වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




රුපියල් දෙකේ තේ එකට පෙරේතකමේ ගොස් ලක්ෂයක් නැති කරගෙන

රුපියල් දෙකේ තේ එකට පෙරේතකමේ ගොස් ලක්ෂයක් නැති කරගෙන

බොම්බාය මඟහැර සිනමාව සොයා ගියෙමි - 4

ඕනෑම දේකට පෙරමුණ ගන්නා නඩයේ නායකයන් කිහිප දෙනෙකි. හේමන්ත් ෂර්මා සහ කේෂව් අයින්ගර් ඕනෑම දෙයක් ක්ෂණිකව සංවිධාන කරන්නන් දෙදෙනෙකි. හේමන්ත් ෂර්මා වෘත්තියෙන් චිත්‍රපට බෙදාහරින සමාගමක ඉහළ නිලයක් දරන අයෙකි. කේෂව් අයින්ගර් නීතිඥයකි. නමුත් ජීවිකාව ගැට ගසා ගන්නේ සංගීතයෙනි. ඔහු චිත්‍රපට සංගීත බොහෝමයක වාදකයෙකු ලෙස කටයුතු කර ඇත. එමෙන්ම ඔහු ඉන්දියාවේ ප්‍රසිද්ධ කෝක් ස්ටුඩියෝ වැඩසටහනේ සංගීතඥයන් කිහිප දෙනෙක් යටතේ වාදකයෙක් ලෙස කටයුතු කර ඇත.

මා බොම්බාය මඟහැර සිනමාව සොයා ගිය ගමන හමාර කරන්නට හිතුවේ මෙවර කළාපයෙන්ය. ඒ අපේ සමුගැන්ම ගැන කියා එකිනෙකා වැළඳගත් සෙනෙහෙබර අවස්ථාව ද සිහිපත් කරමිනි. මා සමුගැන්ම ගැන සටහන් කරන අපේ නියෝජ්‍ය කතුතුමා වෙත ඉදිරිපත් කරන විටත් එතුමාණන් ඇසුවේ ඇයි මේ එක පාරටම නවත්වන්නේ කියාය. පසුගිය දිනෙක ධනුෂ්ක ගුණතිලක මුණ ගැසුණු විටෙක ඔහු කියා සිටියේ ද 'තව ලියපන් තව ලියපන්' කියාය. කෙසේ වුව ද පූනාවේ අත්දැකීම් ඇත්තටම ලිවිය යුත්තේ මා නොව ධනුෂ්කයි. ඔහු මා මෙන් පූනාවේ විසිට් දැමූවෙකු නොව මුල් ඇදි හාදයෙක්ය. ලියනවා නම් ලිපි දෙක තුනක් නොව පොතක් වුවත් ලිවීමට ඔහුට එහි අත්දැකීම් ඇත. ප්‍රසිද්ධියේ කිව හැකි දේ ද නොකිව හැකි දේ ද ඇතුළත් කර පොත් 2 ක් වුවත් ඔහුට ලිවිය හැකිය. ඒ කෙසේ වුවත් මාගේ රසබර මිත්‍රයන් ගැන සඳහන් කිරීමට මේ කලාපය පාවිච්චි කරමි.

අපි ඇති තරම් චිත්‍රපට බැලුවෙමු. ඝටක් පවුර පසුකර ගියෙමු. ප්‍රඥා වෘක්ෂයේ සෙවණ වින්දෙමු. කුමක් කළ ද ශාන්තරාම් පොකුණ අසළට සතියට දෙවතාවක්වත් රැස්වීමට අමතක නොකළෙමු. පොකුණ අවට හාත්පස වෘක්ෂලතාය. එය එළිමහන් රංග භූමියක් වැනිය. පොකුණ යනු ඇත්තෙන්ම ගණන් නොගත යුතු තරමේ එකක්ය. නමුත් වෘක්ෂලතාවනුත් එළිමහනත් රැඳී සිටින්නන්ට ආශිර්වාද කරන තරමේ එකක්ය. ඒ තරමටම එය නිස්කලංකය. හිටි අඩියේ එන දැනුම්දීමකදී පිරිමින් ටික ඒකරාශි වේ. මා මෙයට පිරිමින් කියා යෙදුවේ කොල්ලන් යන වදන 100% ක්ම නොගැළපෙන නිසාය. කවුරුන් හෝ කිහිල්ලේ ගසාගෙන නිල් පාට මල්ලක් ගෙනේ නම් එය සුමිහිරි පානයක් බව දැක්මෙන්ම අවබෝධ කර ගනිමි.

