වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




සප්ත ස්වරයේ ගුරු මුෂ්ටි රහිත මාපිය ආදරය දූ අනුරාධා

සප්ත ස්වරයේ ගුරු මුෂ්ටි රහිත මාපිය ආදරය දූ අනුරාධා

සනත් - මල්කාන්ති - අනුරාධා

මෙරට සංගීත කලා ඉතිහාසය තුළ ‘සනත් නන්දසිරි’ නාමය ඉහළින්ම වැජඹෙන්නෙකි. අපේ රටේ පණ්ඩිත් අමරදේවයන්ගෙන් පටන් ගත් සංගීතයේ මුදුන් මල්කඩින් පසු ශාස්ත්‍රීය සංගීතයේ කෙළ පැමිණි වත්මන් ජ්‍යෙෂ්ඨයා ඔහුය. වර්තමානය වන විට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වශයෙන් කටයුතු කරන ඔහුගේ සෞන්දර්ය චාරිකාව ශාස්ත්‍රීය සංගීතය කැටි කොටගත් රස භාවයන් උද්දීපනය කරමින් නිර්මාණ කාර්යයේ යෙදෙමින් මෙරට සුවහසක් ශ්‍රාවක සිත් සතන් ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කරන්නට උර දුන්නෙකි.

එහෙත් මෙවර මහාචාර්ය සනත් නන්දසිරි වෙත අපේ ආගමනය සිදු වනුයේ සුපුරුදු පරිදි ඔහුගේ සංගීත දිවියේ සන්ධිස්ථානයන් විමසනු පිණිස නොවීම මෙහි විශේෂත්වයයි. ‘නන්දසිරි’ පවුල යනු මෙරට සංගීත ක්ෂේත්‍රය පුරා දශක ගණනාවක අනන්‍යතාවය එකසේ පවත්වා ගෙන ආ පිරිසකි. මේ අතර මේ පවුලේ බාලයා ‘අනුරාධා’ට සුවිශේෂව මේ කතාබහ ඇරඹෙන්නේ මේ විශේෂත්වය නිසාය.

‘අනුරාධා’ යන නාමය සනත් නන්දසිරි මුවින් ගීතයක්ව ගිලිහෙන්නේ මෙයට වසර 40 ට පමණ ඉහතදීය. ඊට නිමිත්ත වන්නේ සනත් - මල්කාන්ති යුවළගේ ජීවන ගීතයේ ආදරණීයම තිළිණය ඔවුන් වෙත ලැබීමය. ඒ සිය පවුලට උපන් සෙනෙහසේ තිළිණය ‘අනුරාධා’ය.

දූ අනුරාධා . . . දූ අනුරාධා . . .

එවන් සොඳුරු ගීතයක් මෙරට ශ්‍රාවක සවන්පත් සනහාලන්නේ ඒ දරු සෙනෙහසේ අසීමිත බල මහිමයෙනි. මේ ගීතයේ මුල් වචනය සනත් නන්දසිරිගේම වන අතර ගීිතයේ ඉතිරි පද ටික ලියා ඇත්තේ ප්‍රවීණ ගේය පදරචක බුද්ධදාස ගලප්පත්ති විසින් බව දිනක් සනත් නන්දසිරිම පැවසුවා මට මතකය. එපමණක් ද නොව මේ ආදර දියණියට ‘අනුරාධා’ යන නම තබා තිබෙන්නේ කරුණාරත්න අබේසේකරයන් විසිනි. අනුරාධාට වයස අවුරුදු 3 - 4 ක කාලය තුළ සනත් නන්දසිරි වේදිකාවේ මේ ගීතය ගයද්දී අනුරාධා සිය පියා තමාට අඬ ගසනවා යැයි කියමින් වේදිකාවට දිව යන්න දැරූ තැත පිළිබඳ වූ සොඳුරු අතීත මතකයන් ද වරක් ඔහු ප්‍රකාශ කළේය.

