වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




2018 උසස් පෙළ සඳහා සැරසෙමු

2018 උසස් පෙළ සඳහා සැරසෙමු

උසස් පෙළට ශාන්තිකර්මයක්

අභිචාර කර්ම සහ නාට්‍ය කලාව

මිනිසා ශිෂ්ටාචාරයට හුරුවීමට පෙර සිටම නැතහොත් ප්‍රාග් මානවයාගේ කාලයේ සිටම අභිචාර විධීන් කෙරෙහි පෙලඹිමක් මානවයා තුළ තිබෙන්නට ඇත. තවමත් නොදියුණු ජන කොටස් තුළ මෙම අභිචාර විධි දක්නට ලැබෙයි. 'සිංහල ශබ්ද කෝෂය'ට අනුව අභිචාර කර්ම නිර්වචනය කර ඇත්තේ මෙසේය.

'මිනිසාට හානි පමුණුවන අණවින කොඩිවින කිරිම, හදි හූනියම් කිරීම, විපරිත මන්ත්‍ර කියා ජප කිරිම අභිචාර කර්ම වේ.'

නමුත් අභිචාර කර්ම ඊට වඩා පුළුල් පරාසයක පැතිර යයි. අණවිනවලට අමතරව අභිචාර කර්ම කායික, මානසික, ආර්ථික, සාමාජීය අවශ්‍යතා සමඟ ද බද්ධ වී ඇත. ඒ අනුව අභිචාර කර්ම මඟින් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වූ අරමුණු කිහිපයක් පහත දැක්වේ.

1. පළිගැනිම, විනාශ කිරීම

2. දරුඵල ලබා ගැනීම

3. දරු ප්‍රසුතිය පහසු කර ගැනීම

4. ධාන්‍ය සශ්‍රීක වීම

5. යුධ ජයග්‍රහණ ලබා ගැනීම

මෙම අණවින මෙන්ම සෙත් සාන්තිය සඳහා යොදාගත් අභිචාර කර්ම 'අනුකරණය' මත පදනම් වී ඇත. ලෝකයේ විවිධ රටවල භාවිතා කළ අනුකරණය පදනම් කරගත් අභිචාර කර්ම කිහිපයක් පහත දැක්වේ.

* බෝර්නියාවේ 'ඩයක්' නම් ජනතාව දරු ප්‍රසූතිය පහසු වීම සඳහා ගලක් බඩ බැඳගත් ඇදුරෙක් මන්ත්‍ර ජප කරමින් ගල සොලවමින් නැටුවේය.

* ඇතැම් රටක මත්ස්‍යයන් අපේක්ෂාවෙන් මත්ස්‍ය රූප දියට දැමූහ.

* දඩයම් නොලැබෙන විට නිර්වස්ත්‍රව මන්දකට අසු වී සතෙක් මෙන් කෑ ගැසීම අනුකරණය කළහ.

* කිඹුලන් අල්ලන්නන් බත් ගුලි තුනක් ගිලීමෙන් තම දඩයම සාර්ථක වෙතැයි විශ්වාස කළහ.

* යුරෝපයේ නොයෙක් ප්‍රදේශවල උඩ පැන නැටීමෙන් ගොඩම වැඩෙතැයි විශ්වාස කළහ.

* ඇතැම් රටවල සිය පුරුෂයන් යුද්ධයට ගිය කළ ස්ත්‍රීහු සුදු සායම් ඇඟ තවරා, කැති, ලී, පොලු ගෙන පැපොල් ගෙඩි පලමින් තම සැමියන්ට මේ ආකාරයෙන් තම සතුරන්ගේ බෙලි කැපීමට අවස්ථාව ලැබේවායි පැතූහ.

මෙම අභිචාර කර්මවල නාට්‍ය කලාවේ මූල බීජ දක්නට ලැබේ. ඒවා පහත සඳහන් පරිදි හඳුනා ගත හැකිය.

* මෙම සෑම අභිචාර කර්මයකම පදනම අනුකරණයයි. චරිතයක්, අවස්ථාවක්, අනුකරණය කරයි. නාට්‍ය කලාවේ පදනම ද අනුකරණයයි.

* මෙම නිරූපණයන් සඳහා වෙස් මුහුණු පැලඳ ගැනීමෙන් සමාරෝප වූහ. වෙස් මුහුණක් පැලඳ ගත් විට අදාළ චරිතය ආරූඪ වෙතැයි ආදි මිනිසා විශ්වාස කළේය. ලෝකයේ බොහෝ රටවල නාට්‍ය ශෛලීන් තුළ වෙස් මුහුණු භාවිතය අදටත් දක්නට ලැබෙයි.

