වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




මම පත්තිනිව සොයාගෙන ගියා...

මම පත්තිනිව සොයාගෙන ගියා...

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකා තුෂාරි අබේසේකර

මේ දිනවල හිරු රූපවාහිනියේ සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රි 8.00ට විකාශය වන ‘පත්තිනි’ ටෙලි සිත්තම අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂවරියක වන තුෂාරි අබේසේකර ය. පත්තනියට නව අරුතක් ලබාදෙමින් ඒ අදහස නරඹන්නන් අතරට රැගෙන පැමිණෙන ඇගේ මේ නව නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර ද බොහෝයි. එලෙස ප්‍රතිචාර හිමිවීමට ‘පත්තිනි’ නිර්මාණය වූයේ කෙලෙස දැයි, එහි පසුපස වූ කතාව කුමක්දැයි අපි ඇගෙන් විමසීමු.

“මල් මදනී ප්‍රේම යාදිනී

නිල් නයනී මධුර භාෂිණී

සදනී සාම සාදිනී

කෞමදී දේව දේහිණී

අඹ මලින් උපන්නී - ගිනි අසුන් දරන්නී

රඹ වනින් දිලෙන්නී - මල් යහන් තනන්නී

දිලින්දන් බිලින්ඳන් - ගිලනුන් රකින්නී

සිඟන්නන් යදින්නන් - රැජින්දන් කරන්නී

පත්තිනී... සලඹ පත්තිනී....

මල් පත්තිනී.... සිද්ධ පත්තිනී......”

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය තේමා ගීත අතරින් මතකයේ රඳවන එක් ගීතයක් ලෙස ගිනිය හැකි පත්තිනි ගීතයේ මධුර ස්වරය එකුන් විසි හැවිරිදි කෞමදී සදරංජනා නම් තරුණ කෙවිලියගේයි. තුෂාරි අබේසේකරගේ පදරචනය හා තනුවට සංගීතය නිර්මාණය කරන ලද්දේ මංජුල බණ්ඩාර නම් තරුණ සංගීතවේදියායි.

කවදත් නවකයන්ට අතදෙන තුෂාරි අබේසේකර අධ්‍යක්ෂවරියට ‘පත්තිනි’ නිර්මාණය කිරීමට ආරාධනා ලැබෙන්නේ හිටි ගමන්මයි. ඒ හිරු රූපවාහිනි නාලිකාවෙන්.

“අපට වුවමනයි හොඳ ටෙලි නාට්‍යයක්. ඒක කරන්න ඕනෑ පත්තිනි කතාවෙන්.”

දිනක් හිරු රූපවාහිනියෙන් තුෂාරි අබේසේකරට කතා කරලා කිව්වා. ඒත් එකපාරට ම ඈ පුදුමයටත් පත්වුණා. ඒ ඔවුන් තමා වගේ අධ්‍යක්ෂවරියකට කළ ආරාධනාව ගැන. හිරු කියන වාණිජ රැල්ලට බරවුණු රූපවාහිනියකින් මෙවන් ආරාධනාවක් ඈ කිසිම දිනෙක බලාපොරොත්තු වුණේ නැහැ. ඒත් තුෂාරි අබේසේකර ඒ අභියෝගය භාර ගත්තා.

“ඔව්. මම ඒකට සූදානම්”

ඈ පැවසුවේ බොහෝ කල්පනාබරව. තුෂාරිට ‘පත්තිනි’ ටෙලි නාට්‍යයක් බවට පත් කිරීමට තිබුණේ බොහොම පුංචි කාලයක්. ඒත් ඈ ඒ කාරණය සැලකුවේ විශ්වයෙන් ඈට ලැබුණු තෑග්ගක් විදියට. ඒ ත්‍යාගය ඈ බොහොම සතුටින් භාර ගත්තා.