අනුරාධා දූ සිඟිත්තිය අද ලොකු මහත් වූ තරුණ දියණියකි. මවට පියාට ආදරණීය දියණියක් සේම ස්වාමියාට ස්වාමි භක්තිය ඇති සෙනෙහෙබර බිරියකි. එපමණකින්ම ඇගේ කාර්ය අවසන් වන්නේ නැත. ඇය සුවහසක් දූ දරුවන්ට සංගීත ඥානය දෙන ගුරුවරියකි. එසේම ඈ ගායිකාවකි. ඇගේ ජීවිතයේ අප වැඩිපුර අත්නොවිඳි පැත්තක් ඇත්නම් ඒ ගායන දිවියයි. යුතුකම් වගකීම් සියල්ල ඉටු කරමින් සිටින විට තමන්ට තමන් ගැන අමතක වීම ස්වභාවිකය. අනුරාධාට වී ඇත්තේ ද තමන්ට තමන් අමතක වීම යැයි විටෙක මට සිතේ. වත්මන් සංගීත ක්ෂේත්‍රය පුරා හතු පිපෙන්නාක් මෙන් ගායක ගායිකාවන් බිහි වෙනු අපි නිරන්තරව දකින්නෙමු. ඒ අතර කිසිදු පදනමක්, හැකියාවක්, හැදියාවක් නැති පිරිස් ද ඕනෑ තරම් වේ. එහෙත් අනුරාධාට මේ පදනමට අවශ්‍ය කරන සාධක සියල්ල ඇත. ඇය ශාස්ත්‍රය නිසි ආකාරව හදාරා ක්ෂේත්‍රයට පැමිණියාය. එසේම පියාගේ මවගේ ජනප්‍රියත්වයෙන් හෝ උපකාරිත්වයෙන් සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් වීමේ කිසිදු උත්සාහයක නිරත නොවුණාය.

එහෙත් දැන් එළඹ සිටින්නේ අනුරාධාගේ දිනයය. එය එළඹෙන්නට දශක දෙකකට ආසන්න කාලයක් ගියේය. මට සිතෙන්නේ අනුරාධා නිසි කල එළෙඹෙනු තුරු ඉවසීම ප්‍රගුණ කළා කියාය.

දිනය හරියටම මාර්තු 11 වැනිදාය. කොළඹ නෙළුම් පොකුණ රඟහල හැඩ වෙන්නේ ඇය වෙනුවෙනි. දූ අනුරාධා ප්‍රසංගය පස්වරු 6.30 ට දිග හැරෙනුයේ අසීමිත ආදරයක, බැඳීමක, සෙනෙහෙසක ප්‍රතිඵලයක් වශයෙනි. සනත් - මල්කාන්ති - අනුරාධා ත්‍රි පුද්ගල ප්‍රසංගය මෙරට ශ්‍රාවක සිත් සතන් වෙත පිදෙන පණිවිඩයයි අප මේ ගෙනහැර දක්වනුයේ. දරු සෙනෙහසට ගැයුණු ගීතයක අරුමය සමඟින් ‘දූ අනුරාධා’ අරමුණ ගැනයි මේ.

‘මමත් - මල්කාන්තිත් කාලයක් තිස්සේ ගීත ගායනා කරනවා. අදටත් ගීත ගායනා කරනවා. අපේ දුවට දෙමව්පියන් වශයෙන් එවැනි අවස්ථාවක් උදා කරලා දුන්නේ හරිම අල්පව. හැම තැනම දරුවන්ව ප්‍රමෝට් කරන යුගයක්නේ මේක. නමුත් අපට ඒක කරගන්න බැරි වුණා. දූටත් අපේ එහෙම ඉදිරියට එන්න උවමනාවක් තිබුණේ නෑ. නමුත් අපි කල්පනා කළා දුවගේ වයසත් මුහුකුරා යනවා. අපි දෙන්නත් වයසට යනවා. ඒ නිසා දුවට කිසියම් සන්ධිස්ථානයක් හදල දෙන්න. අපි තුන් දෙනාම එකතු වෙලා ප්‍රසංගයක් කරලා දුවව ක්ෂේත්‍රයට හඳුන්වාදීමක් කරන්න තමයි මේ ප්‍රසංගයේ බලාපොරොත්තුව. ඒකෙන් කියන්නේ දුව දිගටම මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න ඕන කියන එක නොවෙයි. එයාටත් අයිතියක් තියෙනවා අපි වගේ ගීත ගායනා කරන්න. ඒ අයිතිය ලබා දෙන්න තමයි අපිට උවමනා වුණේ.’

සනත් - මල්කාන්තිගේ ලෝකය එකලු කළ එකම පහණ දූ අනුරාධාය. රටක් ආදරය කරන ජනප්‍රිය කලාකරුවන් දෙපළක් ලෙසට ඔවුන්ට ඇය ක්ෂේත්‍රයට රැගෙන විත් ජනප්‍රිය කරලීම ඉතා පහසු කාර්යයකි. එහෙත් එය පසෙකලා ඔවුන් ඒ දියණියට හරියට ශාස්්ත්‍රය ඉගැන්නුවේය. පියා මේ රටේ සුවහසක් ගෝල පරම්පරාවක් නිර්මාණය කළ උත්තම ගුරුවරයෙකි. අනුරාධා ශිල්ප ලබන්නේ ද ඔහුගෙනි.

මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙමාපියන්ට තියෙන්නේ දරුවන්ට සංගීත ඥානය, සංගීත ශාස්ත්‍රය ලබා දෙනවාට වඩා ඒ දරුවන් ජනප්‍රිය කරලීමේ බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ. මට එහෙම වුවමනාවක් තිබුණේ නෑ. දුවට උවමනාවක් තිබුණෙත් නෑ. දුව සංගීතය හොඳට හැදෑරුවා. මට දැන් ඈ ගැන විශ්වාසයක් තියෙනවා මගේ සංගීත පන්ති වුණත් බාරදීලා යන්න. මට ලොකු සතුටක් තියෙන්නේ මගේ දුවට මම සංගීතය ඉගැන්නුවේ වෙනම කාමරයක තියාගෙන තනියම නොවන නිසා. මම එයාට තනියම සංගීතය කවදාවත් උගන්නලා නෑ. අනෙක් ළමයි සියලු දෙනා සමඟ ඉන්දවල ඒ අයට උගන්වන විදියටමයි එයාටත් ඉගැන්නුුවේ.

තමන්ගෙන් ශිල්ප ඥානය ලබනා සියලු දූ දරුවන් තමන්ගේය. ඒ උත්තම ගුරුවරුන්ගේ හැටිය. තම දරුවාට පමණක් විශේෂත්වයක් නැත. කිසිවකුට ගුරු මුෂ්ටි තියා ගන්නේ ද නැත. සප්ත ස්වරයේ අසිරිය අද ද සනත් නන්දසිරි සෙවණින් ඇසෙන්නේ එලෙසය. අද ද ඉන් ශිල්ප ඥානය රැගෙන පිටව යන ගෝල බාලයෝ රැසකි. මේ සියලු දෙනාටම සනත් සර් ගුරුවරයා වනවා සේම මල්කාන්ති නන්දසිරි ගුරු මව වන්නේය. ඇගේ කරුණාබර ආදර සංග්‍රහ මේ සියලු දෙනාටම එකසේය.

දූ අනුරාධා ප්‍රසංගයේ සංවිධායකත්වය ද නොසැලෙන අත්වැලක සවියකින් ගොඩනැඟෙන්නෙකි. අනුරාධාගේ මිතුරු මිතුරියන් රැසකගේ එකතුවෙන් විදුර ඩයස්, මංගලී බෙතේජු මෙහි ප්‍රධාන සංවිධායකයන්ය.

සනත් - මල්කාන්ති යුවළට නම් ඒක පුද්ගල ද්වි පුද්ගල ප්‍රසංග අමුතු දෙයක් නොවේය. සනත් නන්දසිරිගේ ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය වූයේ ‘ස්වර්ණ කුණ්ඩල’ය. ඒ 70 දශකයේ මැද භාගයේදීය. ඒ වන විට අනුරාධාට වයස අවුරුදු 03 ක් හෝ 04 ක් වන්නට ඇත. ඒ ප්‍රසංගයට ද ‘දූ අනුරාධා’ ගීතය ඔහු ගායනා කළේය. ඉන්පසු ඔහු ‘ආරාධනා’ ප්‍රසංගය පැවැත්වූයේය. අදටත් ඔවුන් ‘මේ ප්‍රථම වසන්තයයි’ නමින් ප්‍රසංගයක් පවත්වාගෙන යන්නේය.

මල්කාන්ති නන්දසිරි ද සංගීත ක්ෂේත්‍රයේ දිගු ඉතිහාසයකට හිමිකම් කියමින් සරල ගී ගායිකාවක වශයෙන් ක්ෂේත්‍රයට පැමිණියෙකි. ගීත දහස් ගණනක් ගායනා කර නොමැති වුව ද එකී ගායනා කළ ගීත අතරින් ක්ෂේත්‍රයේ කිසියම් අනන්‍යතාවක් රඳවා ගැනීමට ඇය අද දක්වා සමත් වී සිටී. ඇගේ සංගීත දිවියේ ගමන් මඟ පසෙකලා සිය සැමියා වෙනුවෙන් කැප වෙන්නට තරම් පති භක්තියක් හිමිකර ගත් ඇය අද දවසේ ද මේ මොහොතේ ද ඔහු පසුපස සෙවණැල්ලක්ව රැඳී සිටියි. ඒ පිළිබඳ කිසිදු කනගාටුවක් හෝ සංතාපයක් ඇයට නැත. මේ සියල්ල ඇය කැප කරනුයේ හදවතින්මය. අසීමිත ආදරයකින්මය.

