උදය ප්‍රියන්තය. ඉතා සෙමින් ගමනක් ගොස් කෙටි කලකදී රසික ලොව ජනප්‍රිය කිරුඵ පැලඳ ගත් ප්‍රින්ස් අවාසනාවන්ත ලෙස අප අතහැර ගියේ අපව ගී ලොව අතරමං කොටය.

සමුගත්තේ ඇයි ඉක්මනින්
හැඬවූවේ ඇයි අප මේ ලෙසින්
කිසිදා නොමියෙන බැඳි පෙම් සිතින්
සමුදෙන්නේ කෙලෙසද ඉතින්


දුලබ ගණයේ ගීත කොහි තිබුණේද?

මැතිවරණ විකාශන කාලය පුරා දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ දිගු කලකින් නොඇසූ දුර්ලබ ගණයේ ජනප්‍රිය ගීත රැසක් ශ්‍රවණය කිරීමට අවස්ථාව සැලසිණි. ගීත රුචි ශ්‍රාවක ජනතාව වෙනුවෙන් ගායක ගායිකාවන් ගායනා කළ මෙම ගීත මෙපමණ කාලයක් කොතැනක සඟවා තිබුණේ ද කියා ගැලුවකි. මෙවැනි ගීත රසික ජනතාවට නිරතුරුව ශ්‍රවණය කිරීමට සැලසීම වගකිව යුතු නිලධාරීන්ගේ යුතුකමකි.


මතකයේ රැඳෙන ශ්‍යාමා ආනන්දන්

මව්පිය දෙපළගේ නිෂ්පාදනය හා අධ්‍යක්ෂණයෙන් කරන ලද සිතුවම්පටවලට පමණක් දායක වූ 'ශ්‍යාමා' දුවගේ කටකාර, හැඩකාර, දඟකාර රංගනයන් අප මතකයේ තවමත් රැඳී පවතී.
එදා 70 දශකයේ තිරගත වුණු චණ්ඩි ශ්‍යාමා, බේබි ශ්‍යාමා, හලෝ ශ්‍යාමා යන සිතුවම්වලට කරන ලද රංගනයන් ඉතාම සුන්දරය.

ඉනුත් ''අම්මයි තාත්තයි නැත දුටුවේ - දෙවියොයි බුදුනුයි නැත දුටුවේ' යන සහෝදර ප්‍රේමය දනවන ගීතය ගයමින් බුදුන් වඳින රූප රාමුව ඇතුළත් 'මගේ නංගි ශ්‍යාමා' සිතුවම්පටයේ එම රංගනය කා හටත් අමතකව ඇතැයි නොසිතමි. දුවගේ ගමන් මඟට ආසිරි.


විජය රඟපෑ චිත්‍රපට පෙන්නුවාට ස්තූතියි

පෙබරවාරි මාසයේ 20 - 24 දක්වා විජය කුමාරතුංගයන් ප්‍රධාන චරිතය රඟපෑ අංජානා, ඔබටයි ප්‍රියේ ආදරේ, සෙලිනාගේ වලව්ව, මරුවා සමඟ වාසේ යන චිත්‍රපට ප්‍රදර්ශනය කරමින් අපට රසාස්වාදයක් ලබාදුන් ධ්. ඊ. ව්. නාලිකාවට අපගේ භක්ති ප්‍රණාමය ස්තුතිය මෙයින් පිරිනමමි.


නෙහාරා ලංකාවට එන්න

විශේෂයෙන් පුංචි තිරය හැඩ කළ පුංචි කිරිල්ලී නැති අඩුව දැනෙනවා. හැකි නම් වසරකට එක් ටෙලි නාට්‍යයක හෝ රඟපාන්න ලංකාවට එන්න. ඔබට සුභපැතුම්!


