වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




මුනුබුරා සීයාගේ ගී ගයයි

මුනුබුරා සීයාගේ ගී ගයයි

සූර්ය ශංකර් මොල්ලිගොඩ නමැති අපූරු කලාකරුවාව හඳුනනවාද. අඩුම තරමේ අහලවත් තියෙනවාද. සරසවිය කියවන කලාවට ළැදි අපේ පාඨකයින් නම් ඔහුගේ නම අසා ඇති. නව පරපුරේ ගායක ගායිකාවන් නොඅනුමානව සූර්ය ශංකර් ගැන අසාවත් නැතිව ඇති. ඔහු තමයි අක්කෙ අක්කෙ අර බලන්කෝ, කරුණා නදියේ පැද යමු (ටී. පී. ලීලාවතී සමඟ) වැනි ගීත ගැයුවේ. ආනන්ද සමරකෝන් හඳුනා ගැනීමත් සමඟයි සූරිය ශංකර් එම ගීත ගායනා කරනු ලබන්නේ. ඔහු සුනිල් ශාන්තයන්ගේ ද ළඟම හිතවතෙක්. නමුත් අවාසනාවකට සූරිය ශංකර් අකල් මරණයකට ලක් වෙනවා. ඔහු අවසන් ගමන් යන්නේ එක්දාස් නවසිය හතළිහ දශකයේ පමණ. සුනිලුත් ඉමිහිරි සුවදැති මල් ඇයි මෙතරම් හනිකට පර වන්නේ ගීත ගැයුවේ සූරිය ශංකර්ගේ වියෝවෙන් ලද සංවේගයෙන්. සූරිය ශංකර් ගැන කියාගෙන ආවේ ඔහු හා සබැඳි තවත් සිදුවීමක් කියන්න. සූරිය ශංකර් ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. පසුගිය දිනෙක ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආදි ආනන්දයන්ගේ සුහද හමුවක් පැවැත් වුණා. එහිදී කීර්තිමත් ආදි ආනන්දියකු වූ සරසවිය හිටපු කර්තෘ ඒ. ඩී. රංජිත් කුමාර ආදි ආනන්දියන්ගේ ගුණ කථනයක් කළා. සුරිය ශංකර් මොල්ලිගොඩ පිළිබඳව ද එයට ඇතුළත් වුණා. එතැන හිටියා ප්‍රවිණ රූපලාවණ්‍ය ශිල්පි හැරිස් විජේසිංහ. සූරිය ශංකර්ගේ ජීවිත කතාව කියන අතරතුරදී රංජිත් මහත්තයා හැරිස්ව සභාව ඉදිරියට ගෙන්වා ගත්තා. ඒ හැරිස් ලවා සූරිය ශංකර්ගේ ගීත ද්විත්වය ගායනා කර ගැනීමට. ගායනය නුුහුරු වුණත් හැරිස් එම ගීත හරි අපූරුවට ගායනා කළා. එහිදී තවත් රහසක් හෙළි වුණා. ඒ සූරිය ශංකර් කියලා කියන්නේ හැරිස්ගේ පොඩි සීයා කියන කාරණය. ඒ වගේම තව කාරණයක් කිව යුතුයි. සුරිය ශංකර් මොල්ලිගොඩ තමයි එකල ආනන්දයේ ක්‍රිකට් ටීම් එකේ හිටපු විකට් කීිපර්. එහි නායකයා ලෙසට කටයුතු කළේ පසුව කීර්තිමත් දේශපාලඥයකු මෙන්ම නිහඬ සිනමාවේ ප්‍රථම නළුවා වූ ආචාර්ය එන්. එම්. පෙරේරා.