වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




මම තවමත් ගෙවන්නේ අල්පේච්ඡ ජීවිතයක්

මම තවමත් ගෙවන්නේ අල්පේච්ඡ ජීවිතයක්

සරත් කොතලාවල සරසවියට කියයි

බොහොම කාලයකට ඉස්සර ගමේ වේදිකා නාට්‍යයක රඟපෑව සරත් ඇතුළු පිරිස ඒ කටයුත්ත කළේ දහම් පාසලේ පුස්තකාලයට ආධාර පිණිස. ඒ එදා ආරම්භ කළ රංගනයට පෙම් බැන්ඳ සරත් රංගනය ගැන සොයන්නට පටන් ගත්තා. රංගනය ගැන පමණක් නොවෙයි, ඔහු සාහිත්‍ය, ඉතිහාසය වගේ අනෙක් දේ ගැනත් කියැවීම, සෙවීම ආරම්භ කළා. වර්තමානයේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස අප ඉදිරියට පිවිසෙන ජයන්ත අමරසිංහ කියන සිය සඟයාත් සමඟ එදා ජයලාල් රෝහණ නාට්‍යවේදියාගේ ‘දිරිය කැදැල්ල’ කියන වීදි නාට්‍යය කණ්ඩායමට යන සරත්ට එහිදි අපූරු මනුස්සයකු මුණ ගැසුණා. ඒ ෂෙල්ටන් පයාගල මහත්තයා. ඔහු සරත්ගේ ජීවිතයට අපූරු ආලෝකයක් ගෙනාව චරිතයක්. ඔහුගෙනුයි සරත් ඇතුළු පිරිස සිනමාව, රඟපෑම, සාහිත්‍ය, නාට්‍ය ආදී බොහෝ දේවල් ඉගෙන ගත්තේ. මුල් කාලයේ නම් ස්ථිර ලෙස ම නළුවකු වෙනවා කියන අදහස ඔහුගේ සිතේ නොතිබුණත් සරත් සිටියේ ඔහුව ම සොයන ගමන්. ඒත් කාලයක් යනවිටයි ඔහුට වැටහුණේ ඔහුට ඔබින්නේ වෙන එකක්වත් නොවෙයි නළුකම කියලා. කරමින් සිටි රස්සාවල් අතැර දැම්ම සරත් ස්ථිරවම රංගනය පිවිසීමේ අදහස ඇතුව ඒ ගැන අධ්‍යයනයක නිරත වුණා. ඒ වසර පහළොවක පමණ කාලයක්.

* රටම දන්න සරත් කොතලාවල කියන රංගන ශිල්පියා වීමට පෙර කෑව කට්ට මොන වගේ ද?

මා රංගන ශිල්පියකු වනවාට මගේ තාත්තා කොහෙත්ම කැමැත්තක් දැක්වූයේ නැහැ. කීයක් හරි දුන්නා නම් ඒ අම්මා තමයි. ඈ කිරි කපලා සොයාගන්න මුදලින් යම් ගණනක් මගේ අතේ තියනවා. ඒ මුදලත් අරගෙන මම උදේ පාන්දර පහටයි නිවෙසින් යන්නේ. ඒ ගිහින් එදාට පොතක් එළිදැක්වෙන්නේ කොහෙද? සම්මන්ත්‍රණයක් පැවැත්වෙන්නේ කොහෙද? අලුතින් චිත්‍රපටයක් පෙන්වන්නේ කොහෙද? වර්ක් ෂොප් එකක් තියෙන්නේ කොහෙද එතැනයි ඉන්නේ. යෞවන සම්මාන උලෙළ අවසන් වුණාට පස්සේ, එහෙමත් නැතිනම් නාට්‍යයක්, චිත්‍රපටයක් නරඹලා අවසන් වුණාට පස්සේ රාත්‍රියේ මගේ යහළුවන් නවතින්නේත් අපේ නිවෙසෙයි. එහෙමත් නැතිනම් ජයන්තගේ නිවෙසෙයි. කොට්ටාවේ ඉඳලා අපේ නිවෙසට තියෙන්නේ කිලෝමීටර හයක් විතර දුරක්. මේ දුර අප සියලුදෙනා ම ගමන් කළේ පයින්. ඒ එනවිට රාත්‍රි දොළහ, එක විතර වෙනවා. ආයෙත් පාන්දර පහට යනවා. යාළුවෝ ටික තාත්තා එක්ක යහළු වුණත්, ඔවුන් ගියාට පස්සේ තාත්තාගෙන් බැණුම් ඇසුවේ මමයි. සමහර වෙලාවට එහා මෙහා යන්න අතේ සල්ලිත් නැහැ. එහෙම වුණාම අපි කරන්නේ බස් එකේ හොරෙන් යන එකයි. මේ මොන බාධක ආවත් මම රංගනය හදාරන වැඩේ අතහැරියේ නැහැ. ඒ නිසයි අද මට මේ දක්වා දුර ගමනක් එන්න හැකියාව ලැබුණේ. එහෙම වුණත් මා තවමත් රංගනය ගැන ඉගෙන ගන්නවා. අධ්‍යයනය කරනවා.

