වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ දුවට සුදුසු පුතෙක් ලැබුණා

අපේ දුවට සුදුසු පුතෙක් ලැබුණා

සුසන්තා, තිසුරි ගැන රහසක් හෙළි කරයි

ඉහළ මාලයේ බිත්ති දිගේ රතු පැහැයට හා කහ පැහැයට පිපී එල්ලා වැටෙමින් තිබුණු ගිනිකූරු මල්වැල් ඒ නිවෙසට රැගෙන පැමිණියේ අමුතු සුන්දරත්වයකි. ඒ සුන්දරත්වය විඳීමින් ම අප සිටියේ මේ දිනවල රිදී තිරයෙන් කා අතරටත් පැමිණෙන ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ සොඳුරු පවුලේ දියණිය අචිනිගේ සුන්දර කැදැල්ල අසල ය.

අචිනිගේ චරිතයට පණ පොවන්නේ පුංචි තිරයේ ජනප්‍රිය යුවතියක වන තිසුරි යුවනිකායි. ඈත්, මව වන, කලක පටන් පුංචි තිරයෙන් ඔබ හමුවට පැමිණි ඔබ ආදරය කරන නිළියක වන සුසන්තා චන්ද්‍රමාලිත්, ඇගේ සැමියා වන කුමරුත් වසන සොඳුරු කැදැල්ල ඉදිව තිබෙන්නේ කඩුවෙල ප්‍රදේශයේයි. කඩුවෙල ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටි ඇගේ මේ සොඳුරු නිවෙසේ ගේට්ටුවෙන් එබී බැලුවේ තිසුරිගේ අප්පච්චී ය.

“එන්න. එන්න.”

ඔහු අපව පිළි ගත්තේ සිනාමුසු මුහුණෙනි. ගෙවත්තට ඇතුළු වනවාත් සමඟ ම අපේ නෙත ගැටුණේ ක්‍රමවත් අයුරින් සකසා තිබෙන ගෙමිදුලයි. විවිධ වූ මල්වලින් ගහන මේ ගෙමිදුලේ එක් පසෙක වූයේ නෙළුම් විලකි. සාරවත් ලෙස වැඩුණු නෙළුම් පත්, හමන සුළඟ වැදී එහා මෙහා වැනුණේ තමා අසලට පැමිණෙන්නැයි අපට කරන ආරාධනාවක් මෙනි. ඒ අසලට ළංවුණු මා දුටුවේ පිපී දිලෙන සොඳුරු නෙළුම් මල් කිහිපයකි. ලෙළදෙන සුළඟේ තාලයට වැනෙන ඒ නෙළුම් මල්වල රැඳී තිබුණු පිනි බින්ඳු අසල තිබූ වීදුරු බිත්තිය අතරින් එබුණේ තවත් සොඳුරු මලකි. ඒ තිසුරි ය.

“මේ දවස්වල බොහොම සතුටින් වගෙයි”

“ඇත්තට ම මා මේ දවස්වල ඉන්නේ බොහෝ සතුටින්. ඒ මා රඟ දැක්වූ ‘ධර්ම යුද්ධය චිත්‍රපටය තිරගත වන නිසයි. ඒ වගේ ම මේ චිත්‍රපටයට හිතුවාටත් වඩා ලැබෙන ප්‍රතිචාර මා වඩාත් සතුටට පත් කරනවා.”

ඇගේ උවන ඒ සතුටේ කැඩපතකි.

“මට මේ චිත්‍රපටයට කතා කළේ මහරාජා ආයතනයයි. ඔවුන් මේ කතාව ගැනත්, මගේ චරිතය ගැනත් මට පැහැදිලි කිරීමක් කළා. ඒ කතා තේමාවට මට ආසා හිතුණා. මට යමක් කළ හැකි චරිතයක් බව සිතුණ නිසා මා මේ චිත්‍රපටයේ රඟපෑමට භාර ගත්තා. එහි සිටි සියල්ලන් ම සියල්ලන්ට ම උදවු කළා. ජැක්සන් අංකල්, දිල්හානි ඇන්ටි, කුසුම් ඇන්ටි, ධනුක, චූටි නංගි, කුමාර අංකල් ඇතුළු එහි රඟපෑ සියල්ලන්ගෙන් ම හොඳ සහයෝගයක් මට ලැබුණා.”

