වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ Style එක දැන් වෙන අය Copy කරනවා

මගේ Style එක දැන් වෙන අය Copy කරනවා

අනර්කලී ආකර්ෂා ආඩම්බරයෙන් පවසයි

ආකර්ෂණීය අනර්කලී දිගු කලකට පසු ලංකාවට ඇවිල්ලා. කවදත් ඇය සරසවිය හා ළෙංගතු නිසා මුලින්ම දැන්වූයේ අපට. කලක් රටින් බැහැරව සිටියත් අනර්කලීව කෙදිනකවත් කාටවත් අමතකවන චරිතයක් නම් නෙවෙයි. ඇය එතරම්ම ජනප්‍රියයි. ඒ ජනාදරය ඉහළම තිබුණ සමයක තමයි අනර්කලී රටින් බැහැරව ගොස් අමෙරිකාවේ පදිංචි වන්නේ. එයට ප්‍රධානම හේතුව ඇගේ සැමියා වූ ඉෂාන් ජයසිංහ එරට සේවය කිරීමයි.

* අනර්කලී, විශේෂ හේතුවකට ද ඔබ ලංකාවට එන්නේ?

ඒක විශේෂ හේතුවක් නෙවෙයි. විශේෂ හේතු ගණනාවක්ම තියෙනවා. මගේ හස්බන්ඩ් දිග කාලයක් අමෙරිකාවේ ජීවත් වුණේ. මට ඔහුට මගේ රටේ බියුටි එක ගැන පෙන්වන්න ඕනෑ වුණා. ඒ වගේම මැරේජ් එකෙන් පස්සේ අපි ලොකු කාලයක් ලංකාවේ ගත කළේ නැහැ. මේ පාර ආවේ එහෙම ලෝන්ග් හොලිඩේ එකක් ලංකවේ ගත කරලා හස්බන්ඩ් එක්ක රට වටේම යන්න.

* කොහෙ කොහෙද ගියේ?

අපි ගියා නුවර, නුවරඑළිය, ගාල්ල ආදි බොහෝ තැන්වලට අප ගියා.

* ඒ අතරින් හස්බන්ඩ්ගේ වඩාත් සිත් ගත්තේ කොහේද?

නුවරඑළියට ඔහු ගොඩක් ආස වුණා.

* කවදද ඔබ ලංකාවෙන් ගියේ?

ටූ තවුසන් ෆිෆ්ටීන්වල වගේ.

* කොහොමද අමෙරිකාවේ ගත කළ ජීවිතය ඔබට දැනුණේ?

අමෙරිකාව හරි වෙනස්. හරිම වේගවත් රටක්. කාලය ඉක්මනින් ගත වෙනවා වගේ දැනෙනවා. සංස්කෘතියත් වෙනස්. හරිම විවෘතයි ඒ රටේ මිනිස්සු. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න අයිතියක් තියෙනවා. කවුරුවත් ඒවා දිහා වැරැදි ඇහෙන් බලන්නේ නැහැ. එහෙ අය විවේචනය කරන එක අඩුයි. ඇත්ත කතා කරන්න බය වෙන්නේ නැහැ. මං ඔය දේවල් කිව්වේ අමෙරිකාව ගුඩ් කියලා කියන්න නෙවෙයි. වෙනස පහදන්න ඕන නිසා. අමෙරිකාව කොච්චර වෙනස් වුණත් මට ලංකාවට නම් සමාන කරන්න බැහැ.

* ලංකාව ගොඩක් මතක් වෙනවා වගෙයි?

ගොඩාක් මතක් වෙනවා. මං හීනෙකින්වත් හිතුවේ නැහැ මං වෙනත් රටක පදිංචි වෙන්න වේවි කියලා. ලංකාවේ ජීවත් වෙන්නයි මං බලාපොරොත්තු වුණේ. නමුත් මට යන්න වුණා. කොච්චර දුරක හිටියත් මං ලංකාවේ හිතින් ජීවත් වෙනවා.

* මෙවර ලංකාවට ආවහම රංගනයට ආරාධනා ලැබුණේ නැතිද?

