වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




මට හරියට කේන්ති යනවා

මට හරියට කේන්ති යනවා

ජාතික නාලිකාවෙන් හමුවන අරෝෂා සමරදිවාකර

අලුත් පරපුර ගැන දුකයි

ඔබේ නම සඳහන් කළොත්?

මම අරෝෂා සමරදිවාකර.

වෘත්තීය?

මුලින්ම නිවේදක. ඊට පසුව නිෂ්පාදන අංශයට යොමු වුණා. අද වන විට ඒ දෙකෙහිම නියැළෙනවා.

ඔබ සේවය කරන රූපවාහිනි නාළිකාව ගැන සඳහනක් කළොත්?

ජාතික නාළිකාව.

ඔබ හාපුරා කියලා මෙහෙය වූ වැඩසටහන මොකක්ද?

ආදරණීය යෞවනය කියලා වැඩසටහනක් විකාශය වුණා මතක ඇතිනෙ. හරියටම අදින් අවුරුදු දොළහකට පමණ පෙර මං එහි බොලිවුඩ් තොරතුරු ගෙන ආවා.

ඔබ නිෂ්පාදනයෙන් දායක වූ වැඩ සටහන් පෙළ මතක් කළොත්?

නුග සෙවන තමයි ප්‍රධාන. ඊට අමතරව සිත් ගත් ගී, පාරමිතා, කුංකුම පොට්ටු.

වර්තමානය වන විට ඔබ දමිළ ජනතාව අතරේ වඩාත් ජනප්‍රිය වැඩ සටහනක් මෙහෙයවනවා?

ඒක විකාශය වන්නේ ජාතික නාළිකාවේ සහෝදර නාළිකාවක් වන නේත්‍රා නාළිකාවේ. සංහිඳියාව පිළිබඳ කියැවෙන එහි නම හාමනි. මෙමඟින් අප දමිළ සිංහල සියලු ජනයාව අමතනවා. භගවත් සී. නිත්‍යානන්දන් තමයි එහි නිෂ්පාදක.

ඔබට දමිළ බස පුළුවන්?

ඔව්. මාව ජාතික නාළිකාවට ගත්තෙත් දමිළ බස මට පුළුවන් නිසා.

ඒ අතීතය මතක් කළොත්?

පවන නාළිකාවේ සේවය කරමින් සිටිය මට දැනගන්නට ලැබුණා ජාතික නාළිකාවට අලුතින් කට්ටිය ගන්නවා කියලා. මමත් අයැදුම් කළා. ෂර්ලි අනිල් ද සිල්වා මහත්තයා ඇතුළු පිරිසයි මාව ඉන්ටර්වීව් කළේ. මට දමිළ බසත් පුළුවන් නිසා ඔවුන් මාව තෝරා ගත්තා. ද්වි භාෂාව පිළිබඳ දැනුම ඇති අය ගොඩක් අඩුයි ඒ කාලේ. ඒකයි මට වැඩි චාන්ස් එකක් ආවේ.

නුග සෙවණ නිෂ්පාදන කටයුතුවල නියැළෙද්දී වෙච්ච අමතකම නොවන අවස්ථා ගැනයි මං ඊළඟට අහන්නේ?

නුග සෙවණ සජීවීවනෙ විකාශය වන්නේ. අපි විනාඩි දොළහ දොළහ තමයි කොටස් බෙදලා තියෙන්නේ. ඔවැනි තත්ත්වයක් මත ගෙස්ට් ආර්ටිස්ට් පරක්කු වුණොත් තමයි අවුල. ඊට හපන් පරක්කු වෙලා එන කෙනා ගායකයෙක් නම් සිංදුවල රිහසල් ඉල්ලීම. එතකොට ඊටත් වඩා අවුල්. මොන දේ වුණත් ආර්ටිස්ට් පරක්කු වුණත් මං කලබල නැහැ. එහෙම වුණා නම් ආර්ටිස් කලබල වෙලා වැඩ සටහනේදී ඕන දේවල් කියන්නේ නැහැ. ඒක නිසා බොහොම සංයමයෙන් අවස්ථාව පාලනය කරනවා.

කේන්ති ගිය මොහොතවල් ඇත්තේම නැතිද?

මගේ නමේ තේරුම කේන්ති නොයන කියන එකනෙ. ඒත් මට හරියට කේන්ති යනවා. පාලනය කරගෙන ඉන්න හින්දා හොඳයි.

ජාතික නාළිකාව දාලා යන්නේ නැත්තේ ඇයි?

ජාතික නාළිකාව කියලා කියන්නේ අපට තිබෙන විශ්වාසම ආයතනයක්. ඇතැම් අය ජාතික නාළිකාවේ විකාශය වන දේවල් විතරයි විශ්වාස කරන්නේ. ජාතික නාළිකාව හරියට ජාතික වේදිකාව වගේ. මට දැනෙනවා වෙනත් නාලිකාවලින් ආරාධනා ලැබුණත් මං නොයන්නේ ඒක නිසයි.

නිෂ්පාදිකාවක් විදිහට අලුත් අය දෙස බලන්නේ කොහොමද?

අලුත් අය දෙස හොඳ විදිහටත් බලනවා, නරක විදිහටත් බලන්න සිද්ධ වෙනවා. මං එහෙම කිව්වේ ඔවුනගේ භාෂාව, සාහිත්‍ය එදිනෙදා ලෝකය පිළිබඳ ඇති දැනුම ඉතා දුර්වල නිසා. එක දවසක් එක්තරා නිවේදිකාවක් අම්මා සඳකි ගීතය මව් ගුණ ගීතයක් ලෙසට හඳුන්වා දුන්නේ. දුක හිතෙනවා එතකොට නම් අලුත් පරපුර ගැන.

ඔබ ගායිකාවක් ලෙසින්ද වරින්වර මතු වුණා. ඒ ගැන වැඩි දෙනකු දන්නේ නැහැ?

පණ්ඩිත් අමරදේවයන්ගේ, ආචාර්ය වික්ටර් රත්නායකගේ ගීතමය ප්‍රසංගවලට මං ගායනයෙන් එකතු වුණා. ටී. එම්. මහත්මයා සමඟ යුග ගීතයකුත් ගැයුවා. ළඟදීම එය අවුට් වේවි.