වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




රුක්මණියට පසු මාලිනී වන්නේ කවුරුද?

රුක්මණියට පසු මාලිනී වන්නේ කවුරුද?

සරසවියට ඡායාරූපයක් එවන්න

නර්තනය හැකි නම් ඡායාරූපයක් සමඟ එවන්න

සිංහල නවකතාවක් ඇසුරෙන් මෙරට නිර්මාණය වූ ප්‍රථම සිනමා සිතුවම වන කැලෑහඳ පුංචි තිරයට ගෙන එන්නට මේ දිනවලදී සුදානම් වන වග සරසවියට වාර්තා විය.

එය අධ්‍යක්ෂණය කිරීමට නියමිතව ඇත්තේ දයාරත්න රටගෙදරයි. ඩබ්ලිව්. ඒ. ද සිල්වාගේ කැලෑහඳ නවකතාව පදනම් කරගනිමින් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න රිදී තිරයට තැනූ කැලෑහඳ එකල අතිශය ජනප්‍රිය සිනමාපටයක් විය.

එහි අන්තර්ගත අන්න සුදෝ අර පාට වලා, මායා මායා, මැවිලා පෙනේවි රූපේ හදේ වැනි ගීත අද ද ජන හද තුළ නොමැකී පවතියි. සබීතා පෙරේරාගේ පියාණන් වන ස්ටැන්ලි පෙරේරා ජෝන් ජයපාල ලෙසට චරිත මැවූ කැලෑ හඳෙහි මාලිනී වූයේ රුක්මණී දේවියයි.

පුංචි තිරයට කැලෑහඳ නිමවෙද්දී එහි ජෝන් ජයපාල වනුයේ අරවින්ද දොඹගහවත්තය.

මාලිනීගේ චරිතය රංගනයේ යෙදීමට තවමත් රංගන ශිල්පිණියක් තෝරාගෙන නැත. එදා රුක්මණී මැවූ චරිතය භාර දෙමින් පුංචි තිරයේ කැලෑ හඳේ නව මාලිනී ලෙසට අලුත්ම තාරකාවක් හඳුන්වාදීමට රටගෙදර අපේක්ෂා කරයි.

ඒ සඳහා සරසවිය පුවත්පත හරහා ඔබට අයැදුම් කළ හැකිය. වයස අවුරුදු 18 - 28 අතර නර්තනයට හැකියාවක් ඇති අය වෙතොත් [email protected]  යන විද්‍යුත් ලිපිනයට ළඟදී ගත් සේයාරුවක් සමඟ තම සියලු විස්තර ඇතුළත් අයදුම්පතක් දින තුනක් ඇතුළත එවීමෙන් මෙහි මූලික සම්මුඛ පරීක්ෂණයට සහභාගි විය හැකිය.

කැලෑහඳ ටෙලි සිතුවම නිෂ්පාදනය කරනුයේ ජාතික රූපවාහිනිය සමඟ නිමල් උඳුගොඩ සහ ආරියනන්ද දොඹගහවත්තයි. අධ්‍යක්ෂ දයාරත්න රටගෙදර සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ද වෙයි.

ජාතික රූපවාහිනියේ පොහොය නාට්‍ය මාලාව වන සිත නිවන කතා අධ්‍යක්ෂණය කරන්නේ ඔහු ය. එමෙන්ම බෝගල සවුන්දිරිස්, දෑකැති මුවහත වැනි විශිෂ්ට නාට්‍ය නිර්මාණය කළේ ද රටගෙදර වේ.


හීන හොයන සමනල්ලු සතියක් කල් යයි

ඊයේ දිනයේ ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන් හි තිරගතවීමට නියමිතව තිබූ රොහාන් පෙරේරාගේ හීන හොයන සමනල්ලු සිනමාපටය නොවැළැක්විය හැකි හේතුවක් මත නියමිත දිනට තිරගත කර ගැනීමට නොහැකි වූ ූබව සුනිල් ටී. ෆිල්ම්ස් සමාගම සරසවියට දන්වා සිටියේය. එය එළඹෙන එකොළොස් වැනිදා සිට එම මණ්ඩලයේම තිරගතවීමට නියමිතය. මේ හේතුවෙන් ඊයේ දිනයේ පැවැත්වීමට සූදානම් කොට තිබූ හීන හොයන සමනල්ලු සිනමාපටයේ මංගල දර්ශනය ද අවලංගු කොට තිබේ. අතිශය සංවේදී කතා පුවතක් ඇතුළත් හීන හොයන සමනල්ලු රොහාන්ගේ පළමු අධ්‍යක්ෂණය වන අතර සුනිල් ටී. ප්‍රනාන්දුගේ හැටහය වැනි නිෂ්පාදනයයි. හේමසිරි ලියනගේ, ලූෂන් බුලත්සිංහල, දිල්හානි ඒකනායක, සෞම්‍ය ලියනගේ, නෙතලි නානායක්කාර, ජයනි සේනානායක සහ උමාලි තිලකරත්න ඇතුළු පිරිස මෙහි චරිත මැවූහ.


