වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




සීයා-සීයා වගේ තාත්තා-තාත්තා වගේ මං-මං වගේ

සීයා-සීයා වගේ තාත්තා-තාත්තා වගේ මං-මං වගේ

නදිමාල් පෙරේරා

චිත්‍රපටයට මට කතා කරන්නේ ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ රොහාන් පෙරේරායි. ඔහු පැවසුවේ මම චිත්‍රපටයක් කරනවා, එහි ගීතයක් ගයන්න සම්බන්ධ වනවා නම් ඔහු බොහොම කැමැති වන බවයි. ඒ අදහසට මම බොහොම කැමැති වුණා. ඊට පස්සේ මට ගීතය අහන්න දුන්නා.

“මතකයන් සිත පාරවයි
වසන්තේ කොහෙදෝ ගිහින්
ජීවිතේ තැනක නැවතිලා
මැකී යයි පිය සටහන්
පාසලෙන්......

සෙනෙහසක් නෑවිදින් ඇවිදින් ගියා
මුදුවදන් මතකෙන් ගිලිහී ගියා
හසරැල්ල සුළඟේ .... දැවටී ගියාවේ
බිඳුණු සිත පෑරුණා රහසේ
ආයෙමත්...

වසන්තයේ හොරැහින් අසලින් ගියා
රාත්‍රිය දිගු වී බොඳවී ගියා
මටම මා අතහැරී නොහැරී ගියාවේ
පාළුවේ තනිවුණා මතකේ
ආයෙමත්

මතකයන් සිත පාරවයි
වසන්තේ කොහෙදෝ ගිහින්
ජීවිතේ තැනක නැවතිලා
මැකී යයි පිය සටහන්
පාසලෙන්......”

පසුගිය දිනවල තිරගත වුණු ‘ඒ ලෙවල්’ චිත්‍රපටය ඔබට අමතක නොවනවාට සැකයක් නැහැ. එහිදි ඇසෙන මේ ගීතයත් චිත්‍රපටය තරම්ම ඔබ ප්‍රිය කරන බව අප දන්නවා. ඒ ගීතය පද බැන්ඳේ රොහාන් පෙරේරා. රොහාන්ගේ පදවලට සංගීතය නිර්මාණය කළේ ප්‍රවීණ සංගීතඥ සුරේෂ් මාලියද්ද. ඒ සොඳුරු ගීතය ගයන්නේ නව පරපුරේ ගායකයකු වන නදිමාල් පෙරේරා. නදිමාල් කියන්නේ වෙන කවුරුවත් නොවෙයි, ප්‍රවීණ ගායන ශිල්පියකු වන අමල් පෙරේරාගේ පුතා. අපේ ගායන ලෝකයේ අමරණීය හඬක් වූ මර්වින් පෙරේරාගේ මුනුපුරා. ඔහුත් සමඟ මේ දවස්වල කාගෙත් මුවඟින් ඇසෙන ‘මතකයන් සිත පාරවයි...’ ගීතය ගැනත්, ඔහුගේ කලා ජීවිතය ගැන කතාබහ කරන්නට අප අමතක කළේ නැහැ.

මේ ගයන්නේ ඔබගේ පළමු චිත්‍රපට ගීතය නොවෙයි නේද?

පළමුවෙන්ම මම අටේ පන්තියේ සිටින විටදියි පළමු චිත්‍රපට ගීතය ගයන්නේ. ඒ ‘සිරිරජසිරි’ චිත්‍රපටය සඳහායි. දෙවනුවට ප්‍රියන්ත කොළඹගේගේ ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ ගීතයකුයි ගැයුවේ. ඉන් පසුවයි ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ ‘මතකයන්...” ගීතය ගයන්නට මට ආරාධනා ලැබෙන්නේ.

ඒ ආරාධනාව ඔබ බොහොම කැමැත්තෙන් පිළිගන්නවා

ඒ චිත්‍රපටයට මට කතා කරන්නේ ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ රොහාන් පෙරේරායි. ඔහු පැවසුවේ මම චිත්‍රපටයක් කරනවා, එහි ගීතයක් ගයන්න සම්බන්ධ වනවා නම් ඔහු බොහොම කැමැති වන බවයි. ඒ අදහසට මම බොහොම කැමැති වුණා. ඊට පස්සේ මට ගීතය අහන්න දුන්නා.

මේ චිත්‍රපට ගීතය ගැයීම ඔබට අභියෝගයක් වුණාද?