* ඔබ වැඩිපුර ටෙලි නිර්මාණවල දකින්නට ලැබෙන නළුවකු නොවෙයි?

පසුගිය දවස්වල චිත්‍රපට කිහිපයකට ම රංගනයෙන් සහභාගි වුණා. ඒ ජගත් මනුවර්ණ, අනුරුද්ධ ජයසිංහ, ප්‍රදීප් කියන අධ්‍යක්ෂවරුන්ගේ. ඉදිරියටත් චිත්‍රපට කිහිපයකට ම ආරාධනා ලැබිලා තිබෙනවා. ‘නරි බුරති’, ‘ඒකා සාක්කුවේ’, ‘ජයසිරිට පිස්සු’, ‘කෝ කුක්කෝ, ‘චරිතේ හොරු අරන්’ වේදිකා නාට්‍ය කිහිපයේ ම රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සිතාගෙන චිත්‍රපට තිරරචනයක් ලියමින් යනවා. මේ වනවිට මමත්, කුමාරත් චිත්‍රපට තිරරචනා දෙකක් ලියලා තියෙනවා. ඒ වගේ ම පසුගිය දිනවල රුක්මල් නිරෝෂ්ට තිරරචනයක් ලියලා අවසන් කළා.

* ඔබ ලෙනින්ගේ චරිතය රඟපෑ 28 චිත්‍රපටය තවමත් තිරගත වනවා?

ලෙනින්ගේ චරිතයට වගේ ම 28 චිත්‍රපටයටත් බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වෙනස් විදියේ කතා තේමාවක් රැගත් 28 ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටයක්. ඔහු අපට සිටින දක්ෂ අධ්‍යක්ෂවරයෙක්.

* ඔබට ලෙනින්ගේ චරිතය ලැබෙන්නේ කොහොමද?

මීට පෙර මා ප්‍රසන්නත් එක්ක ඔහුගේ නිර්මාණ කිහිපයකට ම දායක වී තිබෙනවා. පසුගිය කාලයේ ඔහු කළ වාර්තා චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වුණා. ඊට පස්සෙයි මේ චිත්‍රපටයට ඔහු මට කතා කළේ. සේමිණිත් එක්ක රඟපාන්නට අවස්ථාව නොලැබුණත් මාත්, මහේන්ද්‍රත්, රුක්මල් යන අප තිදෙනා ම රඟපෑවේ එකටමයි. ලෙනින් මගේ නොවෙයි ප්‍රසන්නගේ නිර්මාණයක්. ඔහුව ප්‍රතිනිර්මාණය විය යුතු විදිය ප්‍රසන්න පැවසුවා. මා ඒ චරිතය ඒ විදියට ප්‍රතිනිර්මාණය කළා.

