වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




හීන හොයන්න ගිය සමනල්ලු එන්න ළඟයි

හීන හොයන්න ගිය සමනල්ලු එන්න ළඟයි

මුලින්ම කොණ්ඩය කපන්න ඕනෑ බව පැවසුවත් සම්පූර්ණයෙන් ම බූ ගාවි යැයි මා සිතුවේ නැහැ. ඒ බූ ගාන දවසේ නම් මට ඇත්තටම දුක සිතිලා කඳුළුත් ආවා.”
විනාත්

කෑම මේසය හදලා අපි සියලු දෙනාම වාඩි වුණා විතරයි. කවුදෝ කෙනෙක් ඇවිත් මෙතැන රූ ගත කිරීම් කරන්න බැහැයි කියලා රණ්ඩු වුණා. ඒ රණ්ඩුව අතරේ අපි දෙන්නා කළේ මේසයට ගෙනැත් තිබ්බ කෑම ටික කාලා ඉවර කරන එකයි.”
අංජන

රොහාන් පෙරේරාගේ ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටය ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලාවල ඊයේ සිට ප්‍රදර්ශනය ඇරැඹීමට නියමිතය. කුඩා ළමයි දෙදෙනෙකුගේ ජීවිත වටා ගෙතී ඇති කතා තේමාවක් රැගත් ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේ එහි ෂෙහාන්ගේ සහ බන්ටිගේ චරිතයට පණ පොවන්නේ අංජන දිල්ෂාර හා විනාත් තේසත් යන කුඩා ළමයි දෙදෙනායි.

සොඳුරු උදෑසනක අසිරිය විදහා පාමින් කඩුවෙල - වැලිවිට ගම්මානයේ තුරු අතරින් හිරු එබී බැලුවේ අංජනගේ නිවෙසේ ගෙවත්තේ දුව පනිමින් දඟ කරන කොලු පැටවුන් දෙදෙනා දෙසට. ඉන් එක් අයකු ගස වටේ දුවන අතර ම ඔහු ව අල්ලන්නට පොරකන අනෙක් කොලු පැටියා ඔහු පසු පස වැටෙන්නේ ඉබේටම වගේ. ටික වෙලාවක් ඒ සෙල්ලමෙන් හති වැටීම නිසා වෙහෙසට පත් වූ දෙදෙනා ගෙවත්තේ ම පිහිටි ගල් දෙකක අසුන් ගත්තේ මඳක් විවේක ගැනීමට සිතාගෙන. ඒත් ඒ විවේකය ගත් ඇසිල්ලේ ම අප එහි පිවිසුණේ ඔවුන්ගේ විවේකයට තිතක් තබමින්.

“අංජන - විනාත්”

අද එක ම කැදැල්ලක දකින්නට ලැබුණේ මීට වසර දෙකකට ඉහත ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේදී ඇති කර ගත්ත මිතුරුදම කරණ කොටගෙන. චිත්‍රපටයේදී වගේ ම සැබෑ ජීවිතයේදිත් ඒ මිතුරු දම දෝරේ ගලාගෙන ගියා.

“ඉතිං, යහළුවෝ දෙන්නට ඒ අතීතය මතකද?”

මුලින්ම අප හා කතාබහට එක්වූයේ අංජන පුතුයි.

“මුලින්ම මේ චිත්‍රපටයට තෝරා ගන්න ආවේ අයියාවයි. ඒත් මාව පන්නිපිටියේ පැවැත්වුණු ඒ තෝරා ගැනීමට එවන්න කියලා ඔවුන් අම්මාට පැවසුවා. මම ගියේ ඊට පසුවයි. එතැනට ගියාට පස්සේ අපේ හැකියා බැලුව ඒ මාමාලා එක එක ප්‍රශ්න ඇසුවා. එත් එක්කම සින්දු කියන්නත් පුළුවන්ද කියලා මගෙන් ඇසුවා. ටික වෙලාවකට පස්සේ ඔවුන් මට කිව්වේ ඒ චරිතයකට මාව තෝරගෙන ඇති බවයි. හැබැයි කොණ්ඩේ කපන්නත් වෙනවා කියලා ඔවුන් කිව්වා. ”

බොහොම ලස්සනට ගී ගයන්න හැකියාව තිබෙන අංජනට ෂෙහාන්ගේ චරිතයට පණ පෙවීමට අවස්ථාව ලැබුණේ එලෙසින්. විනාත් බන්ටි වූයේ ද ඒ හා සමාන තෝරා ගැනීමකින් පසුවයි.