* පසුකාලීනව මෙම අභිචාර කර්ම අලංකාර සහ රසවත් කර ගැනීම උදෙසා සරල අංග රචනයට මෙන්ම රංග වඩනු භාවිතයට උත්සාහ ගත්හ.

* පසුකාලිනව සංගීතය සහ නර්තනය ද භාවිතයට ගත්හ. නිදසුනක් ලෙස වැස්ස අපේක්ෂාවෙන් බෙර වාදනය කරමින් නර්තනයේ යෙදෙමින් වැස්ස අනුකරණය කළහ.

ඒ අනුව මෙම අභිචාර කර්මවල නාට්‍ය කලාවේ මූල බීජ දක්නට ලැබෙන බව අපට අවබෝධ වේ.

ශාන්තිකර්ම

'ශාන්ති' යන පදයෙන් - සෙත

'කර්ම' යන පදයෙන් - ක්‍රියාවන්

ඒ අනුව 'සෙත සැලීමේ ක්‍රියාවන්' ශාන්ති කර්ම ලෙස සරලව හඳුනා ගත හැක. සිංහල ශබ්ද කෝෂයේ ශාන්ති කර්ම නිර්වචනය කර ඇත්තේ මෙසේය.

'ග්‍රහ අපල දුරු කර ගැනීම සඳහා කරනු ලබන යාග විධිය නැතහොත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියෙන් කරනු ලබන සෙත් සාන්තිය ශාන්ති කර්ම වේ'.

ශාන්තිකර්ම සහ අභිචාරකර්ම

ශාන්තිකර්මවල ප්‍රාථමික අවස්ථාව අභිචාර කර්මයයි. නමුත් ශාන්තිකර්ම අභිචාර කර්මවලට වඩා ප්‍රශස්ත වේ. ශාන්ති කර්ම සහ අභිචාර කර්ම ගසට පොත්ත මෙන් බැඳී ඇති නිසා ශාන්ති කර්මවල අභිචාර ලක්ෂණ සෙවීම අපහසුය. නමුත් ඒවා පහත පරිදි දැක්විය හැක.

* වත් පිළිවෙත්

* පුද ලබන්නන් සහ ඔවුන් වෙනුවෙන් කරන පූජා

* යන්ත්‍ර, මන්ත්‍ර, යාදිනි, සැහැලි, කන්නලව්

* පූජා භාණ්ඩ, රංගනයට කරන සැරසිලි

* ගායන, වාදන, නර්තන, නාට්‍යමය අවස්ථා

ශාන්තිකර්ම සහ යාතුකර්ම

'ශාන්තිකර්ම' යනුවෙන් අදහස් කරන්නේ සෙත් කර්ම පමණකි. 'යාතු කර්ම' සංස්කෘත වචනයකින් බිඳී ආ වචනයකි. නිවැරදිව නම් විනකර්ම (නරක උදෙසා කරන) යාතුකර්ම ලෙස හැඳින්විය යුතුය. නමුත් වර්තමානයේ විනකර්ම සහ ශාන්තිකර්ම යන කොටස් දෙකම හැඳින්වීම සඳහා යාතුකර්ම යන නාමය භාවිත කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ ශාන්තිකර්ම

කවුරුන් මූලික වේද, කවුරුන් පුද පෙත් ලබන්නේ ද යන්න පදනම් කරගෙන ශාන්ති කර්ම වර්ග කළ හැකිය. ඒ අනුව දෙවියන් උදෙසා 'මඩු' ද යකුන් උදෙසා 'යක්කම්' ද නව ග්‍රහයන් උදෙසා 'බලි' ද කරනු ලබයි.

ශාන්තිකර්ම පැවැත්වීම පොදු අරමුණු කිහිපයක් පහත සඳහන් පරිදි හඳුනාගත හැකිය.

* සශ්‍රීකත්වය

* රෝග නිවාරණය

* සෙත් සාන්තිය

අණවිනවලින් මිදීම

ශාන්තිකර්ම පවත්වනු ලබන ප්‍රදේශ අනුව උඩරට, පහත රට, සබරගමු ලෙස පහත පරිදි වර්ග කර දැක් විය හැක.

* උඩරට - කොහොඹා කංකාරිය, කඩවර කංකාරිය, වලියක් මංගල්‍යය

* පහතරට - ගම්මඩු, දෙවොල් මඩු, සන්නියකුම (දහ අට සන්නිය), සූනියම් යාගය, ගම්මඩු, දොවොල් මඩු

* සබරගමු - කිරි මඩු, පහන් මඩු, මල් මඩු, ගී මඩු, පූනා මඩු, ගිරි මඩු