* නගරබද ජීවත් වන ලෙනින් වැනි චරිත අපේ සමාජයේ හිඟ නැහැ. එවැනි චරිත ඔබටත් මුණ ගැසී තිබෙනවද?

මා ගෙවූ දිවිය ඇතුළේ ලෙනින්ලා දහසක් මට මුණ ගැසිලා තිබෙනවා. ඔවුන්ව මා අධ්‍යයනය කරල තිබෙනවා. ඒ නිසා ඒ චරිතය ප්‍රතිනිර්මාණය කිරීමට මට අපහසුවක් දැනුණේ නැහැ.

* ඔබ මේ වනවිට අධ්‍යක්ෂවරුන් රැසක් ම සමඟ කටයුතු කර තිබෙන නළුවෙක්. ඒ අතරින් ප්‍රසන්න ජයකොඩි වගේ අධ්‍යක්ෂවරයකුව ඔබ හඳුන්වන්නේ කුමන අයුරින්ද?

ඔහුගේ අධ්‍යක්ෂණයට මා කැමැතියි. ජීවිතය දෙස ඉතා සියුම්ව හා අපට ජීවිතයේ අහු නොවන ස්ථාන අල්ලා ගැනීමට තරම් දක්ෂයෙක්. අප ප්‍රතිනිර්මාණය කරන්නේ එක් එක් ජීවිත. ඒ ජීවිත පිළිබඳ අත්දැකීම් නළුවාට වඩා තිබිය යුත්තේ අධ්‍යක්ෂවරයාටයි. ඉන් ඔහු පොහොසතෙක්.

* මහේන්ද්‍රත්, රුක්මල් හා ඔබ තිදෙනා රූ ගත කිරීම් කරන කාලයේ සිටියේ එක්වමයි. ඒ මුණ ගැසීම රංගනයට කොතරම් වටිනාකමක් රැගෙන පැමිණියාද?

බණ්ඩාරාවෙලයි රූගත කිරීම් තිබුණේ. ඒ සෑම අවස්ථාවක ම මහේන්ද්‍ර අයියාගේ නියමයට අනුව උදේ හතරට අප සියලුදෙනා ම අවදි විය යුතුයි. එහිදි ව්‍යායාම හා හඬ පුහුණු වීම් කිරීමයි මුලින් ම කරනු ලබන්නේ. එදා දවස ඇතුළේ කිරීමට තිබෙන දර්ශන කිහිපය රැගෙන කතාබහ කිරීමත් ඒ පැය ගණනට ම ඇතුළත්. ඒ විදියටයි අපේ චර්යාව නිර්මාණය වුණේ. අප තිදෙනාම මේ නිර්මාණය ගැන සිතුවේ අපේ ම නිර්මාණයක් විදියටයි. අවසානයේ හොඳ නිර්මාණයක් බිහි කරන්නේ කෙලෙස දැයි යන්නයි අප සියලුදෙනා ම සිතුවේ. ඒ නිසා අප හොඳට රඟපෑවා. තිරයෙන් පිටුපස සිටි සියලුදෙනාමත් ඒ සියල්ලට ම සහයෝගය ලබාදුන්නා.

* 28 සඳහා යොදා ගන්නේ වෙනස් ම දර්ශන තලයක්. ඒ දර්ශන තලවලදි බොහෝ දේවලට මුහුණ දීමට ඔබ ඇතුළු පිරිසට සිදුවුණාද?

බණ්ඩාරවෙල, නුවර, සුදු තිරිවානා තිබෙන ප්‍රදේශයේ එහෙම රූගත කිරීම් සිදු කළා. ඒ ප්‍රදේශයේදී දහවලට ඇස් අරින්නට බැරි තරම්. එහි දිස්නය ඇස්වලට බොහොම අපහසුයි. බණ්ඩාරවෙල තිබුණු රූගත කිරීම් කරන කාලයේදී දවසක් රෑ මහේන්ද්‍ර අයියාට දැඩි සීතලක් ඇල්ලුවා. ඒ වනවිට ඔහු චරිතයට අවශ්‍ය විදියට ශරීරය කෙට්ටු කරගෙනයි සිටියේ. ඒ පසුබිමත්, දහවල් අප සිටිය පසුබිමත් එක්ක රාත්‍රියට දැනුණ සීතල දරා ගැනීම බොහොම අපහසුයි. අවසානයේ ලයිට්වලින් ඔහුව උණුසුම් කරලයි සීතල දුරු කළේ. මා දකින විදියට ඔහුයි නම්බර් වන් නළුවා වන්නේ. ඔහුගේ සියුම් රඟපෑම අපට හිතා ගන්නවත් බැහැ.