‘මට මගේ සැමියා ගැන ලොකු ගරුත්වයක් තියෙන්නේ. අවුරුදු 42 ක විවාහ ජීවිතේ සාර්ථකව සතුටින් ගෙවන්නේ මම ඔහුව හරියට හඳුනාගත් නිසා කියලා මට හිතෙනවා. ඔහුට තිබෙන ගරුත්වය, ආදරය දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙන්න අදටත් අබමල් රේණුවකින්වත් අඩුවක් නෑ. අපි දෙන්නගේ ආදරේ උපරිම ඵලය අපේ දියණිය. ඇය වෙනුවෙන් අපේ යුතුකම් ඉෂ්ට කරන්න තමයි දැන් අපි දෙන්නා සූදානම් වෙන්නේ. අවුරුදු 40 ක් විතර ගෙවුණ ජීවිතේදී අම්ම කෙනෙක් වශයෙන් මගෙන් කිසියම් පැහැර හැරීමක් වුණා ද කියලා මට හිතෙනවා. ක්ෂේත්‍රය තුළ අපි හැම අස්සක් මුල්ලක් නෑරම ගියා. නමුත් අපේ දියණියගේ හඬ මේ රටේ රසිකයන්ට අහන්න නොලැබුණ එක ගැන මට දුකක් තියෙනවා. ඇයත් මේ ක්ෂේත්‍රයේ සිටිය යුතුයි කියලා මට හිතෙනවා. ඒ පැහැර හැරුණු දේ කරන්නයි මේ සූදානම.’

මල්කාන්ති පවසනුයේ සැබෑ මව් සෙනහසේ ආදරණීයත්වය කැටි කර ගනිමිනි.

සිය පියා තමන් වෙනුවෙන් ගැයූ ගීතයට වසර 40 ට පසු නව අර්ථකථනයක් එක් කරන්නට මෙදා අනුරාධා සූදානම් වේ. ඒ ගීතය රචනා කොට ඇත්තේ විදුර ඩයස් විසිනි. සංගීත නිර්මාණය නදීක ගුරුගේගෙනි.

‘ඉමියුරු ගීයක් වෙද කුමන

මා ඇමතුම මිස ඔබැ නදින

දූ අනුරාධා . . . දූ අනුරාධා . . .

අනුරාධාගේ ස්වතන්ත්‍ර නිර්මාණයන්ගෙන් සේම මහාචාර්ය සනත් නන්දසිරිගේ ගීත ද, මල්කාන්ති සමඟ යුග ගීත ද ඇතුළත් කොට නවමු ප්‍රසංගයක ගී පෙළහරක් ‘දූ අනුරාධා’ ප්‍රසංගයට ඇතුළත් වේ. සිය පියා විසින් ගායනා කරන ලද ගීත කිහිපයක් මෙදින අනුරාධා විසින් ගායනා කිරීමට ද සැලසුම් කර ඇත. මහාචාර්ය සනත් නන්දසිරි පිළිබද ලියවුණු සැමරුම් ග්‍රන්ථයක් ද මෙදින එළි දැකීමට නියමිතය.

අනුරාධා මීට ප්‍රථම තම පියාණන්ගේ සංගීත ප්‍රසංගයන්හි සහාය ගායිකාවක් ලෙස කටයුතු කළාය. ඒ වේදිකාවේ සිය පියා ප්‍රමුඛ කොට ගනිමිනි. මෙදා වේදිකාවේ ප්‍රමුඛතමයා අනුරාධාය. සනත් - මල්කාන්ති විසින් ගැයෙන රසික හද දිනූ ගීත රැසකට අමතරව අනුරාධාගේ ගීත මෙදින රැව් පිළිරැව් දෙනු ඇත.

දශක දෙකකට ආසන්න කාලයක් කල්යල් බලමින් කළ එළි බසින්නට පෙරුම් පුරා ‘දූ අනුරාධා’ රැගෙන එන අනුරාධාට අපේ හදපිරි සුබපැතුම් මේ සමඟ.