“මම එදා බාප්පලා දෙන්නා සමඟ මේ ළමයි තෝරන ස්ථානයට ගියේ චිත්‍රපටයට ඉදිරිපත් වීමේ අදහසින් නොවෙයි. ඒත් මාව දැක්කට පස්සේ ඒ මාමාලා ඇවිත් මට දෙබසක් කියන්න දුන්නා. මමත් ඉතිං ඒ කිව්ව විදියට ම ඒ දෙබස කිව්වා. පස්සේ අපේ ගෙදරට කතා කරලා මාව තෝරා ගත්ත බව කිව්වේ අම්මටයි. පසුව තෝරා ගත්ත අයව එක්තැනකට රැස් කරලා අපේ චරිතය මොකක් ද කියලාත් කිව්වා.”

විනාත්ට පෙනුණේ සීගිරිය අවට ගම්මානයක් වුණු කිඹිස්ස පැවැති ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේ රූ ගත කිරීම් සඳහා තවත් ළමයින් රැසක් ද සහභාගි වී සිටි බවක්. පාසලේ ළමයි ලෙස රඟපෑමේ යෙදුණු මේ කුඩා ළමයි ඔහුගේ යහළුවන් බවට පත්වෙන්නට වැඩි කාලයක් ගියේ නැහැ.

“චිත්‍රපටයට සිටි අනෙක් ළමයිනුත් බොහොම හොඳයි. ඒ අය මාත් ‍එක්ක හොඳට ම යහළු වුණා. එහි තිබෙන වතුරට බහින දර්ශන රූ ගත කළේ පාන්දරින්. උදේ හතරට අවදි වී හය වනවිට අපට වැවට බහින්න සිදුවුණා. අම්මෝ..... වතුර බොහොම සීතලයි. එතැනදි මට අධ්‍යක්ෂ මාමා කිරි ඉබ්බෙක් අතට දුන්නා. ඌ වතුරට බොහෝ කැමැති නිසා එකපාරට ම වතුරට පැන්නා. ඒ නිසා ඒ දර්ශනය ගැනීම ඊළඟ දවසට කල් දමන්නත් වුණා. ඊට පසුව මගේ අතට ලැබුණේ තාරකා ඉබ්බෙක්. ඌ නම් වතරට බොහොම කම්මැලියි. කම්මැලි තරම කොයිතරම් ද කිව්වොත් ඌ කටුවෙන් එළියට ආවෙම නැහැ. ගමේ තිබෙන එක් දර්ශනයකදි මා වේගයෙන් දිවිය යුතුයි. එක තැනකදි වැටිලා අත තියලා නැවතත් දුවන්න ඕනෑ. ඇත්තටම එතැනදි තණකොළ ගොල්ල ලිස්සලා මාව වැටෙනවා. වැටෙනවාත් එක්කම අත තියලා නැඟිටලා නැවතත් මම දිව්වා. ඒත් මම සිතුවේ ඒ දර්ශනය හරියට ආවේ නැහැ කියලා. ඒත් ඒ දර්ශනයයි චිත්‍රපටයට අරගෙන තිබුණේ.”

අංජන පුතාට නම් ඒ ගම්මානයේ රූ ගත කිරීම් තිබුණේ බොහොම අඩුවෙන්. ඒත් එහේදි ඔහුට අත්විඳීන්නට සිදුවුණේ කවදාවත්ම නොලැබුණු අත්දැකීමකට.

“මා රඟපෑවේ අසනීප වුණු ළමයකුගේ චරිතයක්. එක වරක් මම විනාත් එක්ක ගමට යනවා. එහේදි විනාත් මට ඖෂධ සොයලා පොවනවා. අන්තිමට මගේ කටින් එන්නේ ලේ. ඒ ලේ ගන්න පොලිතින් කෑල්ලක දමලා තිබෙන ද්‍රව්‍ය විකන්න මට සිදුවුණා. ඒක දත්වලින් විකුවට පස්සේ මගේ කටට දැනෙන්නේ තිත්තක්. ඒත් තිත්ත රස විඳමින් තුන්පාරක් ම රඟපාන්නට මට සිද්ධ වුණා. අන්තිමේට මට වමනය යන්නත් ආවා.”

අංජන පුතාට ගම්බද පළාත නුහුරු වුණත්, අම්මාත් සමඟ ඇඹිලිපිටියේ ගමට ගිහින් වැවේ නාන විනාත් පුතාට ඒ අත්දැකීම් අපහසු වුණේ නැහැ. මෙවැනි අත්දැකීම් රැසක් ලැබුවා මේ ළමා නළුවන් දෙදෙනාගේ ජවනිකා කොළොම්පුරවරය දක්වාත් විහිද ගියා.