* අද බොහෝදෙනා සිනමා පටයක් නැරැඹීමට සිනමා ශාලාවට පිවිසෙන්නේ නැහැ.

මේ සඳහා හේතු කිහිපයක් ම බලපානවා. අද බොහෝදෙනා චිත්‍රපට නරඹන්නේ ඩී.වී.ඩී පටයකින්. චිත්‍රපටයක් නැරැඹිය යුත්තේ පුළුල් තිරයකයි. එවිටයි සිනමා පටයේ තිබෙන නියම අරුත අරුත් ගැන්වෙන්නේ. දැනෙන්නේ. මේ තත්ත්වය හැත්තෑව දශකයේ තිබුණු බව කියැවෙනවා. වර්තමානයේ මිනිස්සු බොහොම කාර්යබහුලයි. ඒ නිසා සිනමා ශාලාවට ගිහින් චිත්‍රපටයක් නැරැඹීමට තරම් කාලයක් ඔවුන්ට නැහැ. ඒ වගේ ම පවුලේ සියල්ලන් ම සමඟ චිත්‍රපටයක් නැරැඹීමේදී ප්‍රවේශ පත්‍රයක් සඳහා වැය කිරීමට සිදු වන්නේ විශාල මුදලක්. මෙවැනි කාරණා නිසා ඔවුන්ව සිනමා ශාලාවට පිවිසීම වළක්වනවා තමයි. ඒත් සිනමා පටයකින් නියම රස වින්ඳනයක් ලැබීමට නම් නැරැඹිය යුත්තේ පුළුල් තිරයේයි. සිනමා ශාලා පිළිබඳ ප්‍රශ්නයත් මේ කාරණයට ම අදාළයි.

* ඔබ කලක් ගුවන්විදුලි නාට්‍යය පිටපත් රචනය ගැනත් ඉගෙන ගන්නවා. ඒ ලැබූ අධ්‍යපනයද තිරරචකයකු වීමට මඟ පාදන්නේ?

එහෙමත් විය හැකියි. ඒත් සිනමාව ගැන ලිවීමට ඉගෙන ගත්තේ ෂෙල්ටන් මහත්තයාගෙන්. චිත්‍රපටයක සාහිත්‍ය පිටපතක් කියන්නේ මොකක්ද? කාර්මික පිටපතක් කියන්නේ මොකක්ද? ඒවා ලියන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර කියලා දුන්නේ ෂෙල්ටන් මහත්තයායි. ඔහු ලෝකයේ හොඳම චිත්‍රපට ගෙනැත් අපට පෙන්වුවා. ඒවා ගැන කතා කළා. අපේ රසඥතාව වර්ධනය කිරීමට මහත් වෙහෙසක් ගත්තා. ඒ සතයක්වත් නොගෙනයි. ඔහුට වුවමනා වුණේ ඔහු දන්න දේ අපට කියලා දීමයි.

* මේ වනවිට ඔබ නළුකම පැත්තකින් තියලා තිරරචනා ලිවීමට පටන් ගෙනද?

