වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




සුදු නෝනේ ඇට් කරපු නාට්‍යවලට මොකද වුණේ

සුදු නෝනේ ඇට් කරපු නාට්‍යවලට මොකද වුණේ

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි.

අද එතැන් සිට...

තිරයේ පතිත වත වන රූප රාමු දෙස බලා සිටි ඇයට නිකම්ම ඇඬුම් යන්නට ආයේය.මධුරි ඩික්ෂිත් සිය සැමියා විසින් නිකරුණේ සැක කර ලැබ සිටියි.සැමියාට රඟපෑවේ ෂාරුක් ඛාන්ය. බිනරි කදුළු වළක්වා ගන්නට උත්සාහ නොකළාය.ඒ වෙනුවට තව තවත් ඩික්සන් ගේ උරහිසට හේත්තු වි එහි උණුසුම ලබන්නට ඇය කැමැති වූවාය.

ඩික්සන් වඩා කැමැති රෙස්ලිං තරඟ බලන්නටය.

‘සුදු නෝනේ අද මාර කෑල්ලක් හම්බ වුණා.බලන්ඩකෝ’

ඩික්සන් සවස ගෙදර එන විට හන්දියේ තිබුණ ඩීවීඩි වෙළඳ සැලෙන් රැගෙන ආවේ මල්ලව පොර තරග ඇතුළත් තැටියකි. බිනරි චිත්‍රපට බලන්නට හිතා ඩීවීඩි යන්ත්‍රයක් මිළයට ගත්තේ ඩික්සන්ගේ වුවමනාවටය.ඩික්සන් ගෙදර නැවතී මාසයක් ගත වන්නටත් මත්තෙන් අම්මා මාමා ගේ නිවසට ගියාය.යන්නට කලින් ඇය නොයෙක ආඩපලි පැවසුවාය.ඒ ඩික්සන් ගැනය. මුලින් මුලින් බිනරි ඒ ගැන කිසිත් කියන්නට ගියේ නැත.එහෙත් පසුව ඇය එකටෙක කියන්නට පටන් ගත්තාය.

අම්මා මාමාගේ නිවසට ගියේ එයින් පසුවය.

‘මම ටික දවසකට මාමාලෑ ගෙදර යනවා,’

බිනරි එබසට කිසිත් කියන්නට ගියේ නැත.ඒ වෙනුවට ඇය අතැති උණු තේ කෝප්පය නිවාලන්නට මෙන් එයට මුවින් සුළං පිම්බාය.ඩික්සන් බිනරිට සුදු නෝනා යැයි කියන්නට ගත්තේ නිවසට පැමිණි දිනවලය.චිත්‍රාට මුලින්ම ඇල්ලුවේ නැත්තේ ඒ කතාන්තරයයි.බිනරි ගේ නිවසේ ඩික්සන් පදිංචියට පැමිණියේයැයි කතාව මුලින් අහල පහල ඕපාදූප වලට වේරම්බ වාතයක් සේ හමා ගියේය.එයට අත්තටු ද ලැබිණ.එහෙත් කටකතාවක් අල්ලා සිටින්නේ අලුත් කතාවක් රෝපණය වන තුරු පමණී. මුලින් මුලින් කිසිවකුට මුහුණ නොදී මග හැර සිටිමට සිතා ගත් බිනරි අන්තිමට සියල්ලන් සමග කතාවට වැටුණාය.කඩේ පොළේ ගියාය.කටකතා කිසිවක් ඇයට නො ඇසිණ.

ඩික්සන් ගේ සිතුවිලිත් තමාගේ සිතුවිලිත් අතර බොහෝ සමාන කම් තිබිණයැයි බිනරිට දැනිණ.මොනවා නැතත් සතුටෙන් ජිවත්වීම ඇතිය.ඩික්සන් උදේ රැයින් පිටව යන්නේ රාජකාරි සඳහාය.ඔහුගේ වැඩ කටයුතු පිළිවෙළය.එක් වැඩක් අවසන් වන විට තව වැඩක් පංගාර්තු විම සාමාන්‍ය කරුණකි.පසුගිය දවස් වල කොහුවල පැත්තේ ගෙයක් වැඩ බාර ගත් ඩික්සන්ට එය නිම වන විට එහි හිමිකරු විසින් නුගේගොඩ පැත්තේ අලුත් ගණුදෙනු කරුවෙකුට රෙකමදාරු කර තිබිණ.

‘සුදු නෝනා හම්බ වුණාට පස්සේ තමා මට වැඩ වැඩියෙන් හම්බ උනේ ?’

ඩික්සන් පැවසුවේ කනට නො ඇසෙන ගානටය.ඇය ඔහු පැවසු දෙය යළි විමසිල්ලෙන් ඇසුවාය.ඔහුගේ මුවින් මත්පැන් ගඳක් වහනය වෙයි.

‘ඇඟේ අමාරුවටත් එක්ක.අද පොඩ්ඩක් ගත්තා.’

ඔහු නිදහසට කරුනු කියන්නට පටන් ගත්තේය.ඇය ඔහු නොතකා හරින්නට තැත් කළාය.

‘අද මට සුදු නෝනේගේ යාළුවෙක් හම්බ උණා.’

