වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

‘රදළ පිළිරුවේ’ කිලිටු පණ්ඩිතයා ‘සන්දේශයේ’ ද්‍රෝහියා වෙයි

දැනට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම චිත්‍රපට නළුවන් දෙදෙනාගෙන් ද, චිත්‍රපට අධ්‍යක්ෂවරයන් දෙදෙනා අතර කෙනකු වන බන්ධු ගුණසේකර පදිංචිව සිටින්නේ මගේ නිවසට යාබදව ඇති මොරටුවේ සොයිසා පුර ඕ7/2/3 දරන නිවසේය. කලකට ඉහත නම් ඔහු නිතරම පාහේ අප නිවස අසලින් යන විට ගේ අසල මා සිටියොත් වචනයක් දෙකක් කතා කොට යයි. ඔහු එසේ යන්නේ ඊබට් පටුමඟේ සායිතුමාගේ බැතිමතුන් හා එක්ව බජන් ගීත ගයන අසපුවකටය. දැන් වයස අවුරුදු 87 පමණ වූ ඔහු අප නිවසට අද එන්නේ කැප් එකක් පැලඳ එචතඬඪදඨ ඉබඪජඬ අත ඇතිවය. විදේශ රටක සෑදූ එය සැහැල්ලු, එහෙත් ශක්තිමක් එකකි. කිසිවකුගේ පරිත්‍යාගයක් වන එහි ඔහුගේ නම ද කොටා තිබේ.

මීට වසර 63 කට ප්‍රථම 1954 වසරේ තිරගත වූ 'රදළ පිළිරුව' චිත්‍රපටයේ ඔහු පණ්ඩිත කමලනාථ ලෙස අමුතු සරුවාලයක් සහිත ඇඳුමක් පැලඳි වයෝවෘධයකු ලෙස රඟපෑ අයුරු එවකට හත් හැවිරිදි වියේ සිටි මට යාන්තමට මතකය. මේ වයෝවෘධ පණ්ඩිතයාට එදා වයස අවුරුදු 24 කි. 1930 ජූලි 09 වෙනිදා මාතලේ උපත ලැබූ බන්ධුරත්න ධර්මවිජය ගුණසේකර මුලින්ම අධ්‍යාපනය හදාරා ඇත්තේ මාතලේ සාන්ත ඇග්නස් කන්‍යාරාමයේය. ඉන්පසු මාතලේ හරස්ගම සිංහල පාසල, ඔලබොඩුව සිංහල පාසල, පිළියන්දල මධ්‍ය විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, කෝට්ටේ හා මාතලේ සාන්ත තෝමස් යන විද්‍යාලවලින් ඉගෙනුම ලබා ඇත.

බන්ධු ගුණසේකර පවසන්නේ තමාට ළමා කාලයක් නොතිබුණු බවය.

'මගේ පියාගේ නම හේමචන්ද්‍ර ධර්මවිජය ගුණසේකර නොතාරිස්වරයෙක්. මව සුමනාවතී ගුණසේකර ගුරුවරියක්. මට වයස 7 වන විට මගේ දෙමාපියන් අහිමි වුණා. ඊට පස්සේ නෑයන්ගේ ගෙවල්වල වහලෙක් මෙන් ජීවත්වීමට සිදු වුණා. ධනවතකුව සිටි මගේ පියාගේ ඉඩකඩම් නෑදෑයින් විසින් සූරාකන්න ගත්තා.'

පුංචි කාලයේ සිටම බන්ධු සිනමා නළුවකුවීමට සිහින මැව්වේ 1947 වසරේ නුගේගොඩ කුවින්ලන්ඩ් සිනමාහලේ දී තිරගත වූ 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයේ මනප්පුවා ලෙස රඟපෑ ඇඩී ජයමාන්නගේ රඟපෑම දැකීමෙනි. ගැටවර බන්ධු කළු කෝට් එකක් ඇඳගෙන රැවුලක් අලවාගෙන පාසල් වේදිකාවේ රඟපෑවේය. ඔහුට 'පාසලේ මනප්පුවා' යන නම ද පටබැඳිණ.