ශ්‍රී දේවි සිහිකරන අපේ රසිකයෝ

බොලිවුඩ් සිනමාවේ 'නොම්මර 1' නිළිය ශ්‍රී දේවිය. ඇය දමිළ, තෙළිඟු, මලයාල වැනි චිත්‍රපට කෙරෙහි විශ්වාස තබා උඩු යටිකුරු කර හිස ඔසවන්නට විය. ශ්‍රී ලංකා රසික හදවත් මුසපත් කළේ 'නාගිනා' චිත්‍රපටයෙනි. ඉංග්ලිස් - වින්ග්ලිස්, මුන්ඩාම් පිරෙහි, ගුරු, අසමසහ චිත්‍රපට සිත් ඇදගන්නා ලෙස රඟපෑහ. 2013 'පද්ම ශ්‍රී' නාමයෙන් පිදුම් ලැබූහ. ඇයට රසික රසිකාවන්ගේ සෝ සුසුම් . . .


නිරෝෂා තව තවත් ගිත අහන්න ආසයි

නිරෝෂා විරාජිනිගේ හඬින් තව තවත් අරුත්බර, ලස්සන, කන්කලු ගීත අහන්න ආසයි. ඔබ විසින් ගැයූ සෑම ගීතයක්ම කනට මීපැණි බඳුයි. ඔබට සරස්වතී මෑණියන්ගේ පිහිට, ඇල්ම, බැල්ම ලැබේවා!


අනුරුද්ධිකා බොළඳ පෙම තාත්විකයි

බද්දට සහ කුලියට ටෙලි සිතුවමේ ආදරය සහ අනාගතය ගැන බොළඳ සිතිවිලිවලින් සිහින මාලිගා තනන අහිංසක පෙම්වතියක් ලෙස රඟන අනුරුද්ධිකා පාදුක්කගේ ඔබගේ ඒ බොළඳ පෙම් චරිතය නම් හරිම තාත්විකයි. තම සොයුරිය සමඟින් කපටි පෙම්වතා කළ කී දෑ මෙනෙහි කරනා විට දෙබස් උච්චාරණය හදවතේ ඇති වේදනාව පිට කරනා අයුරු හරිම අපූරුයි. මේ දිනවල නාළිකා කීපයකම දකින්නට සිටින අනුරුද්ධිකාට අපේ සුභපැතුම්.


සිහින රැයක්

පසුගිය දෙසැම්බර් 31 වන දින රාත්‍රී හිරු ඊ ඍ සේවයෙන් විකාශනය වූ 'සිහින රැයක්' සංදර්ශනය නැවතත් මැතිවරණ දින එම සේවයෙන් විකාශනය වීම සතුටට කරුණක්.
එහි මුල්ම දර්ශනයට පෙනී සිටි විශ්ව - මංජුලා කුමාරිගේ රැඟුමට අමතරව අවසාන දර්ශනයට පෙනී සිටි පුබුදු චතුරංග, මහේන්ද්‍ර සමඟ රශිප්‍රභා දියණිගේ රංගනය ඉතාම දැකුම්කලුය. රශිප්‍රභාගේ සහ මංජුලාගේ සිනහව, නෙතඟ බැල්ම හා රඟනා රැඟුම් චමත්කාරජනකය.
ඔබ දෙදෙනාගේ සියලු කාර්යයන් සපල වේවායි පතමි.


පැරැණි සිනමා ශාලා අදට වැඩිය හෙට හොඳයි

වර්තමානයේ සිනමා ශාලා ඉතා උසස් මට්ටමේ තිබුණත් එදා පැරැණි සිනමා ශාලාවකින් අපට ලැබුණ රස විඳීම අද නොමැත. අද ඇත්තේ ගොඩනැගිලි අතර හිරවුණු සුපර් මාර්කට් වැනි කිසි හරයක් නොමැති ශාලාවන්ය.