තිසුරි යුවනිකා යන නමට ප්‍රේක්ෂකයන් ආදරය කළේ පුංචි තිරයෙනි. ඇය පුංචි තිරය මෙන්ම රිදී තිරයද තරණය කළා ය. ‘උඩුගංයාමය’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මාන උලෙළේදී තිසුරි කුසලතා සම්මානයක් ලැබීමට තරම් දක්ෂ නිළියක් වන්නී ය. රිදී තිරයට හා පුංචි තිරයට එක සේ ආදරය කරන තිසුරි ලැබෙන සෑම නිර්මාණයක ම රඟපෑමට භාර නොගැනීමද ඇගේ තිබෙන එක් විශේෂ ලක්ෂණයකි.

“මගේ වෘත්තිය රඟපෑමයි. ඉදිරියේදිත් මා රඟපානවා. එහෙත් හොඳ නිර්මාණයක් මට නොලැබුණා කියලා ලැබෙන සෑම නිර්මාණයක ම රඟපෑමට මා යන්නේ නැහැ. විවාහයෙන් පස්සේ වුණත් මට හරියන නිර්මාණයක් නොලැබුණොත් මා රඟපාන්නේ නැහැ. එහෙම නැතිව ලැබෙන සෑම නිර්මාණයක් ම රඟපාලා ක්ෂේත්‍රයේ රැඳී ඉන්න අදහසක් මට නැහැ. ඒත් අම්මා කෙනෙක් වුණු පසුව මා රඟපෑමෙන් ඉවත් වෙනවා.”

මේ අතර අප හා කතාබහට එක්වන තිසුරිගේ මව නිළි සුසන්තා චන්ද්‍රමාලි අප හා පැවසුවේ සිය සිතේ තිබෙන සිහිනයක් ළඟදීම සැබෑ වන බවයි.

“මගේ සිතේ සිහින දෙකක් තිබුණා. එකක් අපේම කියලා නිවහනක් හදාගෙන නිදහසේ කාලය ගත කිරීමයි. අනෙක් කාරණය නම් දියණිය හොඳ පුතෙකුට විවාහ කර දීමයි. ඒ සිහිනය සැබෑ වෙන්නේ ලබන අවුරුද්දෙයි. මේ වනවිට දුවට සුදුසුම කෙනා ලැබිලා තිබෙන බවයි අප දෙදෙනා ම සිතන්නේ. ඔහු අපේ පවුලේ ම හිතවත් පවුලක පුතෙක්. තිසුරි ගැන ඔහුගේ සිතේ අදහසක් ඇතිවුණාට පස්සේ ඔහුගේ මව්පියන් සමඟින් ම පැමිණ මේ යෝජනාව අපට ඉදිරිපත් කළා. දුවගෙත් කැමැත්ත විමසලා ඔවුන් දෙදෙනා ගැළපෙන බව අප තීරණය කළා. ඒ අනුව තිසුරිගේ විවාහය ලබන අවුරුද්දේදි සිදුකිරීමට අප තීරණය කළා.”

මේ වනවිට තිසුරි යුවනිකා ආදරවන්තියකි. මේ සොඳුරු යෞවනියගේ සිත ගත්ත ඒ ආදරවන්තයාගේ තතු කෙසේදැයි අපි ඇගෙන් විමසුවෙමු.

“අප දෙදෙනා දන්නේ කුඩා කාලයේ පටන්මයි. ඔහුගේ මල්ලිලා දෙන්නත්, මමත්, ඔහුත් අප සෙල්ලම් කළේ එකටමයි. පසුව මෙවැනි අදහසක් ඔහුගේ සිතේ ඇතිවේවි යැයි මා නම් සිතුවේ නැහැ. මුලින්ම අදහස ඉදිරිපත් වුණ ගමන් ම මම කැමැති වුණේ නැහැ. අවුරුදු තුන, හතරක් ම මගෙන් කැමැත්ත ලැබෙනතුරු ඔහු බලාගෙන සිටියා. ඊට පස්සේ බැරිම තැන ඔහු ඔහුගේ නිවෙසේ අයටත්, අපේ නිවෙසේ අයටත් කියන බව පැවසුවා. නිවෙස් දෙකෙන් ම සිතුව නැති විදියට ඉක්මනින් ම අප දෙදෙනාගේ අදහසට කැමැත්ත පළවුණා.”

තිසුරි -සුරාජ් ආදර අන්දරයට මුල පිරෙන්නේ එලෙසිනි. ඒ ආදර අන්දරය එක්තැන් වන්නේ ලබන වසරේ ය. එහෙත් තිසුරි වඩාත් ඔහුට ආදරය කළේ සුරාජ්ගේ සිතේ වූ මනුස්සකමට ය.