'මුලින්ම 'කඩවුණු පොරොන්දුව' බලපු දවස මට කිසිදා අමතක වෙන්නේ නෑ. මම සිනමාහලේ සිටින ආසනය ළඟ සිටි ප්‍රේක්ෂකයෙක් එඩී ජයමාන්න රඟපෑ මනප්පුවා රඟපාන හැම අවස්ථාවකම මහ හඬින් සිනසෙමින් මගේ උරහිසට තඩි බෑවා. මටත් හිනායන නිසා ඒක ගණන් ගත්තේ නැහැ. චිත්‍රපටය අවසානයේ ගෙදර යන කොටයි අරයා ගහපු පාරවල වේදනාව දැඩිව දැනුණේ' බන්ධු සිනාසෙමින් කීවේය.

ඔහුගේ ප්‍රථම රැකියාව වූයේ ලංකා බැංකුවේය. ඊට පසු රාජකීය ලංකා නාවික හමුදාවට බැඳුණු ඔහු මිතුරන් සමඟ එක් වී නාට්‍යයක් නිෂ්පාදනය කරමින් රඟපෑවේය. මේ නාට්‍ය නැරඹූ නාවික හමුදාවේ උසස් ිනිලධාරියෙක් 'තමුන් අයිති නාවික හමුදාවට නෙවෙයි. නළු වෘත්තියට' යයි කීවේය.

ඉන්පසු සමුපකාර දෙපාර්තමේන්තුවට බැඳුණු ඔහුට එහි ප්‍රචාරක නාට්‍යයක් වූ 'අන්ධ ගායකයා' හි ප්‍රධාන චරිතය රඟපෑමට ලැබිණ. මේ චරිතය ඔහු කොතරම් හොඳින් රඟපෑවා ද යත්, නාට්‍යය අධ්‍යක්ෂණය කළ ලැඩී රණසිංහ තමා ප්‍රධාන චරිතය රඟපාන 'රදළ පිළිරුව' චිත්‍රපටයේ චරිතයකට සුදුසු බව නිෂ්පාදක කේ. ගුණරත්නම්ට රෙකමදාරු කළේය. පණ්ඩිත කමලනාථගේ චරිතය අසීරු එකක් බව ඔහු අපට කීවේය. පාලි, සංස්කෘත, ප්‍රාකෘත භාෂාවලින් ඔහුට රඟපෑමට පුහුණු කළේ ටී. බී. ඉලංගරත්න මහතාය. ඒ චිත්‍රපටයේ දෙබස් බන්ධුට තවමත් මතකය. මේ දෙබස ඔහු කියන්නේ රෆායල් හාමු ලෙස රඟපාන ලැඩීටය.

'මේ මිස්ටර් රෆායල් වෙන්න ඕනෑ. මා ආවේ හාමු මහත්තයාගෙ රෙකමනය පිට තමා. මා තමා පණ්ඩිත ශ්‍රී කමලනාථ. මට පුළුවනි එළු, පාලි, සංස්කෘත, ප්‍රාකෘත යන භාෂා හොඳට, ඉංගිරිසි තරමක් දුරට.'

'රදළ පිළිරුව' චිත්‍රපටය ගැන විචාරයක් කළ කරුණාසේන ජයලත් ලංකාදීප 'චිත්‍රපට චක්‍රය' (අතිරේකයෙන්) මෙසේ ලියා තිබුණි.

'රදළ පිළිරුව චිත්‍රපටයේ කමලනාත පඬිවරයා වැනි දුෂ්කර කොටසක් පොතේ එන ලෙසින්ම නිරූපණය කළ බන්ධු ගුණසේකර හොඳ නළුවෙක් බව බියක් සැකක් නැතිව කිව හැක. කමලනාථ වැනි නිතර දක්නට නොලැබෙන මිනිසකුගේ චරිතය නිරූපණය කිරීම ඇත්ත වශයෙන්ම හපන්කමකි.'

