වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




බැකෝ නැතුව

බැකෝ නැතුව

අපේ නිරෝෂන් ඉලේපෙරුමව හඳුනනවනේ. නළුවෙක් වගේම ඔහු අධ්‍යක්ෂවරයෙක්. අධ්‍යක්ෂණයට පිවිසුණාට පස්සේ තමයි මෑන් ටිකක් මහත් වුණේ. කවුදෝ කියලා අධ්‍යක්ෂණයට එනවා නම් ටිකක් බඩ තියෙන්න ඕන කියලා. කොහොම හරි මේ නිරෝෂන් ගැන කතාවක් තමයි මේ කියන්නට හදන්නේ.

මේකේ කොනක පියුමි ශානිකාත් ඉන්නවා. නිරෝෂන්ලා කාලෙකට ඉහතදී නාට්‍යයක් කරලා ටිකක් දුර ගමක. මෙහෙ දිය ඇල්ලක් තියෙනවාලු.

නාට්‍යයේ රූපගත කිරීම් නිම කොට මේ කට්ටිය ගිහින් අර දියඇල්ල ගාවට නාන්න. (සමහරු කියනවා නිරෝෂන් අන්තිමයට නෑවෙ එතැන කියලා). පියුමිත් ගිහිල්ලා ගලක් උඩ වාඩිවෙලා ඉන්නවලු. නිරෝෂන් පියුමිව දැකලා දිය යටින් ගිහින් බය කරන්න හිතුවලු.

දිය සෙවල පිරුණු ගල් අතරින් ගිහින් පියුමි ඉන්න තැනින් මතු වෙන්න හදද්දිම හිර වුණාලු නිරෝෂන්ව ගල් දෙබොක්කාවක. උඩට එන්න ට්‍රයි කළාලු. ඒත් බැරි වුණාලු. වහ වහා ක්‍රියාත්මක වූ පියුමි තවත් කිහිප දෙනෙකු සමඟ නිරෝෂන්ව ඇදලා ගත්තලු.

දියෙන් ගොඩ දාපු තල්මහ වගේ නිරෝෂන් ටික වේලාවක් හති ඇරලා පියවි සිහියට ආවලු. නිරෝෂන්ව උස්සපු හැටි මතක් කරකර පියුමිලා කියන්න ගත්තලු අපි මේ කළේ බැකෝ එකකින් කරන්න ඕන වැඩක් කියලා.