මේ ගීතය ගයන විට මට අභියෝගයක් දැනුණේ නැහැ. කලින් මෙවැනි තත්ත්වයන්වලට මුහුණ දීලයි මා සිටියේ. ඒ නිසාත්, මා ඒ කටයුත්තේ යෙදුණේ කැමැත්තෙන් නිසාත් මේ ගීතය ගැයීම මට අභියෝගයක් වුණේ නැහැ.

සාමාන්‍යයෙන් ගීතයක් ගයනවාට වඩා චිත්‍රපට පසුබිම් ගීතයක් ගැයීම වෙනස් ම කාර්යයක්. ඒ වෙනස ඔබට දැනුණේ කොහොමද?

මට එහෙම වෙනසක් දැනුණේ නැහැ. සාමාන්‍යයෙන් ගයන ආකාරයටමයි මා ඒ ගීතය ගැයුවේ.

ඒ කියන්නේ ඔබ සාමාන්‍යයෙන් ගීතයක් ගයන ආකාරයෙනුයි ඒ චිත්‍රපට ගීතය ගැයුවේ

ඒ ගීතය ගැයීමේදී හැඟීම් ප්‍රකාශනය කොහොමද සිදු කරන්නේ කියන කාරණය සුරේෂ් මාලියද්ද අංකල් හා අධ්‍යක්ෂ රොහාන් පෙරේරාත් මට කියලා දුන්නා. ඒ අයගේ උපදෙස් ඒ විදියට සිතට ගනිමින් මා ගීතය ගැයුවා. මා සිතන්නේ ඔවුන් ඉන් සෑහීමකට පත්වුණ බවයි.

මේ දවස්වල බොහෝ ජනප්‍රිය ඒ ගීතයට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

මගේ රසිකයන්ගෙන් ඒ ගීතයට ලැබෙන ප්‍රතිචාර බොහොමයි. මා එහෙම පවසන්නේ මගේ මුහුණු පොතේ තිබෙන පිටුවට ලැබෙන විවිධ අදහස් එක්කයි. ගීතය ලස්සනයි කියලා එවන ඒ ප්‍රතිචාර මා අගය කරනවා.

නිවෙසෙන් ලැබෙන ප්‍රතිචාර සතුටුදායකයිද?

සතුටුදායකයි. තාත්තා මගේ ඒ ගැයුම පිළිබඳ කිසිම අදහසක් දැක්වූයේ නැහැ. ඒ කියන්නේ මා හොඳීන් ගැයුව බවයි. නිර්මාණයක මොකක් හෝ වරදක් තිබෙන විට පමණයි ඔහු යමක් පවසන්නේ.

ඔබව රසිකයන් පළමුවෙන්ම හඳුනා ගැනෙන්නේ ඔබගේම ගීතයකින්

මාව වඩාත් රසිකයන් හඳුනන්න ගත්තේ මා ගැයූ ‘මායම් කලාවේ...’ ගීතයත් එක්කයි. ඒ වගේ ම මගේ සීයා මර්වින් පෙරේරා හා තාත්තා අමල් පෙරේරාත් නිසා බොහෝ කාලයක පටන් රසිකයන් මාව දන්නවා.

ඔබ කුඩා කාලයේදී ඔවුන් නිවසේ සංගීත කටයුතුවල නියැළුණාද?

ඔවුන් වැඩිපුර නිවෙසේදී ගැයුවේ නැතිවුණත් ඔවුන් සහභාගි වුණු රූපවාහිනි වැඩසටහන් මා නරඹලා තිබෙනවා. ඔවුන් සහභාගි වුණු ප්‍රසංග නරඹලා තිබෙනවා. ඒ වගේ සොඳුරු අතීතයක මම ජීවත් වුණා.

සීයාගේ මතකය ඔබගේ මතකයේ රැඳීලා තිබෙන්නේ කුමන ආකාරයටද?

මා නවය වසරේදි ඉගෙන ගන්නා විටදියි සීයා අප අතරින් සමුගෙන ගියේ. ඊට පෙරදි සීයා තමයි මට ගිටාර් එක වයන හැටි කියලා දුන්නේ. මාව සංගීතය පැත්තට යොමු කළේත් ඔහුයි. ඒත් මට ඔහුව අවශ්‍ය ම කාලයේදියි ඔහු අප අතරින් සමුගෙන ගියේ.

ඔබ කුඩා කලායේදි ම ගායකයකු වීමටද සිතාගෙන සිටියේ?

ඒ කාලයේ කවදාවත්ම මා ගායකයකු වීමට සිතාගෙන සිටියේ නැහැ. ඒ වගේ ම ඒ කාලයේ සංගීතයට මගේ ලොකු උනන්දුවක් තිබුණෙත් නැහැ. ඒත් මා ගීතවලට සවන් දුන්නා.

