වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




අඳෝනාවක් නොවුණු විරහ ගීයක්

අඳෝනාවක් නොවුණු විරහ ගීයක්

තිසුරි යුවනිකාගේ රඟපෑමක්

මා හදේ ප්‍රාර්ථනා ගීතයෙහි සම්පූර්ණ පදමාලාව:

වේදනා හද වේදනා - ඇස් අගින් සිත්තම් වෙලා

හිත වෙලා මගෙ හිත පෙළා - නුඹ ගියා දුරට නුඹ ගියා

ළංවෙලා අත්වැල් වෙලා - උන්නු හැන්දෑව සිහි වුණා

නෙතු වසා ඉකි ගසා - නාඬනු දෑස මා

මා හදේ ප්‍රාර්ථනා - දිය බිංදු වගෙ විසිරිලා

නෙත් අගින් ගිලිහෙනා - කඳුළු සිඳුදියට මුසු වුණා

ආදරේ මහ සාගරේ වාගෙ ළඳේ කීව සඳ මගේ

බැස ගියේ ඇයි බැස ගියේ අඳුරු වූ අහස හද මගේ

ඇස් දෙකේ ඔය රුව මැවේ මොහොතකින් යළි සැඟ වුණේ

නිම නොවේ පිදූ පෙම මගේ නුඹ ගියත් මා දමා

මා හදේ ප්‍රාර්ථනා

මේ දිනවල නිරන්තරයෙන් අහන්න ලැබෙනුයේ විරහ ගීත තමා. ඒවාට විරහ ගීත කියලත් එක අතකින් කියන්නට බැහැ. අඳෙීනා කියලා තමයි කියන්නට වෙන්නේ. මේ අතරෙන් වෙනස් ආරක් ගත් විරහ ගීතයක් මේ දිනවල අසන්නට ලැබෙනවා. මා හදේ ප්‍රාර්ථනා යනුවෙන් නම් කොට ඇති එය දේශානි විතානගේ ගේ හඬ මුසුවක්. සංගීත විශාරදවරියක වන ඇය මීට ප්‍රථම ගීත කිහිපයක්ම ගයා එළිදක්වා තිබුණා.

මා හදේ ප්‍රාර්ථනා දේශානිගේ විසි අට වැනි ගීත නිර්මාණය වෙනවා. අමල් නිරෝෂිත අල්මේදා පද රචනා කොට ඇති එය පසන් ලියනගේ ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වී තිබෙනවා. ගීයෙහි සංගීත රටාවන් නිර්මාණය කොට ඇත්තේ උදම් රළ උස් පහත් වන අන්දමට.

ගීය ආරම්භයේදී නිසල මුහුදේ රළ සොභාවය අනුවත් අග හරිය වෙද්දී ප්‍රචණ්ඩ සයුරේ රළ ගැටෙන රටාවන්ට අනුවත් සංගීතය නිර්මාණය කිරීමට පසන් උත්සුකව තිබෙනවා. මා හදේ ප්‍රාර්ථනා ගීයෙහි මියුසික් වීඩියෝව රූපගත කළේ දෙහිවල මුහුදු තීරය අසල. තිසුරි යුවනිකා සමඟ සාලින්ද රත්නායක මෙහි රංගනයේ යෙදෙනවා. තමාට අහිමි වූ පෙම්වතා ගැන තැවෙමින් කල් ගත කරන පෙම්වතියට සැරින් සැරේ පෙම්වතාගේ අදෘශ්‍යමාන රුව මැවෙනවා.

නමුත් ඔවුන් එකතු වන්නේ නැහැ. දිනක් පුරා රූපගත කළ මෙම ගීතය රූගත කරන අතරතුරදී තිසුරි අවස්ථා කිහිපයකදීම වැලිපරයක් පෙරළාගෙන මුහුදට වැටී තිබෙනවා. ඇඳුම් වේළෙනකල් අව්වේ සිටිමින් තමයි තිසුරි රූපගත කිරීම්වලට ආයෙ ආයෙ එකතු වී තිබෙන්නේ. වීඩියෝවේ කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය සජීව සංකල්පගෙනි. නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් රන්ජන් ප්‍රසන්න මේ සඳහා දායක වී තිබෙනවා.