“එහිදිත් ඔබ දෙදෙනාට මුහුණු දීමට සිදුවුණේ මොනවගේ අත්දැකීම්වලටද?”

“චිත්‍රපටයේ එක් ජවනිකාවක අපි පීසා ගෙනැත් කනවා. එතැනදි වැඩිපුරම පීසා කන්නට ලැබුණේ මට නොවෙයි. බන්ටිටයි. ඒ ගැන නම් මට ටිකක් දුකයි. චිත්‍රපටයට අනුව කොළඹදි මා රෝගීව ඇඳේ ඉන්න දර්ශනයක් තිබෙනවා. එදා ඒ දර්ශනය ගන්න විට මට ඇදේ තිබුණු සැප වැඩි වෙලා ගොඩක් වෙලා හොඳට ම නින්දත් ගියා. සීන් එකේදී මොනවා වුණාදැයි මා දන්නේ නැහැ. ඒ වගේ ම රෝගයට මගේ කොණ්ඩය බූ ගාන්න සිදුවුණා. මුලින්ම කොණ්ඩය කපන්න ඕනෑ බව පැවසුවත් සම්පූර්ණයෙන් ම බූ ගාවි යැයි මා සිතුවේ නැහැ. ඒ බූ ගාන දවසේ නම් මට ඇත්තටම දුක සිතිලා කඳුළුත් ආවා.”

අංජන පාසල් ගියේද බූ ගාන ලද කොණ්ඩය සහිතව ය. මේ වනවිට නම් පෙර මෙන් ඔහුගේ කොණ්ඩය වැවී ඇත. ඒ අතර විනාත් පවසන්නේ වෙන ම කතාවකි.

“එදා ෂෙහාන්ගේ නිවෙසේදී මා පීසා කන්නේ පළමු වතාවටයි. ඊට පෙර මා පීසා කාලා තිබුණේ නැහැ. ඒ වගේ ම තවත් දවසක කොළඹ හෝටලයක තිබුණු රූ ගත කිරීමකදි කෑම මේසය හදලා අපි සියලු දෙනාම වාඩි වුණා විතරයි. කවුදෝ කෙනෙක් ඇවිත් මෙතැන රූ ගත කිරීම් කරන්න බැහැයි කියලා රණ්ඩු වුණා. ඒ රණ්ඩුව අතරේ අපි දෙන්නා කළේ මේසයට ගෙනැත් තිබ්බ කෑම ටික කාලා ඉවර කරන එකයි.”

දඟයන්ගේ දඟ වැඩවලට කාලයක් අවශ්‍ය නොවන බවට හෙළිවුණු කතාව ඇතුළේ තිබුණේ ඔවුන්ගේ ලෝකය.

“චිත්‍රපටයේ ගුටිකන දර්ශනය අවසානයේ ඇඬුවාද?”

“ජයනි නැන්දා මට වේවැලෙන් ගහන දර්ශන තිබෙනවා. ඒ ගහලා අවසන් වුණු ගමන්ම නැන්දා කරන්නේ බන්ටිට රිදුණ ද කියලා මගේ අත අතගාන එකයි. ඒ ගැහුව වෙලාවකදි මගේ අතේ වේවැලට යන්තමට ඉරක් ගිහින් තිබුණා. හොරෙන් කුරුම්බා කඩලා බොන දර්ශනයේදි නම් ඇත්තටම අපට ගැහුවා. රිදුණා. ඒත් ඇඬුවේ නැහැ. මොකද අපේ ගෙදරදි ඊට වඩා ගුටිකන වෙලාවල් ඕනෑ තරම් තියෙනවා නේ.”

සියල්ලන්ගේ ම මුවට නැඟෙන්නේ සිනහවක්. අංජනත්, විනාත් නිවෙසේදි බොහොම දඟයෝ. ඒ දඟකම කොයිතරම් ද කිව්වොත් අම්මලාට රණ්ඩු බේරලා ඉවරයක් නැහැ.

“මේ වනවිට පාසලෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?”

“මා ඉගෙන ගන්නේ කොට්ටාව විද්‍යාදාන විද්‍යාලයේ නමවැනි ශ්‍රේණියේයි. මේ චිත්‍රපටයේ රඟපෑවා කියලා පාසලේ ටීචර්ලා දන්නවා. ඔවුන් චිත්‍රපටය නරඹන්න ඉන්නේ බොහොම ආසාවෙන්. පාසලේ ඉගෙන ගන්න විෂයයන්ගෙන් මම වඩාත් කැමැති සංගීතයටයි. නාට්‍ය පැත්තෙන් ඉහළට ම යන්නත් මා කැමැතියි. මට වයලීනය, සර්පිනාව, බටනලාව වයන්නත් පුළුවන්.”

