වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස

සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස

සේයා

      

සිංහල සිනමා වංශ කතාවේ ප්‍රථම වරට කාන්තා චරිත නිරූපණයෙන් පමණක් එළිදකින චිත්‍රපටය වන “සේයා” මාර්තු 15 වැනිදා සිට රිත්මා ඇතුළු සිනමාහල් රැසක ප්‍රදර්ශනය වනු ඇත. එය කල්යාණ චන්ද්‍රසේකරගේ අධ්‍යක්ෂණයකි.

උදාරි පෙරේරා, දිල්හානි ඒකනායක, මැණික් විජේවර්ධන, නිරෝෂා මෛත්‍රී, දීපානි සිල්වා, සිනෙති අකිලා, විශාකා සිරිවර්ධන, ගයාත්‍රි ඩයස්, මානෙල් වානගුරු, මානෙල් චන්ද්‍රලතා, ඉන්දික සුභසිංහ, රෝමා රෝසි ජයකොඩි, හෙලන් රෙමෝල්ඩා, තුෂාරි වේහැල්ල, සෙව්වන්දි දිසානායක ඇතුළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වන සේයා දැවැන්ත සිනමා නිර්මාණය නීරෝ ෆිල්ම්ස් වෙනුවෙන් ඒ. පාරිස්ටර් සහ තරංග අතුරලියගේ නිෂ්පාදනයකි.

සරත් වික්‍රම සංගීත අධ්‍යක්ෂණයෙන් ද, ජින්ජර්, චිත් රූ පාඨලී, මංජුලා කන්නන්ගර ගීත ගායනයෙන් ද, චන්ද්‍රදාස ප්‍රනාන්දු සහ ලක්ෂ්මන් මල්ලවාරච්චි ගීත රචනයෙන් ද දායක වන සේයා කැමරා අධ්‍යක්ෂණය ලාල් ඩයස්ගෙනි.

බන්දුල වීරසේකර කලා අධ්‍යක්ෂණයෙන් ද, සංජය නිපුණආරච්චි වේෂ නිරූපණයෙන් ද, ටෙඩී විද්‍යාලංකාර විශේෂ ක්‍රියාදාම මෙහෙයවීමෙන් ද, ඉමල්ක වෙන්රෝයි බ්‍රිටෝ නැටුම් අධ්‍යක්ෂණයෙන් ද, ගුණවර්ධන එදිරිසිංහ නිෂ්පාදන කළමනාකරණයෙන් ද, කුමුදු ළමාහේවා ඇඳුම් සහ දුලිප් ගුණරත්න කොණ්ඩා සැකසීමෙන් ද, සම්පත් රත්නායක සහය අධ්‍යක්ෂණයෙන් ද දායක වූ සේයා විශේෂ දෘෂ්ටි ප්‍රයෝග සහ සංස්කරණය රුවන් චාමර රණසිංහගෙනි.

සරසවි චිත්‍රාගාරයේදී 2ම් තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද ප්‍රථම සිංහල චිත්‍රපටය වන සේයා ශබ්ද සැලසුම ශෂික රුවන් මාරසිංහගෙනි.
ඒ.පාරිස්ටර් තරංග අතුරලිය

ඇගේ ආත්මය ඔබ ලුහුබඳිනු ඇත තේමාව රැගත් සේයා තිර රචනය සහ අධ්‍යක්ෂණය කල්යාණ චන්ද්‍රසේකරගෙනි.

සේයා නීරෝ ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.

නිරාෂා, මාලි, ප්‍රියා ඇතුළු තරුණියන් ඩයමන්ඩ්හිල් ප්‍රදේශයට ළඟාවීමත් සමඟ අතරමඟදී හමුවන ආගන්තුක තරුණිය ඔවුන් වෙත පැමිණෙයි. ඇය මධුකාය.

මධුකා - හායි . . .

තරුණියන් - හායි . . .

මධුකා -ඕගොල්ලන් මේ පළාතෙද?

නිරාෂා - නැහැ . . . අපි ෆිල්ම් ෂූට් එකකට ආවේ . . .

මධුකා - ආ . . ඇත්තද . . මමත් ෆොටෝග්‍රැෆර් කෙනෙක් . . .

තරුණියන් ඇය හඳුනා ගනියි.

