වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




සංස්ථාව පිහිටුවන්න ප්‍රථම රැස්වීම පැවැත්වූයේ මගේ කාර්යාලයේ

කලාකරුවන්ට නවාතැනක් වූ මරදානේ රවුෆ් බිල්ඩිමේ කතාව


සංස්ථාව පිහිටුවන්න ප්‍රථම රැස්වීම පැවැත්වූයේ මගේ කාර්යාලයේ

විමලදාස පෙරේරා විස්තර කරයි

පසුගිය සතියෙන්...

මරදානේ සිටි එවක ගණන්කාරයෙකි චොප්පේ. මට චොප්පේ කවදත් හිතවත්ය. ඒ අවට හිටි හැම කෙනෙකුටම චොප්පේ නියෝග කොට තිබුණේ විමලදාස මහත්තයාට අතක්වත් තියන්න එපා කියලයි. චොප්පේ ද සමහර දාට මගේ මිනි බාර් එකෙන් අඩියක් ගහන්නට ආවේය. හවසට රෑ බෝ වෙන තෙක් සින්දු කියන අපේ කලාකරුවන්ගේ ගීත රස විදින්නට ද චොප්පේ ආව ගියේය.

මගේ කාර්යාලයේ නැවතිලා ඉන්න අලුත් කොල්ලෙක් ඉන්නවා රඟපාන. අන්න ඒ හාදයාට මෝටර් සයිකලයක් ගන්න ඕනෙලු යන්න එන්න පහසු වෙන්න. ඔය පෙරේරා කියන හාදයා මමත් දැකලා තියෙනවා. දැන් මිනිහත් ටික ටික ජනප්‍රියයි නේද? මිස්ටර් සොයිසා මට කීවේය. දවසක් සොයිසාගෙන් මට දුරකථන ඇමතුමක් ආවේය, වැඩක් නැත්නම් මාව ඇවිත් හමුවන ලෙසය. ඒ අනුව මා ඔහුගේ කාර්යාලයට ගියේ හනිකය. සොයිසාගේ කාර්යාලය තිබුණේ ගොඩනැගිල්ලේ පහත මාලයේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බයිසිකල් පනහක් ගෙනත් තියෙනවා. එයින් තිහකට සල්ලි බැඳලා අරන් ගියා. අනික් ඒවා ඉතිරිව තියෙනවා. මට පුළුවන් එයින් එකක් අර පෙරේරා කිව්ව නළු කොලුවට දෙන්න. ඒ වෙලාවේම මම රුපියල් 2500 ක මුදලක් අත්තිකාරමක් ලෙස සොයිසාට දෙනු ලැබිණි. පසුදා පැමිණ බයිසිලය අරන් යන ලෙස මට පැවසුවේය. එවක ස්ටැෆඩ් මෝටර් ආයතනයේ බයිසිකල් යාඩ් එක තිබුණේ කුරුඳුවත්ත පොලිසිය අසලය. මමත් විජයත් පසුවදාම එතනට ගොස් බයසිකලයත් රැගෙන ආවෙමි.

ඒ වෙන විටත් හරියට විජයට බයිසිකලය පදවාගෙන යාමේ හැකියාවක් නොතිබුණි. ඔහු මා ද පසුපස තියාගෙන මරදානේ මගේ ඔෆිස් එකට පැමිණියේය. මා එවක පදිංචිව සිටියේ බත්තරමුල්ලේය. සවස ගෙදර යාම මගේ සිරිත විය. පසුදා මා කාර්යාලයට ගොස් බැලීමේදී විජය පෙනෙන්නට නොසිටියේය. ඒ අවධියේ මගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කරනු ලැබූ ලිලියන් (පසු කලෙක බන්දු එස්. කොඩිකාර විවාහ වූයේ ඇය සමඟය) ගෙන් විජය ගැන ඇසුවෙමි. මිස්ටර් පෙරේරා විජය බයිසිකලයෙන්ම ගෙදර යනවා කියලා යන්න ගියා ලිලියන් කීවාය. මිනිහට බයිසිකලය පදින්නත් හුරුවක් නෑනේ. මොනවා හරි වුණා නම් මට කියවිණි. අලුත ගත්ත මෝටර් සයිකලයෙන් ගෙදර යාමේ දැඩි ආශාව නිසාවෙන් විජය තකහනියක්ම ගෙදර ගිය බව පසුව මට පැවසීය. බයිසිකලය අතට ගත්තායින් පසු විජය මාගේ ඔෆිස් එකෙන් දුරස් වුව ද ෂූටින් නැති හැම වෙලාවකම මගේ ඔෆිස් එකට පැමිණීම විජයගේ සිරිත විය.

