වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




දයාවංශ කරුණාමුනි මියයයි

දයාවංශ කරුණාමුනි මියයයි

දිවයිනේ ප්‍රවීණ මාධ්‍යවේදියකු හා ලේඛකයකු වූ දයාවංශ කරුණාමුණි(66) අභාවප්‍රාප්ත විය.කළුතර උතුර ආබෲ පෙදෙසේ පදිංචිව සිටි කරුණාමුණි මහතා චරිතාපදාන ඇතුළු විවිධ කෘතීන් 50ක් පමණ ලියා පළ කොට ඇත. ඔහු තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය ඩිප්ලෝමාවක් ලබාගෙන ඇත.

සිරස,නෙත් එෆ් හි ප්‍රවෘත්ති සංස්කාරක ලෙස කටයුතු කර ඇත. අමාත්‍යවරුන් රැසකගේ මාධ්‍ය ලේකම් ලෙසද අමාත්‍යාංශ කිහිපයක මාධ්‍ය නිලධාරි ලෙසද කටයුතු කර ඇත.

ගත වූ කාලය තුළ විවිධ සම්මානවලින් පුද ලබා ඇත.මොහු දියණියන් දෙදෙනෙකුගේ පියකු වන අතර ප්‍රකට සමාජ සේවකයකු ද වේ.

ඔහුගේ දේහය කළුතර උතුර ආබෲ පාරේ අංක 111/5 නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු 05 වෙනිදා සිදු කෙරේ.


මාධ්‍ය භාවිතය පිළිබඳ සංකතනයක්

ශ්‍රී ලංකාවේ විවිධ රූපවාහිනී නාලිකාවල මාධ්‍ය භාවිතය පිළිබඳ විවෘත සංකථනය 'ඇසිදිසි මඟක හෙට දවස' යනුවෙන් තේමාව නම් කරමින් මෙම මස 4 වැනිදා එනම් හෙට සවස කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි, රාවය කර්තෘ මාධ්‍යවේදී, නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන, ස්වාධීන මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සභාපති නීතිඥ රවි ජයවර්ධන මෙහිදී දෙසුම් පවත්වති.


දයා කහවල මිය යයි

හැත්තෑව දශකයේ ජනප්‍රිය කෙටිකතා රචිකාවක වන දයා කහවල අභාවප්‍රාප්ත විය. සරසවිය උපන් දින තීරය සකසන සිරි කහවලගේ සහෝදරිය වන ඇය සුප්‍රකට තිර කතා රචක මාධ්‍යවේදී වජිර කස්තුරිගේ දයාබර මෑණියන් වේ. දයා කහවලගේ අවසන් කටයුතු ඉකුත්දා හොරණදී සිදු කෙරිණ.