 

අලි කතාව දින 50 යි

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අලි කතාව සිනමාපටය දින පනහ පසු කරමින් ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන් හි තිරගත වේ. ඊයේ දින සිට අලුත් සිනමාපටයක් එම මණ්ඩලයේ තිරගතවීමට නියමිතව තිබුණත් එය කල් දමමින් අලිකතාව එළඹෙන 11 වැනිදා දක්වා තිරගත වේ. ලැටීෂියා බොතේජුගේ අනූෂ සහ රන් කුමරු ඇසුරෙන් නිර්මාණය වූ අලි කතාව ගුණපාල රත්නසේකරගේ නිෂ්පාදනයකි. රවීන්ද්‍ර රන්දෙණිය, ධනංජය සිරිවර්ධන, තාරුකා වන්නිආරච්චි, දුලීකා මාරපන, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර ඇතුළු පිරිස අලි කතාව රංගනයෙන් හැඩ ගන්වති.


ප්‍රියංකර චන්ද්‍රරත්න බණ්ඩාරගේ වලාකුළු බැම්ම තෝරාගනියි

අලුත්ම සිනමාපටයක විශේෂිත ගිවිසුමක් ඉකුත් දා කැනඩාවේදී අත්සන් කෙරිණ. ඒ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියංකර විතානාච්චි සහ නවකතා රචක චන්ද්‍රරත්න බණ්ඩාර අතරය. චන්ද්‍රරත්නගේ නවකතාවක් වූ වලාකුළු බැම්ම ඇසුරෙන් ප්‍රියංකර සිය දෙවැනි සිනමාපටය තනනු ලබයි. මෙලෙස අත්සන් කෙරනුයේ එම ගිවිසුමය. සම්මානනීය චිත්‍රපටයක් වූ සැමීගේ කතාව ප්‍රියංකර අධ්‍යක්ෂණය කරන ලද්දේ ද එනමින් ඇති නවකතාව පදනම් කර ගනිමිනි. මෙවර ද ඔහු නවකතාවක් ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීම ද විශේෂත්වයකි.

මෙය නිෂ්පාදනය රුවන් ජයකොඩිගෙනි. සම්බන්ධීකරණය සෝමසිරි මුණසිංහ විසින් සිදුකොට ඇත.


සිනෙසිටි ඩොල්බි ඇට්මොස් වෙයි

ශ්‍රී ලංකාවේ මුල්වරට මෙරට සිනමාහලක් ලොව ඉහළම තත්ත්වයේ ශබ්ද තාක්ෂණයක් වන ඩොල්බි ඇට්මොස් භාවිත කරමින් මරදාන සිනෙසිටි සිනමා සංකීර්ණය මෙම මස 11වැනිදා නව්‍යකරණය වන වග එහි අධිපති චිත්‍රපට නිෂ්පාදක බූඩි කීර්තිසේන සරසවියට දැන්වූයේය. ඒ සඳහා අති විශාල පිරිවැයක් බුද්ධි සිනෙසිටි වෙනුවෙන් ආයෝජනය කොට තිබේ. ෂාරුක් ඛාන්ගේ නවතම සිනමාපටය වන ජබ් හැරී මෙට් සෙජල් මෙම ශබ්ද තාක්ෂණයෙන් යුතුව චිත්‍රපට ප්‍රදර්ශනය සිනෙසිටි හි ඇරැඹෙනු ඇත. ඩොල්බි ඇටිමොස් තාක්ෂණය සම්පූර්ණ වීම සඳහා ස්පීකර් 160 ක් එක් සිනමා ශාලාවක් සඳහා සවිකොට යුතුව තිබේ. එය ශබ්ද මිශ්‍රණය 22:1 ක්‍රමයට අනුපාත වේ. වර්තමානයේ මෙරට සිනමාහල්වල පවතින උපරිම ශබ්ද මිශ්‍රණය 7:1 ය.