මගේම බාර් එකෙන් සප්පායම් වන කවුරුත් සවසට මෙතැනට එක්වීමේ පුරුද්දක් ඇති කරගෙන තිබිණි. රෑ බෝ වෙන කොට මගේ කාර්යාල බිම කලාකරුවන්ගෙන් පිරිලාය. සර්පිනා, තබ්ලා, ගිටාර් පවා මම අරගෙන තිබුණේ පැමිණෙන අයගේ විනෝදය සඳහාය. සිසිර සේනාරත්න, ඩබ්ලිව්. ප්‍රේමරත්න රෑ වෙන කොට මෙතැනට එන්නේ සින්දු කියන්ටය. ඒ සියලු දෙනාගේ බර පැන දරනුයේ මාය.

මගේ කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල විවෘත කරන්නට ආරාධනා ලබා තිබුණේ එවක රාජ්‍ය අමාත්‍යවරයකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතාටය. මෙහි තුන්වෙනි තට්ටුවේ කාර්යාලය පවත්වාගෙන ගියේ මාය. මෙහිදි මා සොයිසා මහතාට යෝජනාවක් කරණු ලැබුවේ ගොඩනැගිල්ල විවෘත කරන්නට එන ජේ. ආර්. ජයවර්ධන මහතා ලවාම මගේ ඔෆිස් එකත් විවෘත කරදෙන ලෙසය. විවෘත කිරීමට පැමිණි ජයවර්ධන මහතාට මගේ අවශ්‍යතාවය කියූ පසු කලාකාරයන්ගේ වැඩකට නොගිහින් බෑනේ කියා ඇවිත් මගේ කාර්යාලය විවෘත කරනු ලැබීය.

මගේ කාර්යාලයේ විජය නැවතී සිටි නිසාවෙන් දේශපාලඥයන්ගේ පැමිණීමේ අඩුවක් ද නොවිණි. ඒ සෑම අයකුම පැමිණියේ විජය හමුවීමටය. රාජිත සේනාරත්න, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, සෝමවීර චන්ද්‍රසිරි වැන්නවුන් එදා විජය හමුවීමට පැමිණි පිරිස අතර වූහ. ඒ එන කවුරුත් මට හඳුන්වාදීම විජයගේ සිරිත විය.

අපේ කාර්යාල ගොඩනැගිල්ල අසලදී මිනීමැරුමක් ද සිදු විය. එදා මැයි දින පෙළපාලි යන දවසකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට මන්ත්‍රීවරයකු වූ ලක්ෂ්මන් රාජපක්ෂ මහතා තම කණ්ඩායම සමඟ පෙළපාලියෙන් අප සිටි ගොඩනැගිල්ල ළඟින් යමින් සිටියේය. අපේ ගොඩනැගිල්ල අසල ඩඩ්ලි සේනානායක මහතාගේ විශාල ප්‍රමාණයේ පින්තූරයක් ගසා තිබුණි. ඒ අසලද පිරිස් රැස්ව සිටියහ. ඔවුන් අතරින් පෙළපාලියේ එන පිරිසට කියනු ලැබුවේ බත් දුන්න පියාට වැඳගෙන යන්න කියාය. මේ කීමට පෙළපාලියේ පැමිණි අයත් එතන රැස්ව සිටි අයත් අතර ගාලගෝට්ටියක් ඇති විය. ලක්ෂ්මන් රාජපක්ෂ මහතාගේ වාහනයේ සිටි ඩ්‍රයිවර් වාහනය නතර කෙට අපේ කාර්යාලය ළඟ සිටි පිරිසට ගහන්නට විය. ඔය අතරේ අපේ කාර්යාලයේ වැඩ කරමින් සිටි වඩුබාස් කෙනෙකු වූ ගවුනිස් කියන පුද්ගලයා එකී ඩ්‍රයිවර්ට පිහියෙන් ඇන්නේය. ඒ පිහි පහරින් ඩ්‍රයිවර් මියගිය අතර ගවුනිස් පැන දිව්වේය. පසුව ඔහු පොලීසිය මඟින් සැඟව සිටියදී අත් අඩංගුවට ගත් අතර මට ද ඒ සිද්ධිය නිසාවෙන් පොලීසියට කට උත්තර දෙන්නට ද සිදු විය.

මරදානේ සිටි එවක ගණන්කාරයෙකි චොප්පේ. මට චොප්පේ කවදත් හිතවත්ය. ඒ අවට හිටි හැම කෙනෙකුටම චොප්පේ නියෝග කොට තිබුණේ විමලදාස මහත්තයාට අතක්වත් තියන්න එපා කියලයි. චොප්පේ ද සමහර දාට මගේ මිනි බාර් එකෙන් අඩියක් ගහන්නට ආවේය. හවසට රෑ බෝ වෙන තෙක් සින්දු කියන අපේ කලාකරුවන්ගේ ගීත රස විදින්නට ද චොප්පේ ආව ගියේය.