අද වනවිට මා ටෙලි නාට්‍යවල රඟපාන්නේ අඩුවෙන්. එය අද සාහසික ව්‍යාපාරයක් බවට පත්වෙලා. කර්මාන්තය කර්මාන්තයක් විය යුතුයි. එහෙත් සාහසික නොවිය යුතුයි. ලාභය මූලික කරගෙනයි ටෙලි නාට්‍ය නිර්මාණය වන්නේ. ඒ නිසා නළු නිළියන්ගේ වටිනාකම ගෙවන්නේ නැහැ. පිටපතක් වශයෙන් බොහෝ නිර්මාණ නිර්මාණාත්මක නැහැ. දවසකට දැරිය නොහැකි දර්ශන ප්‍රමාණයක රූගත කිරීම් කෙරෙනවා. මොකද රඟපානවා කියන්නේ පොටෝ කොපි ගහනවා වගේ වැඩක් නොවෙයි. එය කළ යුත්තේ මනසින්. එවැනි පසුබිමකුයි ටෙලි නාට්‍යවල නිර්මාණය වී තිබෙන්නේ. ඒ නිසා මා ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ. හඳුනන, විශ්වාසවන්ත කෙනෙකු හොඳ නිර්මාණයක් කරනවා නම් පමණයි ටෙලි නාට්‍යවලට රඟපෑමෙන් සහභාගි වන්නේ. මේ නිසා මගේ කාලය බොහෝ ඉතුරුයි. ඒ කාලයේයි මා තිරරචනා ලියන්නේ.

* වර්තමානයේ බොහෝදෙනා පවසන්නේ දක්ෂ තිරරචකයන්ගේ අඩුවයි. තිරරචනයක් ලිවීම පහසුද?

පිටපතක් ලියන කෙනෙකු මනුෂ්‍යාගේ හැඟීම් පිළිබඳ මනා අධ්‍යයනයක් කළ යුතුයි. ප්‍රවීණ නිර්මාණකරුවකු වන තිස්ස අබේසේකර වගේ කෙනෙකු ගත්තොත් ඔහුගේ තිරරචනාවල තිබෙන්නේ දෙබස් ටිකයි. චරිත ගැනයි බොහෝ දේ ලියා තිබෙන්නේ. ඒ සියල්ල පිටපත් රචකයා දැන ගත යුතුයි. බුදුන්වහන්සේ දේශනා කරන ලද හේතුඵල ධර්මතාව රංගනයටත් ඇතුළත්. චිත්‍රපට රංගනයේදී හේතුවක් නැතිව ඇහිපිල්ලමක්වත් ගැසිය නොහැකියි. ඒ විද්‍යාව සොයාගත යුතුයි. නළුවා, අධ්‍යක්ෂවරයා වගේ ම පිටපත් රචකයාත් එය සොයා ගත යුතුයි. එවැනි දෙය සොයාගෙන නොයෑම නිසයි දක්ෂ පිටපත් රචකයන් අඩු වීමට හේතු වන්නේ. ඒ වගේ ම එක දිගට ලියන එක නොවෙයි පිටපත් රචනය කියන්නේ. එවැනි ලිවීම මානසික වදයක්. එහෙම නොවෙයි ලිවිය යුත්තේ මනස පවසන විටයි. මා නම් කරන්නේ එයයි. සමහර විට මට අදහස් පැමිණෙන්නේ නිදන විටයි. ඒ නිසා ම මගේ කොට්ටය යට නිතරම කොළ ටිකක් වරදින්නේ නැහැ.

* නළුවකු, අධ්‍යක්ෂවරයකු, පිටපත් රචකයකු ආදී විවිධ භූමිකා කිහිපයක ම සැරිසරන ඔබට මේ සියලු කටයුතුවල ම නියැළීමට තරම් කාලයක් තිබෙනවාද?