එවන් අදහසක් ඔබගේ සිතේ ඇති වෙන්නේ පසු කාලයේද?

මගේ යහළුවන් මුණ ගැසුණාට පස්සේ ඔවුන් ගී ගයනවා දැකලයි මටත් ගී ගයන්න සිතුණේ. ඒ ඒ ලෙවල්වලින් පස්සේ.

ඔබ පාසල් යන කාලයේ සංගීතය වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ

මම පාසල් දෙකකට ගියා. පළමු පාසල කළුතර සිරිකුරුස විද්‍යාලටයි. දෙවනුව කොළඹ ශාන්ත පීතර විද්‍යාලටයි. ඒ ලෙවල්වලට මා කළේ කොමස්. මුලින්ම අධ්‍යාපන කටයුතු කරනවා කියන අදහසටයි මා මූලිකත්වය ලබාදී තිබුණේ. ඒත් විශ්වවිද්‍යාලයට යන්න මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ ලෙවල්වලින් පස්සේ මා බාහිරව උපාධිය හැදෑරීම ආරම්භ කළා. මේ වනවිට එහි කටයුතු මඳක් නතර කිරීමට මට සිදුවුණා. ඒ සංගීත කටයුතු නිසා ඇතිවුණු කාල කළමනාකරණයේ ගැටලුවක් නිසයි.

සංගීතයට ඔබගේ සිත යන්නේ ඔබගේ කලා ලොවේ යහළුවන් නිසාද?

ඔවුන් ව මට මුණ ගැසෙන්නේ පුවත්පතක ගිය ලිපියක් මාර්ගයෙන්. ඒ වගේ ම රූපවාහිනිවල ගිය වැඩසටහන් මාර්ගයෙන්. ඒ හරහා ඇතිවුණු යහළුකම සමඟ අපි විවිධ වැඩ කළා. අප සියලුදෙනා ම සිතන්නේ එකම විදියට නිසා අදටත් ඒ බැඳීම බොහොම ශක්තිමත්.

අතරමඟදි සංගීත කටයුතු පටන් ගන්න විට ඔබ ඒ වනවිටත් සංගීතය හදාරලාද තිබුණේ?

මා ඕ ලෙවල් දක්වා සංගීතය හැදෑරුවා. ඒ වගේ ම අමරනාත් රණතුංග සර් ළඟ ක්ලැසිකල් ගිටාර් වාදනය ඉගෙන ගත්තා. ඒත් උපාධිය කරන කාලයේදි ඒ ඉගැනුම නතර කිරීමට සිදුවුණා.

ඉදිරියේදි ඔබගේ අවධානය යොමු වී තිබෙන්නේ සංගීත කටයුතු සඳහායි

ඉදිරියේදි සංගීත කටයුතු නවත්වන්න අදහසක් මගේ සිතේ නැහැ. එහෙම තමයි දැනට සිතාගෙන ඉන්නේ. ඒත් ඉදිරියේදි මගේ අදහස වෙනස් වුණත් මා සංගීත කටයුතු නවත්වන්නේ නැහැ. වෙන අංශයකින් මොකක් හෝ දෙයක් කරන්නට හැකි වුණොත් මා ඒ කටයුත්තට යොමු වෙනවා. ඒත් සංගීත කටයුතු නවත්වන්නේ නැහැ. ඒත් ඒ යොමුවන වෙනස් කටයුත්ත මොකක්දැයි මා තවම දන්නේ නැහැ.

ඔබ ඔබගේ සීයාගේත්, පියාගේත් ගීත ගයනවාද?

මා ගයන්න කැමැති මගේ ගීතයි. සමහර විටදි රසිකයන් ඔවුන්ගේ ගීත ගයන්න යැයි පැවසුවහොත් මට ගයන්නට සිදුවෙනවා.

ඔබගේ කටහඬ වඩාත් සමාන පියාටද? සීයාටද?

සීයා ගයන්නේ සීයා විදියට. තාත්තා ගයන්නේ තාත්තා විදියට. මා ගයන්නේ මගේ විදියට.

මේ දවස්වල මොනවගේ කටයුතුවලද නියැළෙන්නේ?

අලුත්ම ගීතයක් නිර්මාණය වී ගෙන යනවා. පටිගත කිරීම් කටයුතු ළඟදීම ආරම්භ කිරීමටයි සිතාගෙන ඉන්නේ. එහි සම්පූර්ණ විස්තර පසුව කියන්නම්.