විජයගේ හොඳ යාළුවෙක් වූයේ චොප්පේය. විජය මහජන පක්ෂය පිහිටුවා ගත් පසු ඔහුගේ කාර්යාලයේ වැඩ කරනු ලැබුවේ චොප්පේගේ නැඟණියකගේ දුවක වූ කරුණාය. කරුණා මා ළඟ ද වැඩ කළේය. ඒ නිසාවෙන් චොප්පේ නිතර ඇය ගැන සොයා බලන්නට ද මගේ ඔෆිස් එකට ආව ගියේය. ඒ හැම විටම ඔහු කිව්වේ විමලදාස මහත්තයෝ මගේ දුවක් වෙනවා කරුණා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න කියාය. ටෝනි රණසිංහ, වික්‍රම බෝගොඩ, අමරසිරි කලංසූරිය, ධර්මසේන පතිරාජ ඒ දවස්වල මගේ කාර්යාලයට නිතර ආව ගියේය. සමහරදාට මේ අයගේ නවාතැන මගේ කාර්යාලයයි. කිංස්ලි රාජපක්ෂ, සුමිත් බිබිලේ, සිසිර පියසේන වැන්නවුන් නැවතී සිටි අවස්්ථා තිබිණි. විජයගේ දේශපාලන වැඩ වැඩිවීමත් සමග මාලිගාවත්ත පාරේ කාර්යාලයක් වෙත ඔහු යන්නට ගියේය. ඒ සඳහා ඔහුට අවශ්‍ය වූ ලී බඩු නොමිලයේම සපයනු ලැබුවේ රවුෆ් බිල්ඩිම අයිතිව තිබූ රවුෆ් මුදලාලිය. රවුෆ් බිල්ඩිම හා අපි සිට බිල්ඩිම වෙන් වූයේ අතරමැදි වත්තකිනි. ඒත් අපේ නවාතැන කා අතරත් ප්‍රසිද්ධ වූයේ රවුෆ් බිල්ඩිම කියාය. මිල්ටන් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, රුක්මණී දේවි, එඩී ජයමාන්න එදා මගේ ඔෆිස් එකට නිතර පැමිණියේය. රුක්මණී දේවි එඩී ජයමාන්න ආපුදාට මගේ ඔෆිස් එක පහළ කොල්ලො කුරුට්ටන්ගෙන් පිරී යයි. පසු කලෙක නළු නිළි වරම් ලද කීප දෙනෙකුම මගේ කාර්යාලයේ වැඩ කරනු ලැබීය. නෙළුම් පෙරේරා, ගයාත්‍රි ඩයස්, සේමිණි ඉද්දමල්ගොඩ, කරු නානායක්කාර, අනුර සිරිවර්ධන වගේම පසු කලෙක මිස් සිලෝන් වූ දිල්රුක්ෂි අබේසිංහ ද ඒ අතර වූහ. ඔවුනට නළු නිළි වරම් ලබන්නට මා සම්බන්ධ නොවූව ද මගේ කාර්යාලය තුළ වැඩ කිරීම නිසාවෙන් එතනට යන එන කලා ක්ෂේත්‍රයේ උදවියගෙන් ඔවුනට ඒ අවස්ථාව උදා විය.

ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කිරීම සඳහා මුල්ම රැස්වීම පැවතියේ මගේ කාර්යාලයේදීය. ඩී. බී. නිහාල්සිංහ, ඩොමී ජයවර්ධන, ස්ටැන්ලි පෙරේරා, එල්. එම්. පෙරේරා, එල්සන් දිවිතුරුගම, ඇල්ප්‍රඩ් එදිරිමාන්න ඇතුළු කණ්ඩායමක් එකට රැස් වී තීන්දු තිරණ ගත්තේ මගේ කාර්යාලයේදීය. ඒවාට මම ද සහභාගි විය. ඒ අවධියේ මම ගුවන් විදුලියේ වැඩසටහන් කරන වකවානුවක් වූයෙන් කලාකරුවන් චිත්‍රපට සංස්ථාවක් අවශ්‍ය යැයි කියමින් දියත් කළ වැඩ සටහනට ගුවන් විදුලියෙන් ප්‍රචාරයක් ලබා දුන්නේ මාය. නළු නිළියන්ගේ එකතුවෙන් මහනුවර, රත්නපුර, ගාල්ල ප්‍රදේශවල විශාල රැස්විම් සංවිධානය කළ හෙයින් ඒ සඳහා අවශ්‍ය කරන සියලු ප්‍රචාරක දැන්වීම් දැමීම සිද්ධ කළේ මගේ පුද්ගලික මුදලිනි. එහි ප්‍රතිඵලයක් ලෙස 1972 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය චිත්‍රපට සංස්්ථාව ස්ථාපිත කරනු ලැබූ හෙයින් එහි ප්‍රථම සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඩී. බී. නිහාල්සිංහ මහතා පත් කරනු ලැබීය.

ඉතිරි කොටස ලබන සතියේ