මේ චිත‍්‍රපටය කරන කාලයේ බන්ධු මදුරාසියේ නැවතී සිටි කාමරයේ සිටියේ මොහිදීන් බෙග්ය. බෙග් මාස්ටර් 'මල් පෙති රළ රැලි අතරේ', 'මවා ප්‍රේම ලෝකේ' ගීතත් ජමුනා රාණි ගැයූ ගීතවලත් සිංහල උච්චාරණය උගන්වා ඇත්තේ බන්දුය. දොස්තර (1956), දුප්පතාගේ දුක (1956), සූරයා (1957), සූරසේන (1957) වනමෝහිනී (1958) රඟපෑ ඔහු සූරයා චිත්‍රපටයේ සහයා අධ්‍යක්ෂවරයා ද විය. නළුවකු ලෙස ඔහු ඉන්දීය අධ්‍යක්ෂවරුන් 7 දෙනෙකු යටතේ රඟපාද්දී චිත්‍රපටයක හැම අංශයක් ගැනම අවබෝධයක් ලබා ගත්තේය.

'ඒ කාලේ මම සිනමාස් සමාගමේ ස්ථිර සේවකයෙක්. කෑම, බීම, නවතැන් ගුවන් ගමන් දීලා මාසිකව රුපියල් දෙසිය පණහක් ලැබුණේ. සහාය අධ්‍යක්ෂ ලෙසත් වැඩ කරලා මට අවශ්‍ය වුණේ කවදා හරි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. 1960 තිරගත වූ ලෙස්්ටර් ජේම්ස් පීරිස්ගේ 'සන්දේශය' මම සිංහල ද්‍රෝහියෙකු වූ පුංචප්පු ලෙස රඟපෑවා. 1960 දී වීර විජය චිත්‍රපටයේ රඟපෑවට පස්සේ මම 1966 හාපුරා කියා අධ්‍යක්ෂණය කළ 'සීගිරි කාශ්‍යප' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. මේ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, හෙන්රි ජයසේන, ලැම්බට් මොරමුදලි ප්‍රධාන චරිත රඟපෑවා' බන්ධු කීවේය.

1966 තිරගත වු ඔබ දුටු දා' චිත්‍රපටයේ ඔහු ගාමිණී ෆොන්සේකා සමඟ සහෝදරයන් ලෙස ප්‍රධාන චරිත රඟපෑ අතර 1980 වසරේ 'හොඳින් ඉන්න' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. යසෝරාවය, රන් ගල් තලාව (සුදු අංකල්) ටෙලි නාට්‍යවල රඟපෑ ඔහු කලක් 'සන්' පුවත්පතේ උප කර්තෘවරයකු ලෙස සේවය කොට ඇත. ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සුභසාධක නිලධාරියකු හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නියෝජිතයකු ලෙස ද කටයුතු කළ ඔහු

'මගේ අවසාන රැකියාව චමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධිකරණ ලේකම් ලෙස කටයුතු කිරීමයි. මා එතුමා හඳුනන්නේ ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ප්‍රධාන ආරක්ෂක ප්‍රධානියාව සිටින කාලේ සිටයි.

මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධිය නම් මාත් හියුගෝ ප්‍රනාන්දුත් යාපනේ සිට තිරුචිප්පල්ලි යාමට ගුවන්ගත වූ විට එම ගුවන් යානයේ එක ඇන්ජිමක් ගුවනේදී ක්‍රියාවිරහිත වී ගුවන් යානය පැත්තකට ඇල වුණා. පසුව එම ගුවන් යානයේ නියමුවා යානය පහතට අරගෙන පැය භාගයකින් පමණ ඇන්ජිම අලුත්වැඩියා කර ආපසු ගුවනට ගෙන ගමන ආරම්භ කළා. එදා හියුගෝ ඔරසන් කියමින් යාඥා කළා. මම දෙවියන් බුදුන් සිහිකර ගත්තා.

මදුරාසියේ අපේ නවතැනේ මමත්, හර්බට් එම්. සෙනෙවිරත්නත් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිටින අතර සුරූපී නර්ගීස් අප වෙත හිටි හැටියේම පැමිණ රාජ් කපූර්ට බීමට බියර් බෝතලයක් ඉල්ලුවා. අපි ගාව බීම තිබුණේ නැහැ.