“පොඩි කාලයේ පටන්ම ඔහු මගේ හොඳ යහළුවෙක්. ඔහු ගැන මගේ කැමැත්තක් තිබුණා. මා විවාහ වන කෙනා මේ වගේ ගතිගුණ තිබෙන, මේ විදියට සිතන, පතන, මගේ මව්පියන්ට ගරු කරන කෙනෙකු විය යුතුයැයි මගේ සිතේ තිබුණේ එදා පටන්මයි. ඔහුත් එවැනි කෙනෙක්. මනුස්සකම් අතිනුත් බොහොම හොඳ කෙනෙක්. මා සිතනවා මගේ තේරීම නිවැරැදි යැයි කියලා. මා රඟපානවාට ඔහු කැමැතියි. මා කලකදි රඟපෑමෙන් ඉවත් වන බව පැවසුවත් ඔහු පවසන්නේ ‘එහෙම කරන්න එපා. ඔයාට යම් දක්ෂකමක් තිබෙනවා. සෑම නිර්මාණයක්ම නොවෙයි, හොඳ නිර්මාණයක් ලැබුණොත් රඟපාන්න’ කියලයි. ඒත් මා මවකගේ භූමිකාවකට පැමිණි පසුව නම් රංගනයෙන් සමු ගන්නවා.”

තිසුරි අනාගතයේදී දිනෙක අදහස් කරගෙන සිටින්නේ එලෙසිනි. ඉදිරි කාලයේදී සාර්ථකව ගෘහ ජීවිතයට පැමිණීමේ අදහසින් සිටින ඈට මේ දවස්වල මව සුසන්තාගෙන් ලැබෙන්නේ පාඩම් බොහොමයකි.

“මේ නිවෙසේ සියලුම කටයුතු සිදුවන්නේ මගේ දෑතින්මයි. අපට මෙහෙකරුවෝ කියලා කිසිම කෙනෙකු නැහැ. ඒ නිසා මා මගේ ජීවිතයේ මුල් තැන දෙන්නේ නිවෙසේ කටයුතුවලටයි. මගේ මහත්තයාත් දැන් අපත් සමඟ සිටින නිසා නිවෙසේ කටයුතුවලට ඔහුගෙනුත් යම් සහයෝගයක් ලැබෙනවා. නිවෙසේ ඉන්න වෙලාවට දුවගෙනුත් යම් යම් සහයෝග ලැබෙන බව සිහිපත් කළ යුතුයි. මා දැන්ම පටන් ම ඈට නිවෙසකදි ගෘහණියක් විදියට කටයුතු කරන විදිය සෙමෙන් සෙමෙන් කියලා දෙනවා. ඒත් ඈ මුළුතැන්ගෙයි කටයුතුවලදි පවසන්නේ අම්මේ ඔයා මටත් එක්කම තුනපහ කුඩු වගේ දේවල් කොටලා හදලා දෙනවා නේද කියලයි. ඒ වෙලාවෙදි මා පවසන්නේ නිවෙසක සියලුම කාර්යයන් තමන්ගේම අත්දෙකෙන් ම කිරීමට වග බලා ගත යුතු බවයි.”

සුසන්තා අප අසල වාඩි වී සිටින සිය දියණියගේ උවන බලාගෙන පවසන්නේ සිනහ මුසු මුහුණෙනි. ඒ අතරට පිවිසෙන්නේ තිසුරියේ අප්පච්චී කුමරුය.

“කාලයක් ඔවුන් දෙදෙනාම වැඩ කර ගත්තේ තනිවමයි. දැන් මමත් ඔවුන් සමඟ ම ඉන්න නිසා තරමක පහසුවක් සැලසිලා. ඒත් ඉතිං සුසන්තට වැඩ වැඩිවෙලා. නිවෙසේ කටයුතු වගේ ව අපි දෙන්නා ම කැමැති කෑම හදන්නත් ඈට සිදුවෙනවා.”

කොහේ ගියත් නිවසට පැමිණ සුසන්තාගේ අතින් හදන කෑම වේලක රස බැලීම ඔවුන්ගේ සිරිතය. දේශීය දේවලට මුල්තැන දෙමින් උයන සුසන්තාගේ අත්ගුණයට සම කිරීමට කිසිවකුගේ කෑම වේලකටවත් බැරි බව තිසුරිත්, කුමරුත් පවසන්නේ සැබෑවට මය.

ඒ අයුරින් ගෙවෙන ජීවිතයේ සුන්දරත්වය විඳීමින් පසුවන මේ තිදෙනාට ජීවිතය මිහිරියි මී සේ ය. ඒ මිහිර තවදුරටත් විඳීන්නට ඉඩහළ අපි සුබපතා ඔවුන්ගෙන් සමු ගතිමු.