ඕනෑම දේකට පෙරමුණ ගන්නා නඩයේ නායකයන් කිහිප දෙනෙකි. හේමන්ත් ෂර්මා සහ කේෂව් අයින්ගර් ඕනෑම දෙයක් ක්ෂණිකව සංවිධාන කරන්නන් දෙදෙනෙකි. හේමන්ත් ෂර්මා වෘත්තියෙන් චිත්‍රපට බෙදාහරින සමාගමක ඉහළ නිලයක් දරන අයෙකි. කේෂව් අයින්ගර් නීතිඥයකි. නමුත් ජීවිකාව ගැට ගසා ගන්නේ සංගීතයෙනි. ඔහු චිත්‍රපට සංගීත බොහෝමයක වාදකයෙකු ලෙස කටයුතු කර ඇත. එමෙන්ම ඔහු ඉන්දියාවේ ප්‍රසිද්ධ කෝක් ස්ටුඩියෝ වැඩසටහනේ සංගීතඥයන් කිහිප දෙනෙක් යටතේ වාදකයෙක් ලෙස කටයුතු කර ඇත.

ඉන්දීය චිත්‍රපට උරුම ව්‍යාපෘතිය බාර විශේෂ කාර්යභාර නිලධාරියා වූයේ සන්තෝෂ් අජ්මේරාය. ඔහු ඉන්දීය තොරතුරු සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. නමුත් තරුණයෙකි. ඔහු ද අප සමග සිනමාව ඉගෙන ගන්නට පැමිණියේය. විටෙක අපි ඔහුගේ නිවසට ද ගොස් සුමිහිරි පානයෙන් ජවසම්පන්න වී සිටියෙමු. ඔහු ආගන්තුක සත්කාර සඳහා ඉතා ලැදි පුද්ගලයෙකු විය. මා මෙතෙක් රස විඳි ඉතාම රසවත් බුරියානි එක රස වින්දේ සන්තෝෂ්ගේ නිවසේදීය. මා එහි හට්ටියෙන් භාගයකට වග කීවේ සුමිහිරි පානය මා බඩගිනිකාරයෙක් කර තිබූ නිසාය.

අපේ පිරිස අතර ගායක ගායිකාවන් බොහෝය. නර්තන ශිල්පිණියන් බොහෝය. ඔවුන්ගේ හැකියාවන් එළි දැක්වුණු තැන ද ශාන්තරාම් පොකුණයි. අප සමඟ සිටි කාමිණි ෂෙවිගඔන්කර් දක්ෂ ගායිකාවකි. ඇයගේ හඬ පරාසයන් අතිශය මිහිරිය. එමෙන්ම ඇයගේ ප්‍රාසාංගික බව ද ඇගේ ගායනය තව තවත් මිහිරි කරවයි. එමෙන්ම මට හිතවත් නිකිල් ගොඩිපද්කර් පූනේ වැසියෙකි. එමෙන්ම සංගීතඥයෙකි. ඔහුගේ හඬ පරාසයන් ඉහළ තැනක තිබේ. අපි සුමිහිරි පානයෙන් ජවසම්පන්න වී සිටින විටෙක ඔහු අපව මුසපත් කරවයි. ඔය අතර දේශපාලනය ද අපගේ මාතෘකා අතරට එක් විය. අප අතර වඩාත් ක්‍රියාශීලිම දේශපාලන ප්‍රකාශකයන් දෙදෙනෙක් විය. එකෙකු වූයේ අපේ හිතවත් හේමන්ත් ෂර්මාය. අනෙකා වූයේ අමිත්වා සෙන් ගුප්තාය.

හේමන්ත් ෂර්මා මුම්බායි වැසියෙකි. අන්ත දක්ෂිණාංශිකයෙකි. සෙන් ගුප්තා කල්කටා වැසියෙකි. වාමාංශිකයෙකි. මොවුන් දෙදෙනා සුමිහිරි පානයේ පිහිටෙන් බොහෝ දේශපාලන වලි ඇද ගන්නා දෙදෙනෙකි. හේමන්ත් භාරතීය ජනතා පක්ෂයට සහය දක්වන එහි ඉහළම සබඳකම් තිබෙන අයෙකි. සෙන් ගුප්තාට එතරම් සබඳකම් නැත. නමුත් මතවාදී වශයෙන් ශක්තිමත්ය. පානය ඇඟ රත් කරවන තරමට විවාදය උණුසුම් වන අතර සෙන් ගුප්තා බීජේපීය කුඩු කරයි. ෂර්මා මමිතා බැනර්ජිව කුඩු කරයි. ඒ විවාදය කෙසේ වුවත් වටේ බලන් උන්නන් එයින් ලැබුවේ අපමණ ආශ්වාදයකි.

අගූ පුලෙයිරත්පම් මනිසූර් ප්‍රාන්තයෙනි. ඔහුගේ මිතුරා ලයිෂෙම්බා ලයික්රූරම් ද මනිසූර් ප්‍රාන්තයේය. මනිසූර් වැසියන්ට බොහී විට පිහිටන්නේ චීන ජාතිකයන්ගේ පෙනුමක්ය. එහෙයින් ඔවුන් ද චීනුන් මෙනි. අගූ දක්ෂ කවියෙකි. ඔහුට භාෂා භේදයක් ද නැත. හින්දියෙන් ද ඉංග්‍රීසියෙන් ද ඔහු කවි ලියයි. එමෙන්ම ඔහු ළඟ නිතරම සුමිහිරි පුෂ්පයන් ද තිබේ. ඉන්දියාවේ කොහේ ගිය ද සුමිහිරි පුෂ්පයන් සොයා ගැනීමට ඇති මාර්ග ගැන ඔහු හොඳින් දනී.