'අතිශයින්ම කනගාටුුයි, ඔබේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වීම ගැන. අප සතුව එක බීර බෝතලයක්වත් නැහැ' මම කීවා. හර්බට් ද කනගාටුව පළ කළා. අපේ තත්ත්වය තේරම් ගත් ඇය නිහතමානීව අපේ කීම පිළිගෙන සිනාසී ගියා. ඒ කාලේ මත්පැන් බලපත්‍ර මදුරාසි රජයෙන් නිකුත් කළේ පිටරැටියන්ට පමණි. 'දොස්තර' චිත්‍රපටයේ අපි රඟපාන නළුවන් බව දැනගෙනයි නර්ගිස් පැමිණියේ.'

බන්දු ගුණසේකර නිර්මාංශිකය. පිරිතේ බලයෙන් ලෙඩ සුව කරන බලයක් තමාට ඇතැයි විශ්වාස කරන කෙනෙකි. භගවාන් ශ්‍රී සත්‍යසායි තුමන් තමාට ලෙඩුන් සුවකිරීමේ බලයක් තිබෙන බව කියා ඇති බව ඔහු පවසයි. පිරිත් ඔහුට කට පාඩම්ය.

'මීට බොහෝ කලකට ඉහත මම නාරද ස්වාමීන් වහන්සේ්ගෙන් බුද්ධාගමේ මූලික හරය ඉගෙන ගත්තා. ඒ මා චිත්‍රපටවල රඟපාන කාලේ. ඉංග්‍රීසියෙන් උන් වහන්සේ කරන ලද ධර්ම දේශනා මගේ ජීවිතය වෙනස් කළා. පසුව නාරද හිමියන්ගේ අභිධර්මය ඉගෙන ගත්තා. මනුෂ්‍ය ජීවිතය විනිවිද දුටුවේ ඊට පස්සේ. දවසක් මම බස් රියකදී අසාධ්‍ය හිසේ කැක්කුමකින් සිටි කාන්තාවක් පිරිත් කියා සුවය ලබා දුන්නා. මම එදා ලොකු සතුටක් ලැබුවා.'

තමගේ චිත්‍රපට ජීවිතයේ තවත් අමතක නොවන අවස්ථාවක් ඔහු මතක් කළේ මෙසේය.

'රදළ පිළිරුව' චිත්‍රපටය තිරගත වූ පසු දවසක් මම බොරැල්ලේ පදික වේදිකාවේ ඇවිදගෙන යන කොට මිනිස්සු ටිකක් මාව දැකලා 'අර යන්නේ අපි බලපු පික්චර් එකේ 'ගඳ පණ්ඩිතයා' කියලා කිව්වා. තව කෙනෙක් මෙහෙම කිව්වා.

'ඌ තමයි මිනිහා ගඳයා'

මට තනියම හිනා. රදළ පිළිරුවේ මම රඟපෑ පණ්ඩිතයාගේ චරිතය නාන්නේ නැති අපිරිසුදු ඇඳුම් ඇඳ ගත් මිනිහෙක්' බන්දු සිනාසෙමින් කීය.

කීර්තිමත් පරිපාලන නිලධාරියකු වු ලීල් ගුණසේකර මහතා බන්ධු ගුණසේකරගේ ලොකු තාත්තාගේ පුතෙකි.

'මිනිහ පුංචි කලේ ඉඳලම ඉගෙනීමට දස්සයා' බන්ධු තම ඥාති සොහොයුරා ගැන කීය. බන්ධුගේ දයාබර බිරිඳ මීට බොහෝ කලකට පෙර මිය ගියාය. පුතා ඕස්ට්‍රේලියාවේ පදිංචිය. දියණිය හා මිනිබිරිය සමඟ බන්ධු සොයිසා පුරයේ ජීවත් වෙයි.

ශ්‍රී ලංකාවේ අද ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨ නළුවකු වූ බන්දු ගුණසේකරට කිසිදු ඇගයීමක් පිළිගත් සම්මානයක් පිරිනැමී නැත. ඒ ගැන ඔහු හිතන්නේ මේ ආකාරයටය.

'මම ඒවා ගැන තැවෙන්නේ නෑ. ඒ හැම විටම මට සිහිවන්නේ නාරද හිමියන්ගෙන් ඉගෙන ගත් ධර්මය. මම කා සමඟවත් තරහක්, වෛරයක් නැහැ. ලැබුණු දෙයක් මිස නොලැබෙන දේ ගැන මට දැන් ආශාවක් නැහැ .'