යූ. ඩී. පෙරේරා සදා සමරමු

කොලොම්බියා ග්‍රෑම්ෆෝන් යුගයේ ඉතාමත් ජනප්‍රිය ගීත ලියූ මෙම ගීත අදටත් රසවිඳිය හැකි කරුණා මුහුදේ නාමු ගිලීලා, සිළුමිණ සෑය වඳිම්, මුනි නන්දන සිරිපාද වඳිම්, දුල්සල් වනේ ලකල්, නාමෙ නොදිරනා කුණු කය දිරනා මෙම ගීත ඇසෙන මොහොතක් පාසාම යූ. ඩී. පෙරේරා මාස්ටර්ව අමතක කළ හැකි ද?


විජයගේ චිත්‍රපට

ජනකාන්ත චිත්‍රපට නළු ලොව ලස්සනම මානව හිතවාදී හදවත විජය කුමාරතුංගයන් අවසන් වරට රඟපෑ චිත්‍රපට තුනක් වැඩ අවසන්ව ඇතත් එම චිත්‍රපට තිරගත නොකරන්නේ ඇයි?
සමාව, මං මුලා වැල්, වෙස්වලාගත් තරුණිය ඒ චිත්‍රපට ත්‍රිත්වයයි. අයිතිය කා සතු වුව ද දැනට බොහෝ කාලයක් වන මෙම චිත්‍රපට ප්‍රදර්ශනය නොකිරීම විජයගේ රසිකයන්ට කරන අසාධාරණයකි. තවත් ප්‍රමාද නෙකර විජය රුව දැක ගැනීමට අවස්ථාව සලසන්න.


සොඳුරු සිහින දුටු යසපාලිතට

එදා සිංහල සිනමාවට ගෙනා තුෂාරා නිර්මාණය කරමින් එක් වූ යසපාලිත නානායක්කාර ප්‍රදීපේ මා වේවා, ගැහැනියක්, මොණරතැන්න, ටක් ටික් ටුක්, මුවන්පැලැස්ස, ගීතිකා, අංජානා, යුක්තියද ශක්තියද, ඡායා මායා, කදිරා, රෝසි, ජය සිකුරුයි, දේදුන්නෙන් සමනලියක්, රස සාගරයක්, නැවත හමුවෙමු, ජය ශ්‍රි වේ කුමරියේ ආදී සොඳුරු සිහින දුටු සප්ත වර්ණයෙන් රස සාගර හැදූ ඔබ ආදරයෙන් සිහිපත් කරමි.


මුවන්පැලැස්ස විකාශයට ගෞරවනීය ප්‍රණාමය

දේශයේ ගැමි සුවඳ වහනය කළ නාටකය අප සිංහල සංස්කෘතියත් සභ්‍යත්වයත් රැක ගනිමින් දේශයේ දූ දරුවන්ගේ ජීවනාලිය බඳු 'මුවන් පැලැස්ස' දේ්ශයේ රන් හඬ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සෑම සඳුදා දිනකම රාත්‍රී 8.30 ට ප්‍රචාරය කිරිම පිළිබඳ වෙළෙඳ සේවා අසන්නන් වෙනුවෙන් ගෞරවනීය ආචාරය මෙම නාටකය නැවත නිර්මාණය කරන රෝහණ සිරිවර්ධනයන්ට, ලීල් අධිකාරි මහතාට, සියලු රංගන ශිල්පීන්ට දේශයේ උත්තමාචාරය.


වයසට නොයන කටහඬ ක්‍රිස්ටෝපර්

හා මල් පිපෙන්නේ . . . රාමා සීතා ඔබයි මමයි . . . ඇළ දොළ ගංගා . . .ආදී ජනප්‍රිය ගීත ගායනයෙන් රසික හදවත් වසඟ කරගත් ගායන ශිල්පී ක්‍රිස්්ටෝපර් ෆෝල් වයසට නොයන කට හඬක් හා රුවෙන් පිරි නිහතමානී කලාකරුවෙකි. ඔබට චිරන් ජයතු.