බිනරි උන් තැනින් නැගිට යන්නට සැරසිණ.එහෙත් තමා බලා සිටිනා දර්ශනයට බාධා වන්නට ඇය අකමැතිය.රෙස්ලිං නැරඹීමෙන් පසු ඩික්සන් ඩීවීඩී යන්ත්‍රයට ඇතුල් කළේ හින්දි චිත්‍රපටයකි.එහි සල්මන් මෙන්ම ෂාරුක් ද චරිත නිරූපණය කරති.ඇය සල්මන්ට මෙන්ම ෂා රුක්ටද එක ලෙස ඇලුම් කළාය.

‘කවුද’

බිනරි ඇසුවාය.

‘මේ දර්ශන කියලා පිච්චර් ගන්න එක්කෙනෙක්’

‘දර්ශන කියලා ?’

ඇය යළි නම ප්‍රතිරාව නැංවුවාය.ඇය සතුටින් ඉපිල යනු ඔහුට දැනිණ.

‘දසයා ?’

ඈ කෑගෑවාය.බිනරි එතරම් සතුටින් ඇසු නමක් තවත් නැති තරම්යැයි ඩික්සන් කල්පනා කළේය.

‘ කොහේද ඌ හිටියේ’?

අනතුරුව ඇය ස්වරය වෙනස් කළාය.

‘මොනවද එයා කිවිවේ.’

එය ඇය ඇසුවේ පෙර මෙන් උස් හඩින් නොවේ.

‘සුදු නෝනා ඉස්සර ඇට් කරන්ඩ ආසලු.ඔක්කොම එකට නාට්‍ය කළා ලු’

ඇය කිසිත් නොකියා උන් තැනින් නැගිට කුස්සියට ගියාය.මස් හොද්දක් ගොජ ගොජ ගගා පැසෙමින් තිබිණ. ඈ පසුපසින් පැමිණි ඩික්සන් ඇයට හේත්තු විණ.

‘මං දැනං උන්නේ නෑනේ සුදු නෝනාට ඇට් කරන්ඩ වුවමනාවක් තිබ්බා කියලා. ඒ දර්ශන දැන් පිච්චර් දෙකක් අධ්‍යක්ෂණය කළා කියන්නේ’

‘මට අවුරුදු ගණනකින් හම්බ වුණේ නෑ.මිනිහාට දැන් ජය ද ?’

බිනරි දර්ශණ ගේ වගතුග විමසා බලන්නට තැත් කළාය.

‘ජය ද නම් මං දන්නේ නෑ.මාත් එක්ක තමා සෙට් වුණේ.මගේ යාළුවෙකුත් හිටියා.මිනහත් එක්කයි අවේ.හැබැයි හොඳ මිනිහෙක්.නැත්නම් චිත්‍රපට හදලා මේ අපි වගේ එවුන් එක්ක සෙට් වුනා කියන්නේ.මට අදමයි එහෙම කෙනෙක් හම්බ වුණේ.’

ඩික්සන් පැවසුවේ ආඩම්බරයෙනි.

‘දැන් කොහෙද ඉන්නවා කිව්වේ’

‘මං තැන නම් අහ ගත්තෛ් නෑ.හැබැයි මේ පලාත ගැන නම් මිනිහා හොඳට දන්නවා’

‘අපොයි ඉස්සර මෙහෙ ආවා ගියා

‘සුදු නෝනේ බලන්ඩද’

ඔහු සිනාසෙමින් ඇසුවේය.

‘අපොයි නෑ.මයේ මොනා බලන්ඩද ? ආවේ අපි නාට්‍ය කරපු හින්දා.එයාගේ යාළුවෙක් හිටියා මගෙත් යාළුවෙක්’

ඇය පැවසුවාය.

‘ඉතින් සුදු නෝනේ ඇට් කරපු නාට්‍ය වලට මොකද උනේ’

ඇය සුසුමුක් හෙලුවාය.ඉන් එහා හාරා අවුස්සමින් අතීතය අවුස්සන්ට ඔහු අකමැති විය.ඇය ද කිසි දවසක තම අතීතය විමසා නැත.

‘ඒක නෙමේ සුදු නෝනේ අපි මිනිහාට මෙහෙ එන්ඩ කියමු.මං කිව්වා මාත් පිච්චර් වලට ආසයි කියලා’

ඩික්සන් පැවසුවේ මස් ඇතිලියට හැන්දක් දමා එහි තිබූ මස් කැබැල්ලක් උණුවේම කටට දමා ගනිමිනි.

‘බලාගෙන පිච්චෙයි’

බිනරි පැවසුවේ අනතුරු අඟවන්නටය. ඒ වන විට ඔහුගේ කට පිච්චි අවසන්ය.

‘ඒ වුනාට රහට උයලා තියෙනවා’

ඩික්සන් ඇගේ ආහාර අගය කළේය. ඔහුගේ ඇසින් කඳුළු වැටුණේ තුන පහ සැරටය.

‘ඒක නෙමේ සුදු නෝනේ මං මිනිහාට එන්ඩ කියන්ඩද’

‘මගේ මොකෝ එන්ඩ කියන්ඩ’

ඇය අවසානයේ පැවසුවාය.