මධුකා - මම ඉන්ටර් නැෂනල් එක්ෂිබිෂන් එකකට ෆොටෝ ටිකක් ගන්න ආවේ. කාර්එක බ්‍රේක්ඩවුන් වුණා. මේක හදාගන්න තැනක් ඕගොල්ල දන්නෙ නැද්ද . . .

නිරාෂා - නැහැ . . . අපිත් මේ පළාතට අලුත්නේ . . .

මධුකා - ඒක තමයි . . දැන් මොකද කරන්නෙ . . .

නිරාෂා - ඔයා අපිත් එක්ක ජොයින් වෙන්න.
කල්යාණ චන්ද්‍රසේකර
නවතම සිනමා නිර්මාණය

මධුකා - එහෙනම් මම මමීට කියන්නම් ගරාජ් එකකට කෝල් කරලා කාර් එක හදලා දෙන්න කියලා.

මධුකාගේ හමුවීමෙන් සතුටට පත්වන අනිකුත් තරුණියන් ද ඇය වටා රොක් වෙයි. ගොදුරකට මාන බලනා උකුස්සකු ඈත අහසේ පියාසර කරයි.

මාලි - ග්ලෑඩ් ටු මීට් යූ . . . අයි ඈම් මාලි . . . කැමරාමන් . . . බිග් කැමරාමන් . . .

ඇයගේ ඉංග්‍රීසි උච්චරණයෙන් සැම දෙනා සිනාසෙයි.

මට මේක චූටි වැඩියි. මට ඕනේ ලොකු එකක්.

සමඟම අසල කැලෑවෙන් මතුවන දර කඩන ගැහැනුන් තිදෙනෙකි.

නෝනලා මේ හරියේ වැඩිය ගැවසෙන්න එපා. හරිම භයානකයි. ඊයෙත් මනුස්සයෙක් බය වුණා...

මහත්සේ බියට පත්වන නිරාෂා, මාලි, මධුකාත් සමඟ ජීප් රථයට නැග පිටත්ව යයි.

නිරාෂා, මාලි, ප්‍රියා ඇතුළු තරුණියන් මධුකාත් සමඟ ඩයමන්ඩ් හිල් ප්‍රදේශයේ තමන් නවාතැන් ගන්නා රෝස් විලා නිවාඩු නිකේතනයට පැමිණෙයි.

තමන්ගේ චිත්‍රපටයේ දර්ශන ගැනීමට තෝරා ගෙන ඇති රෝසි විලා දකින තරුණියන් මහත් සේ සතුටට පත්ව ජීප් රථයෙන් බැස ගනියි.

මාලි - සුපර්බ් . . .

නිරාෂා - මගේ හිතේ ඇඳුනා වගේම තැනක්...

වුන් මහත් සේ සතුටට පත්ව රෝස් විලා දොරටුව වෙත යයි.

මාලි - අනිවාර්යයෙන්ම ඔස්කාර් සම්මානයකට අත වනනවා.

මාරි - හරියට නාකි සුද්දෙක් එයාගේ සිංහල පෙම්වතියට තෑගි දුන්න ගෙයක් වගේ...

ජිනා - මට බැරිද බං උගේ නම්බර් එක ඉල්ල ගන්න.

කට්ටියම සිනාසෙයි. මධුකා චුවින්ග්ගම් එකක් කටේ දමාගෙන ඔවුන් වෙතට පිය නගයි.

නිරාෂා - මම හිතුවෙත් මේ වගේම ගෙයක්.

අවට කඳුකරයේ චමත්කාරය දකින ඔවුන් මහත් සේ ප්‍රීතියට පත්ව ඇත.

නිරාෂා - ආදරේ කියන්නෙත් මේ කන්ද වගේ. ආදරේ ජය ගන්නවයි කියන්නෙ මේ කඳු මුදුනට නැග ගන්නවා වගේ තමයි.

මාලි තම දර්ශන තලයේ හැඩරුව බලන්නට වෙයි. මේ අතර මාලි දකිනුයේ රෝස්විලා නිවසේ ප්‍රධාන දොරටුව අරක්ගෙන සිටින බියකරු පෙනුම ඇති ගැහැනියකි.

මහත් සේ බියට පත්වන මාලි ඇතුළු අනිකුත් තරුණියන් නිරාෂා වෙත දිව යයි. ඔවුන් සියල්ලෝම බියෙන් තැතිගෙන ඇත.

ගැහැනිය මහත්සේ වියරු ලෙස සිනා සෙමින් ඔවුන් වෙත එයි. ඇය එන්සිනාය.