රංගනයට නම් නිරන්තරයෙන් ආරාධනා ලැබෙනවා. ටෙලි නාට්‍යවලට වඩා මං ආසාවෙන් ඉන්නේ චිත්‍රපටවල රඟපාන්න. චිත්‍රපටයකට කතා කරලා තියෙනවා. ඒ හින්දා ලබන ඩිසෙම්බර්වල ලංකාවට ආයෙත් එන්න හිතාගෙන ඉන්නවා.

* ඒ වගේම ඔබ චිත්‍රපටයක් නිෂ්පාදනයටත් අත තියන්නට සුදානම් වනවග දැනගන්නට ලැබුණා?

ඔව්. මට ලොකු වුවමනාවක් තියෙනවා සිංහල සිනමාව වෙනුවෙන් යමක් කරන්න. ඒ අදහසින් තමයි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න හදන්නේ. ඒකත් ලබන වසරේදී සිදුවේවි.

* අමෙරිකාවේදී ඔබට අපේ සංස්කෘතියෙහි වටිනාකම හුඟක් දැනෙන්නට ඇති?

අමෙරිකාවේදි විතරක් නෙෙයි මම ලංකවේ ඉන්න කොටත් අපේ සංස්කෘතිය ගැන දැනගන්නට දැඩි වුවමනාවක් සහ උනන්දුවක් තිබුණා.

* එහෙත් ඔබ ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක නේද?

ඒක මට ලොකු ගැටලුවක් වුණා. පාසලේදි මට කතා කරන්නට වුණේ ඉංග්‍රීසියෙන්. ජීවිතේ ගෙවුණෙත් අමුතු පරිසරයක. ඒකෙන් පිටතට අවාම පිටත අමුතු ලෝකයක් තියෙනවා කියලා හිතුණා. ඒ ලෝකය සුන්දරයි කියලත් හිතුණා. මං අම්මගෙන් ඒ ගැන ඇහැව්වා. අම්මා හරහා මං අපේ සංස්කෘතිය ගැන ඉගෙන ගත්තා. ඒ කාලේ මට හරියට සිංහල බැහැ. හරියට නෙවෙයි පොඩ්ඩක්වත් බැහැ. නමුත් මං ටික ටික සිංහල ඉගෙන ගත්තා. අපේ සිනමාවට ජොයින් වුණෙත් අපේ සිංහලකමට ආස නිසා.

* අමෙරිකාවේ ඉන්න අයට අපගේ සංස්කෘතියේ වටිනාකම කියාදෙන වැඩ පිළිවෙළක් ඔබ විසින් ක්‍රියාත්මක කරන බවක් දැනගන්න ලැබුණා?

මම නෙවෙයි එහි මූලිකත්වය ගත්තේ. මගේ හස්බන්ඩ්. මම ඔහුගේ පිටුපසින් ඉන්නවා මේ සියලු වැඩ සක්සස් කරගන්න. අමෙරිකාවේ අප විසින් ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් කියලා පදනමක් පවත්වාගෙන යනවා. හස්බන්ඩ් තමයි සභාපති. අමෙරිකාවේ ඉන්න අය හිතාගෙන ඉන්නේ ලංකාව ඉන්දියාවේම කොටසක් කියලා අප ඒ මතයත් නිවැරිදි කරමිනුයි සිටින්නේ. පහුගිය දිනක අප පදනම මඟින් ශ්‍රී ලංකා ඩේ කියලා ලොකු වැඩටහනක් පැවැත්වූවා. ලංකාවේ සංස්කෘතික අංග එහි ප්‍රදර්ශනය කළා. ඒ වගේම ලංකවේ කෑම ජාති අපි හැදුවා. ඒකට අටදාහක් පමණ ප්‍රමාණයක් මිනිස්සු සහභාගි වුණා. එච්චර සෙනඟක් එම වැඩසටහනකට ගෙන්වා ගන්න ඇමරිකාවේදී හරිම අමාරුයි. නමුත් අපි ඒක කළා. ලොකු පිම්මක් පැන්නේ.

