වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




මේ චරිත දෙකම මට රඟපාන්න ලැබුණේ වාසනාවට

මේ චරිත දෙකම මට රඟපාන්න ලැබුණේ වාසනාවට

සුගත් ජානක

මං රියැලිටි වැඩසටහන් ප්‍රතික්ෂේප කරන්නෙකු නෙවෙයි. නමුත් මට ඒවට ආරාධනා ලැබෙන්නේම නැති තරම්. මං පහුගිය කාලයේ රියැලිටි වැඩසටහන් කිහිපයක්ම බැලුවා. ඒවාහි සෑම එකකම ඉන්නේ එක කණ්ඩායමක්. එක අතකින් ඒක අසාධාරණයි. මම දන්නේ නැහැ මොන පදනමකින් ඒ අයව ඒවට ගන්නවද කියලා. ඉල්ලගෙන යන ක්‍රමවේදයක් නැති නිසා මං රියැලිටිවලට නැහැ. මං කිව්වේ අනිත් අය ඉල්ලගෙන යනවා කියලා නෙවෙයි. වැරැදියට තේරුම් ගන්න එපා.

සුගත් ජානක යනු නළුවෙකි. එහෙත් ඇතැම් ප්‍රසංග වේදිකාවලදී ඔහුව ඔබට ගායකයකු ලෙසින් ද හමුවීමට ඉඩ තිබේ. මේ අංශ ද්විත්වයෙන් සිය දක්ෂතාවයන් ඉදිරිපත් කරන සුගත් මේ දිනවලදී දෙව්ලියේ සහ මුතුකුඩ යන ටෙලි නාට්‍ය ඔස්සේ දෙආකාරයක චරිතයන් යුවළක් නිරූපණය කරනු ලබයි. සරසවිය කාර්යාලයට සුගත්ගේ රුව නුුහුරු නැත. පුවත්පත් ලිපියක් ගියත් නොගියත් ඔහු නිරන්තරයෙන් අපගේ සුවදුක් බැලීමට පැමිණෙයි. ඒ ආ අතරවාරයකදී ඔහු හා කතාබහක නියැලුණෙමු.

සුගත්, දෙව්ලියේ මාලන් සහ මුතුකුඩ ආබෲ ගැන පළමුව කතා කළොත් හොඳයි?

මේ චරිත යුවළ මගේ වාසනාවට ලැබුණ ඒවා කියලයි මට හිතෙන්නේ. ඒවා එකිනෙකට වෙනස්. අනික මට හොඳට රඟපාන්නත් තිබුණා. මාලන් කියන්නේ මිතුරෙකුගේ චරිතයක්. ආබෲ කියන්නේ සුද්දන්ට උදව් කරන සිංහලයෙක්. ආබෲ වෙනුවෙන් මගේ මුහුණට රැව්ලක් එහෙම ඇලෙව්වා. සුන්දරයි ඉතින්.

සුගත් ක්ෂේත්‍රයට ඇවිත් දැන් දශක දෙකකට ආසන්නයි නේද?

එහෙම කියන්න එපා. මගේ වයස අහු වෙනවා?

ඒ වුණාට මං කිව්වේ ඇත්තනෙ?

ඔව් ඔව්. මං විහිළුවක් කළේ. අනූ නවය වර්ෂයේ කුලවිලෝකනය හරහා මං රංගනයට එකතු වුණේ. වයසින් ටිකක් ළාබාලයි. එතකොට ලබන අවුරුද්ද නෙවෙයි ඊළඟ අවුරුද්දට වසර විස්සක් වෙනවා මං ක්ෂේත්‍රයට ඇවිත්.

මේ කාලය අතරතුරදී ලද ජනප්‍රියත්වය මදි බවක් පේනවා?

එහෙම මදි බවක් නම් මට දැනෙන්නේ නැහැ. මට මේ ඇති. තැනකට ගියාම කොච්චර නම් පිරිසක් මාව හඳුනා ගන්නවාද. ඉතින් මං ජනප්‍රිය බව මට දැනෙනවා. අර ඕනෑම දෙයක් ඕනෑම නැහැ කියනවනෙ.

හිත හදාගන්න ඔහොම හිතුවට සුගත්ට බැරි වුණා තවම ජනප්‍රිය නළුවන්ගේ ලැයිස්තුවට එන්න?

ජනප්‍රිය නෙවෙයි, කවදා හරි මට ඕනෑ හොඳම කියන කැටගරි එකට එන්න. කවදා හරි මං ඒක කරනවා. එතකොට ජනප්‍රියත්වය ඉබේම ළඟා වේවි.