එන්සිනා - මම තමයි මේ ගෙදර ආරක්ෂිකාව, පාලිකාව, අයිතිකාරිය.

තරුණියන්ගේ බිය පහව ගොස් ඔවුන් එන්සිනා අසලට එන්නේ මහත් සේ කෝපයෙන්ය.

මාලි - මොන කෙංගෙඩියකට ද යක්ෂණියක් වගේ හිනා වෙලා අපිව බය කෙරුවේ . . .

එන්සිනා - බය වෙන්න එපා. ඕගොල්ලන්ට මෙහේ ෂූටිං කරන්න පුළුවන්. මමත් හොඳ ෆොටෝ කැචර් කෙනෙක් තමයි . . . බැරිද ඔය චිත්‍රපටයේ මටත් රඟපාන්න.

මාලි - රඟපාන්න . . .

එන්සිනා - ඔව්. මටත් හොඳට රඟපාපන්න පුළුවන්. මම ඒ කාලේ මැතිව් එක්ක හොඳට රඟපාපු හින්ද තමයි මැතිව් මට මේ බංගලාව දුන්නෙ . . .

මාලි - ලව් සීන්ද . . .

මහත් සේ ලැජ්ජාවට පත්වන එන්සිනා

ලව් . . . කරන්න මටත් තාම හොඳට පුළුවන්. ඔන්න බලන්න . . .

ඇය රඟමින් තම රංගන හැකියාව ඔවුනට පෙන්වන අතරතුර තරුණියන් ඇයට හොරා නිවස තුළට තම ඇඳුම් බෑග් ද රැගෙන යයි.

රංගනය නිමා කර ආපසු හැරෙන එන්සිනා දකින්නේ තරුණියන් කිසිවෙක් තමන් අසල නැති බවයි. ඇය මහත් කෝපයට පත් වෙයි. ඇයගේ මුහුණේ මහත් බියකරු විලාසයක් ඇතිවේ.

මුන් ටික රිංගා ගත්තා නේද . . .

රාත්‍රිය එළඹෙයි. විශාල වවුලකු නිවස තුළට පියඹා යනු පෙනෙයි.

මාලි අසල ලඳු කැලැවක් අසල සිටිනුයේ තරමක් මත් වූ විලාශයෙනි.

අපි සංතෝසෙන් ඉන්නෙ

දුක ශෝකේ නෑ දන්නෙ

අක්කා නංගි වාගේ . . . අක්කා නංගි වාගේ . . .

ඒ සමඟම ලංතෑරුමක් සමඟ එන හඬත් සමඟ මාලි මහත් සේ බියට ත් වේ.

එන්සිනා - මොනවද මෙතන කරන්නෙ . . .

මාලි - ම් . . . මම බය වුණ තරමක් . . .

එන්සිනා - රෑට කන්නෙ ආප්පද . . . බිත්තර ආප්පද . . .

මාලි - දෙන්න බැරිද මට හොඳ අලි බිත්තරයක්...

එන්සිනා - දාපන් ඒක උඹම . . හ්ම් . . ගඳ විතරක්...

ඇය මහත් කෝපයෙන් නිවස තුළට යයි.

රාත්‍රී සඳ පායා ඇත. නිශාචර සතුන්ගේ හඬ අවට රැව්දේ. මාලි සුව නින්දේය. එක්වරම ඇය තිගැස්සී නැගිටිනුයේ තම කාමරයේ දොරට ගසන හඬකිනි. ඇය නිදිමත කඩමින් නැගිට විත් දොර අරියි. ඒත් ඒ අසල කිසිවකු නැත.

ඇය නැවතත් තම නිදි යහන වෙත යෑමට හැරෙත්ම ඇගේ පසු පසට වේගවත් පහරක් වදියි. ඇය මහත් සේ බියට පත්ව කෑගසයි.

අසල අඳුරු තැනක සිටින මධුකා ඇය දෙස බලා සිටියි. වෙනත් තැනක සැඟ වී සිටින එන්සිනා ද වියරුවෙන් බලා සිටියි.

මාලි තම මිතුරියන්ට කෑගසා හඬ ගසනුයේ හඬා වැටෙමින්ය.

මාලි . . අනේ . . නිරාෂා . . ප්‍රියා . . ජිනා . . .

ඇයගේ හඬ ඔවුන්ට ඇසේවිද?