විවේක බුද්ධිය කියන්නේ මට බොහොම වැදගත් දෙයක්. මේ දවස්වල එක් ටෙලි නාට්‍යයකට පමණක් රංගනයෙන් දායක වන නිසා මා සතියේ දින බොහොමයක සිටින්නේ නිවෙසෙයි. ඒ දවස්වල මා නියැළෙන්නේ තිරරචනයක් ලියමින්. එහෙමත් නැත්නම් මොකක් හෝ පොතක් කියවමින්. නැතිනම් චිත්‍රපටයක් නරඹමින්. චිත්‍රපට තිරරචනයක් ලියන විට එය අවසන් වුණත්, යළිත් පහළොස් සැරයක්වත්, විසි සැරයක්වත් මගේ අතින් එය ලියැවෙනවා. මේ දවස්වල කුමාරත්, මමත් එකතු වෙලා පිටපතක් ලියන්නයි සූදානමක් තිබෙන්නේ. ඒත් අපි දෙන්නාට තවම හරියට කාලය කළමනාකරණය කර ගැනීමට නොහැකි වුණා.

* ඔබගේ දුවටත්, පුතාටත් පියා රංගන ශිල්පියකු වීම ගැන මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ?

ඉසුරි සන්දීපනී හා ඉසුරු මනූෂට මාව දැන් සාමාන්‍ය කෙනෙක්. දුව ඕ ලෙවල්වලට කරන්නේ නාට්‍ය හා රංගකලාවයි. ඇය මේ වසරේ විභාගය ලියනවා. පුතා ඉගෙන ගන්නේ හයවැනි ශ්‍රේණියේ. ඔවුන් දෙදෙනා ම මේ වනවිටත් රඟපාලා තිබෙනවා. ඒ ‘තණ්හා රතී රඟා’ හා ‘සමනල තටු’ කියන චිත්‍රපටවලයි. නිලේන්ද්‍ර හා සෝමේ අයියා ඔවුන්ව ඉල්ලූ නිසයි මා මේ දෙන්නාව එහි රඟපෑමට යැව්වේ. තාත්තා රඟපෑවා කියලා පුතාත් රඟපෑ යුතු නැහැ. ඒ අයට අධ්‍යාපනය ලබා දුන්නට පස්සේ කුමක්ද කරන්නේ කියා ඔවුන් ම තීරණය කරාවි. අපේ රටේ මව්පියන් නම් කරන්නේ තමන්ට ළඟාවිය නොහැකි වූ සිහිනවලට දරුවන් ලඟා කරවීමයි. ඒක ඒතරම්ම හොඳ නැති දෙයක්. මොකද ඔවුන්ට කැමැති දේ කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමයි අප කළ යුත්තේ.

* ඔබත් එවැනි අත්දැකීම් ලැබූ අයකුද?

මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහුත් නිතර ම මට පැවසුවේ ව්‍යාපාරිකයකු වන්නයි. ඒත් මට ඒක හරි ගියේ නැහැ. මා මාව සොයාගෙන ගියා. එයයි අප කළ යුත්තේ. අධ්‍යාපනයක් ලබාදීමෙන් පසුව ඒ අය ඔවුන්ගේ අනාගතය තීරණය කරාවි.

* බිරිය ඔබට මුණ ගැසෙන්නේත් නළුවකු වීම නිසාද?

පුෂ්පා සමන්මලී වන මගේ බිරිය මට මුණ ගැසෙන්නේ විවාහ යෝජනාවක ප්‍රතිඵලයකින්. අප දෙදෙනා විවාහ වනවිටත් මා පුංචි පුංචි නාට්‍යවලට සම්බන්ධ වීලයි සිටියේ. ඈ මගේ කලා කටයුතුවලට එදි වගේ ම අදත් උපරිමයෙන් ම සහයෝගය ලබා දෙනවා. මා නිර්මාණය කළ ‘සූකරයෙක් සමඟ’, ‘නරි බුරති’, ‘ඒකා සාක්කුවේ’, ‘ජයසිරිට පිස්සු’ කියන නිර්මාණවල ඇඳුම් නිර්මාණය කළේත් පුෂ්පායි. මේ නාට්‍යවලට කෑම හදා දෙන්නේ ඇතුළු සියලු ම කටයුතුවලට මට සහය දෙන්නේ ඇයයි. අප සියලුදෙනා ම තවමත් ගෙවන්නේ අල්පේච්ඡ ජීවිතයක්. එය එදත් එහෙමයි. අදත් එහෙමයි.