හොඳම නළුවා වීම සඳහා සුගත් මොන වගේ කාර්යයන් ටිකක් ද කරන්නේ?

හැදෑරීම තමයි. හදාරන්නේ නැති නළුවකුට පැවැත්මක් නැහැ. මං පුරුදු වෙලා ඉන්නවා ප්‍රවීණයින්ගෙන් ඉගෙන ගන්න. ඔවුන්ව සියුම් ලෙස අධ්‍යනය කළාම අපට ඉගෙන ගන්නත් ගොඩක් දේවල් තියනවා. ඒ වගේ විදෙස් චිත්‍රපට නැරැඹීම තුළින් ඉගෙන ගන්නට පුළුවන්.

ඔබ පරපුරේ බොහෝ දෙනෙක් රියැලිටි වැඩසටහන්වලට එකතු වෙලා සිය ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කරගන්නවා. ඒත් ඔබ?

මං රියැලිටි වැඩසටහන් ප්‍රතික්ෂේප කරන්නෙකු නෙවෙයි. නමුත් මට ඒවට ආරාධනා ලැබෙන්නේම නැති තරම්. මං පහුගිය කාලයේ රියැලිටි වැඩසටහන් කිහිපයක්ම බැලුවා. ඒවාහි සෑම එකකම ඉන්නේ එක කණ්ඩායමක්. එක අතකින් ඒක අසාධාරණයි. මම දන්නේ නැහැ මොන පදනමකින් ඒ අයව ඒවට ගන්නවද කියලා. ඉල්ලගෙන යන ක්‍රමවේදයක් නැති නිසා මං රියැලිටිවලට නැහැ. මං කිව්වේ අනිත් අය ඉල්ලගෙන යනවා කියලා නෙවෙයි. වැරැදියට තේරුම් ගන්න එපා.

කොහොමද ප්‍රසංග වේදිකාවට ඔබෙන් ලැබෙන දායකත්වය?

ප්‍රසංග වේදිකාවට නිතරම වගේ ඇරැයුම් ලැබෙනවා. මං ඉතින් කියන්නේ අනුන්ගේ සිංදුනේ. මං කියන ගීතවල මුල් අයිතිකරුවෝ දන්නවා මං ඒවට හානියක් නොකොට ගායනා කරනවා කියලා. ඒ හින්දා මට හානියක් නැහැ. ප්‍රසංග වේදිකාව කියන්නේ වෙනම කලාවක්. මං ඒ කලාවට ප්‍රියයි.

ඔබේ හැකියාව අගය කිරීමට සම්මාන ලැබී නැහැ නේද තවම?

ජාතික මට්ටමෙන් නම් නැහැ. නමුත් ප්‍රාදේශීය මටටමින් මට සම්මානයක් ලැබී තිබෙනවා. සුදුයි උසයි නාට්‍යහි මගේ රංගනය අගයලා ඒ සම්මානය ලැබුණේ.

සිනමාවට ළඟදී සම්බන්ධ වුණේ නැද්ද?

ඇයි නැත්තේ. මේ දවස්වලත් චිත්‍රපටයක ෂූටිං. ඒ මොහාන් නියාස්ගේ ශ්‍රී වික්‍රම. හොඳ චරිතයක් මට ලැබුණා. ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කළ සරඝරප චිත්‍රපටයේ මුදලාලිගේ චරිතය කළා. එහි ෂූටිං නම් ඉවරයි. හොඳ චිත්‍රපට රැසකටම මට ආරාධනා ලැබුණා.

අනෙක් ශිල්පීන් වගේ ඔබ හඬ කැවීම්වලට දායක වන්නේ නැද්ද?

නැහැ. ඔන්ලි ඇක්ටිං සහ සිඟිං පමණයි.

බොම්බෙ වෙල්වට් චිත්‍රපටයෙන් පසුව ජාත්‍යන්තර නිර්මාණයකට ආරාධනා ලැබුණේ නැහැ වගේ?

බොම්බෙ වෙල්වට් හොඳයි. එහි ශිල්පීන් අතරින් ඇතැම් අය හරියට හිතට අරගෙන හිටියේ. ලංකාවේ අය එහෙම නැහැ. දේශීය නිර්මාණවල අගය දැනෙන්නේ විදෙස් නිර්මාණයකට දායක වෙන්න ඕනෑ. බොම්බෙ වෙල්වට් එකෙන් පසුව මං විදෙස් නිර්මාණවලට දායක වුණේ නැහැ.