අබ‍්‍රා දාස් මෙන්ම සොනාලි ගෝෂ් බොම්බාය මුලික කොට ගෙන වැඩ කරන දෙදෙනෙක්ය. අබ්‍රා දාස් මූම්බායි ෆිල්ම් බසාර් අනුබද්ධිතව වැඩ කරයි. ඔහු ලංකාවෙන් ජාත්‍යන්තර උලෙළවල් වලට යන චිත්‍රපට ගැන දැනුවත්ය. සොනාලි බොම්බායේ වෙළඳ දැන්වීම් හා වාර්තා චිත්‍රපටකරණයේ නිරත වේ. ඇය ලංකාවට නිතර පැමිණි තැනැත්තියක්ය. ඇය ලංකාවේ අසිරිය ගැන නිතර වර්ණනා කරන්නියකි. මගේ කාමර සගයා වූයේ මහාචාර්ය රබීන්ද්‍රනාත්ය. ඔහු ආන්ද්‍රා ප්‍රදේශ් හි ජන්මලාභය ලැබ හිමචල් ප්‍රදේශ් හි විශ්වවිද්‍යාලයක සේවය කරයි. වතාවක ඔහු හදිසි අනතුරකට මුහුණ පෑවේය. සංරක්ෂණාගාර ශ්‍රවණාගාරය තුළ චිත්‍රපටයක් රස විඳින අතරතුර ඔහු එළියට පැමිණියේ තේ එකක් බීම සඳහාය. චිත්‍රපටය හමාර වී මම කාමරය බලා පිය නගද්දී ඔහු රෝහල් ගත වූ බවට ආරංචියක් ලැබුණි. ඒ අතරතුර පටලවා ගැනීම් බොහෝමයක් විය. ඔහු මගේ කාමර සගයා හෙයින් මට පණිවිඩ දෙන්න බොහෝ දෙනෙක් මහන්සි වූ අතර අන්තිමට පණිවුඩ මාරු වී එය බොහෝ දෙනා කලබල කරන සුළු එකක් විය. එක් ආරංචියකට අනුව මහාචාර්ය රබින්ද්‍රනාත් රෝහල් ගත කර ඇති බවටත් තවත් ආරංචියකට අනුව මා වැටී තුවාල වී රෝහල් ගතකර ඇති බවටත් ආරංචි පැතිරිණි. මා වැටී රෝහල් ගත වූ පුවත කියන්නට බොහෝ දෙනා මහාචාර්ය රබින්ද්‍රනාත් සෙවූ අතර මහාචාර්ය රබින්ද්‍රනාත් වැටී රෝහලේ සිටින බව කියන්නට මාව සෙවීය. අපගේ කණ්ඩායමේ තවත් අයෙක් වූ හරිනාත් කුමාර් සියල්ල සම්බන්ධීකරණය කළ අතර ඔහුගේ මාධ්‍යවේදී හැඳුනුම්පතින් රෝහල් ආරක්ෂක අංශය බිය වද්දා අවේලාවේ ලෙඩ්ඩු බලන්නට ගියෙමු. අවසානයේ මා කිසිත් නොසිතූ පිටරට රෝහලක නයිටක් ගැසීමේ අමුතු අත්දැකීමට ද මුහුණ දුණි.

ඒ කෙසේ වුව ද මහාචාර්ය රබින්ද්‍රනාත් කිසිත් ගෙදරට දැනුම් දුන්නේ නැත. ඔහු බිරිදට පුදුමාකාර බයය. (ඇතැම් විට එය ගෞරවය වන්නටත් පුළුවන) ඔහු මාසයකට පූනේ ආවේ බිරිදගේ චුරු චුරුව මායිම් නොකොටය. දැන් ඔහුගේ උකුල් ඇටය කැඩිලාය. ඇවිද ගන්නටවත් බැරිය. ගෙදර උන්දෑ දැනුම්වත් නැත. ඉතිරි දින කිහිපයත් ඔහු ගත කළේ කාමරයේ එක්තැන් වීලාය. විවාහ ජීවිතයේ මෙවන් කටුක තැනුත් ඇති බවට මා ගෝචර කොට ප්‍රත්‍යක්ෂ කළේ එදාය. ඒ කෙසේ වෙතත් හේමන්ත් ෂර්මා මට අපූරු යමක් කීවේය. 'බලපං අරයා රුපියල් දෙකේ තේ එකකට පෙරේතකමට ගිහින් ලක්ෂයක් නැතිකර ගත්තා' ලක්ෂයක් ගියේ ඔහුගේ සැත්කම සඳහාය. ඇත්තටම ඉන්දියාවේ තේ එකක් රුපියල් 5 කි.