* ඔබ අසල්වාසී අමෙරිකානුවන් ලංකාව ගැන මොන වගේ අදහසකින්ද ඉන්නේ?

මට හමුවෙලා තියෙනවා ලංකාවට ආව ඇමරිකානුවන්. ඔවුන් ලංකාව ගැන කතා කරන්නේ හරිම ආසාවෙන්. නිතරම හිනාවෙලා ඉන්න මිනිස්සු කොට්ඨාසයක් ඉන්න රටක් කියලයි කියන්නේ.

* අමෙරිකාවේ ජීවත්වෙනවා අපේ කලාකරුවන් කිහිප දෙනෙක්. ඔවුන් මුණ ගැසුණේ නැතිද?

අමෙරිකාව කියන්නේ විශාල රටක්නේ. අපි ඉන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ. අනෙක් ආර්ටිස්ලා දුර දුර පැතිවල ඉන්නේ. මට ප්ලේන් එකක් අරන් තමයි ඔවුන්ව මීට් වෙන්න යන්න වෙන්නේ.

* අනර්කලී මෙවර ලංකාවට ආවම දැනුන ද ඔබ පෙර වගේම ජනප්‍රියයි කියලා?

ඔව්. මට තියෙන්නේ ජනප්‍රියත්වයට වඩා ආදරයක්. මගේ ෆෑන්ලා මට හරි ආදරෙයි මං මුලින්ම සම්බන්ධ වුණේ ඉටිපහන් ටෙලි නාට්‍යයට. එදා ඉඳලා මට හොඳ පිළිගැනීමක් තියෙනවා. මට හිතෙනවා තාමත් ඒ පිළිගැනීම තියෙනවා කියලා.

* ඔබ කතාබහ කරන ස්ටයිල් එකට ඒ කාලේ විවිධ දෙනා විවිධ කතා කිව්වා?

ඒ මගේ හැටි. මං බොරුවට මවාපාපු එකක් නෙවෙයි. අද වන විට මං දැකලා තියෙනවා මගේ ඒ ස්ටයිල් එක වෙන අය අනුකරණය කරනවා.

* පෙම්වතියගේ චරිතය රඟපාන්න ආයෙත් ඔබ සූදානම්ද?

අනිවාර්යයෙන්ම පෙම්වතියගේ චරිතය නෙවෙයි මට සුදුසු ඕනෑම චරිතයක් රඟපාන්න මම ලැහැස්තියි.

* ඔබේ අතින් ද හස්බන්ඩ්ට අමෙරිකාවේදී කෑම උයන්නේ?

අමෙරිකාවේදී බොහෝ විට තමන්ගේ වැඩ තනිවම කරගන්න වෙනවා. උයන වැඩේ වුණත් එහෙමයි. මට දැන් ඉස්සරට වඩා හොඳට උයන්න පුළුවන්. ලංකාවේ ඉන්න කොට ටික ටික ඉව්වා. දැන් රසට උයනවා. හබී කන්නෙත් මං උයන ඒවා තමයි.

* මවක් වෙන්න දන්මම බලාපොරොත්තුවක් නැතිද?

මං ළමයින්ට හුඟක් ආසයි කියලා මගේ හිතවත් අය දන්නවා. ඇත්තටම මං ළමයින්ට ආදරෙයි. ඒත් මං දැන්මම මවක් නෙවේවි. මොකද තවම ඒ ගැන හිතලා නැති නිසා. මවක් වෙන්න පෙරුම් පුරන්න තව ටික කාලයක් යාවි.

* කවදා හරි මවක් වුණ දවසටත් ඔබ අමෙරිකාවේද ජීවත් වන්නේ?

අපෝ නැහැ. මවක් වුණ ගමන් මං බබත් එක්ක ලංකාවට එනවා. බබාව හදන්න ඕනෑ ලංකාවේ සංස්කෘතියට අනුව. ලංකාව ගැන ඔක්කොම කියා දෙන ගමන් මං බබාව ලංකාවේ හදනවා.