වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඉගෙනීමට බාධාවක් නොකර රඟපෑම දිගටම

ඉගෙනීමට බාධාවක් නොකර රඟපෑම දිගටම

- විනුමි වන්සදී

මේ ඉන්නෙ ධර්ම යුද්ධය සිනමාපටයේ හරිශ්චන්ද්‍ර පවුලේ බාලයා. නම සචිනි. ඇත්ත නම නම් කියන්න ටිකක් අමාරුයි, නමුත් ලස්සනයි. විනුමි වන්සදි සාන්දසාගර.

* විනුමි මට පළමුව කියන්නකො ඔබේ අපූරු නමේ තේරුම?

විනුමි කියන නම හැදිලා තියෙන්නේ වචන තුනකින්. වි කියන්නේ විශේෂ, නු කියන්නේ නුවණ මි කියන්නේ මිහිර. වනසදි කියන්නේ සඳ වැනි වූ කියන එක.

* විනුමි ධර්ම යුද්ධය නිසා ගොඩක් ජනප්‍රිය වෙලා?

ජනප්‍රියයි කියලා නම් දැනෙනවා. අම්මිත් එක්ක ටවුන් යද්දි ගොඩක් දෙනෙක් හැරිල බලනවා. ඒ වගේම ඉස්කෝලෙ යාළුවො නිතර නිතර වෙනදට වඩා විස්තර අහනවා චිත්‍රපටය ගැන.

* මේ විනුමිගෙ දෙවැනි චිත්‍රපටය නේද?

මං මුලින්ම රඟපෑවේ හෝගානා පොකුණ චිත්‍රපටයේ. එහි ළමයි පිරිස අතරින් එක් කෙනෙක් මම. ඊට පස්සේ අවුරුදු තුනකට විතර පසුවයි මෙහි රඟපෑවේ.

* විනුමිට කොහොමද ධර්ම යුද්ධය සඳහා අවස්ථාව ලැබෙන්නේ?

මං කිඩ්ස් ෆස්ට් සඳහා දායක වෙලාව හිටියා. ඉන් මාව දැකලා තිබුණා ධර්ම යුද්ධය සම අධ්‍යක්ෂණය කළ ගිහාන් රංග බණ්ඩාර මාමා. ඔහු තමයි මෙහි සම්මුඛ පරීක්ෂණයට මාව යැව්වේ. එය සමත්වෙලා චිත්‍රපටයට එකතු වෙන්නට ලැබුණා.

* ධර්ම යුද්ධය සඳහා පාදක වුණ විදෙස් චිත්‍රපට විනුමි නරඹලා තබුණාද?

නැහැ. ධර්ම යුද්ධය ගැන මට පහදල දෙද්දී ඒ මාමලා කිව්වා අර චිත්‍රපට ගැන. ඉතින් මං අම්මටයි අප්පච්චිටයි කියලා ඒවා ගෙන්වාගෙන බැලුවා.

* විනුමි කීය වසරෙද ඉගෙන ගන්නේ?

නව වැනි ශ්‍රේණිය.

* පාසලත් මතක් කළොත්?

කිරිබත්ගොඩ විහාර මහා දේවි විදුහල.

* කොහොමද පාසලෙන් ලැබෙන සහයෝගය?

ගොඩක් හොඳයි. ඉස්කෝලෙ විදුහල්පතිනිය සහ ටීචර්ලා සර්ලගෙන් ප්‍රශංසා ලැබෙනවා. මං ලැබෙන සෑම චිත්‍රපටයක්ම බාර ගන්නේ නැති නිසා අධ්‍යාපන වැඩ කටයුතුවලටත් බාධා වන්නේ නැහැ.

* ධර්ම යුද්ධය රඟපාන්න ගිහින් ගම්පොල අම්බුලුවාව ටවර් එක උඩට නැගපු ඒ ත්‍රාසජනක මොහොත මතකද?

අම්මෝ එදා නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අම්මලත් එදා බිම හිටියේ. මමයි තිසුරි අක්කයි තව කිහිප දෙනෙක් උඩටම ගියා. මං හරි බයයි උඩකට නැගලා බිම බලන්න. එදා නම් මට යන්නම වුණා. උඩට යන්න යන්න හරිම සීතලයි. මාව කෙනෙකු තදින් අල්ලගෙන හිටියා. කැමරාව මගේ දෙසට එනකොට පමණයි මට තනියම ඉන්න වුණේ. එදා නම් බිමට බහිනකම් බයෙන් ගැහි ගැහි හිටියේ. කවදාවත් ඒ මොහොත නම් අමතක වෙන්නේ නැහැ. තිසුරි අක්කත් එක්ක මූණ ඇඹුල් කරගෙන එදා එතනින් බිමට බැස්සා.

* විනුමි නිතරම ෆ්‍රයිඩ්රයිස් ඉල්ලලා අඬනවා කියන්නේ ඇත්තද?

අයියෝ හැමදාම අඬන්නේ නැහැ. ඕනෑ දවසක ඉල්ලනවා. හැබැයි චිත්‍රපටයේදී මට හොඳට බුරියානි නම් කන්න ලැබුණා. බඩ පිරෙන්න බුරියානි කෑවා.

* කවදා හරි නිළියක් වෙන්නද හිතාගෙන ඉන්නේ?

රඟපානවා. කලින් කිව්වා වගේ තෝරා බේරාගෙන තමයි ඒකත් කරන්නේ. කවදා හරි වෛද්‍යවරියක් වෙනවා. ඊට පස්සෙත් බෙහෙත් දෙන ගමන් රඟපානවා.

* පාසලේදී ක්‍රීඩාවේ යෙදෙනවාද?

ඔව්. මට හොඳට චෙස් අදින්න පුළුවන්.

* එතකොට කලා කටයුතු?

නිවේදනයට මං දක්ෂයි. පාසලේ උත්සවවලදී එනවුසිංවලින් දායක වෙනවා.

* විනුමිගේ ගම් පළාතත් මතක් කළොත්?

කැලණිය ගෝනවල.

* පවුලේ විස්තරත් කියමු?

අම්මයි. අප්පච්චියි, මල්ලියි, අත්තම්මයි.