ඒ විදියට අංජන පුතා කොට්ටාවේ හෝකන්දර පදිංචි වී ඇත්තේ පාසල් යෑමට සහ රංගන කටයුතුවලට පහසුව සඳහායි. විනාත් පුතාගේ පදිංචිය වැලිවිටයි.

“මා ඉගෙන ගන්නේ බපජය / කොතලාවල මහා විද්‍යාලයේයි. නමය පන්තියේ ඉගෙන ගන්නේ. මා චිත්‍රපටයේ රඟපෑම් බලන්නට ඔවුන් ඉන්නේ නොඉවසිලිමත්වයි. පාසලේදි මගේ ප්‍රියතම විෂය ගණන්. කවදා හරි මා ඉගෙන ගෙන ෆාදර් කෙනෙකු වීමට කැමැතියි. වයලීනය ටිකක් වාදනය කිරීමට මට හැකියි. මුලින් ම මා කළේ චිත්‍ර විෂයයයි. චිත්‍රපටයේ රඟපෑමෙන් පසුවයි මා නාට්‍ය හා රංග කලා විෂයය ඉගෙනීමට ගත්තේ.”

දෙදෙනාට ම චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව විවිධ නිර්මාණවලට ආරාධනා ලැබුණේ ඉබේටම වගේ.

“මේ රඟපෑමෙන් පස්සේ මට විවිධ වෙළෙඳ දැන්වීම් ලැබුණා. හඬකැවීම්වලින් විවිධ නිර්මාණවලට දායක වුණා. මට ඉන්නේ අයියාලාම දෙන්නෙක්. ලොකු අයියා මේ වනවිටත් රඟපෑමට සම්බන්ධයි. ඔහුගේ නම විරාජ් මධුශාන්. මේ දවස්වල මුතුකුඩ ටෙලි නාට්‍යයේ ඔහු රංගනය දැක ගත හැකියි. ඔහු රඟපෑමට සම්මානත් අරගෙන තිබෙනවා. අම්මා පුෂ්පානි රත්නායකයි. ඈ නිවෙසට වී අපව බලා ගැනීමයි කරන්නේ. තාත්තා ලලිත් ලීලාරත්නයි. පේන්ට් වැඩ කිරීම හා ඒවාට අත්උදවු දීමයි ඔහු කරන රැකියාව වන්නේ.”

අංජනට රඟපෑම කියන්නේ නුහුරු දෙයක් නොවුණේ අයියා නිසා. ඒත් විනාත්ට කැමරාව අලුත් අත්දැකීමක්.

“චිත්‍රපටයේ රඟපෑමෙන් පස්සේ නිර්මාණ කිහිපයකට ම මට ආරාධනා ලැබුණා. පසුගිය පෝයට විකාශය වුණු පෝය ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒත් ඉගෙන ගැනීමටයි මා මුල්තැන දෙන්නේ. ඉගෙන ගැනීම්වලට පාඩුවක් නොවෙන්න රඟපාන්නත් මම කැමැතියි. මට ඉන්නේ මල්ලි කෙනෙක්. අම්මා ලිලානියි. ඈ නිවෙසේ ඉඳගෙන අපව බලා ගන්නවා. තාත්තා සුගත්. ඔහු රැකියාව කරන්නේ පෞද්ගලික ආයතනයකයි.”

“අධ්‍යක්ෂ රොහාන් මාමා අපව බලා ගත්තේ බොහොම ආදරයෙන්. අපට කිසිම වෙලාවක සැරවත් කළේ නැහැ. බොහොම ආදරයෙන් තමයි අපේ රඟපෑම් ගත්තේ. චිත්‍රපටයේ සිටි එළු පැටියාට, බලු පැටියාට හා කුකුල් පැටව් ටිකට ඔහු අපට වගේ ම බොහොම ආදරෙයි. එළු පැටියාව තවමත් ඉන්නේ ඔහුගේ භාරයේයි. ඔහු කොහොමත් සත්තුන්ට ආදරේ මාමා කෙනෙක්.”

අංජන හා විනාත් අධ්‍යක්ෂ රොහාන් ගැන එහෙම පැවසුවා.

“චිත්‍රපටයේ රඟපෑම දැක්කට පස්සේ අපට බොහොම සතුටුයි.”

වසර දෙකකට පසුව තිරගත වුණු ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටය නරඹා සමුගන්නට මත්තෙන් මේ කොලු පැටව් දෙන්නා පැවසුවේ දඟ කරන්නට යන්න දුවන ගමන්.