තුෂාරිගේ සිතේ පත්තිනි හා කාලි ගැන තිබුණේ වෙනස් ම අදහසක්. අනෙක් කාරණය නම් ඈට පත්තිනි හා කාලි කියන්නේ අමුතු චරිත නොවීම. ඇගේ කුඩා කාලය ගොඩනැඟෙන්නේ කොවිල් පරිසරයේ. කෝවිලයි ඇගේ පන්සල, පල්ලිය කියන හැමදේමත් වුණේ. පොඩ්ඩ එහෙ මෙහෙ වුණාම ඈ දුවගෙන ගිහින් කිව්වේ ඉස්කෝලේ දේවමෑණියන්ගේ පිළිමයට. නැත්නම් පත්තිනි හා කාලිට.

“මා ඔවුන් එක්ක මගේ ජීවිතය ගැන ඕනෑ තරම් කතා කරලා තිබෙනවා. ඒ නිසා කුඩා කාලයේ පටන් දේවමෑණියෝ, පත්තිනි මෑණියෝ, කාලිමෑණියෝ මට බොහොම ළඟ සිටින පිරිසක් ලෙසයි මා දුටුවේ. ඒ වගේ ම මා පත්තිනි ගැන සිතන්නේ මා වගේ ම තවත් කාන්තාවක් විදියටයි.”

තුෂාරි පත්තනි ගැන කිව්වේ එහෙම කතාවක්. ඒ හුරුපුරුදු බවට ළං වෙමින් ඈ පත්තනි සොයාගෙන ගියා. එවිටයි ඇයට මුණ ගැසෙන්නේ පත්තිනි, කාලි කියන්නේ එක ම කාන්තාවකගේ වේශයන් දෙකක් බව. ඒ ඔස්සේ සොයාගෙන සොයාගෙන ගියාට පසුවයි තුෂාරිට පත්තිනි නාට්‍යය පිටපතට අවශ්‍ය කළමනා මුණ ගැසෙන්නේ.

“පත්තිනි පිළිබඳ මෙතෙක් ලියැවී තිබෙන පිටපත් ලියැවී තිබෙන්නේ දේවමාතාව ඔළුවේ තබාගෙනයි. මා පිටපත ලිවීමේදී ඒ කාරණය ඔළුවෙන් ඉවත් කළා. ඇගේ තරුණ කාලයෙනුයි මා නිර්මාණය ආරම්භ කරන්නේ. ඒ වගේ ම විවාහයෙන් අනතුරුවයි ඈ දේවතාවියක් බවට පත්වන්නේ. ඈ පෙන්වන ලද පතිභක්තිය ඔස්සේ පත්තිනිය හෙවත් හොඳම පතිනිය බවට පත් වුණා කියලයි කියැවෙන්නේ. ඒ නිසයි අපේ රටේ කාන්තාව ඇතුළු බොහෝදෙනා පත්තිනිට ගරු කරන්නේ. ඇය බොහොම හොඳ ගුණාංග පෙන්වූ කාන්තාවක්. එහෙත් මා ඈ පිළිබඳ සොයාගෙන යනවිටයි දකින්නේ පත්තිනි කියන්නේ බමුණු කාලයේ ගොපලු පවුලක ඉපදුණු කාන්තාවක් බව. ඇගේ ඒ ජීවිතය පිටපතට මා ගෙනෙන්නේ මා සිතන ගොපලු පවුලක හැදුණු වැඩුණු දියණිය හරහායි. ඈ පෙන්වන ගති ලක්ෂණයි මා මේ නිර්මාණයට ගන්නේ. මුල්තැන දී ඇත්තේ ඈ කළ ප්‍රේමය හා ඇගේ ජීවිතය ගොඩනැඟෙන ආකාරයටයි. අපේ මිනිස්සු නොදැක්ක ඈ විසූ වටපිටාවටයි. ඒ පරිසරයේ විසූ මිනිසුන්ගේ ජීවිත, ඒ අතරේ ඈ ගොඩනැඟෙන විදිය හා ඒ මිනිසුන්ට ඈ පෙන්වූ දයාව, ඈ මොන විදියේ කාන්තාවක් ද? යන්න මේ නිර්මාණය හරහා විදහා දැක්වෙනවා. ඒ ඔස්සේ අපට පෙනෙන්නේ ඈ දේවත්වයට පත්වන්නේ අපූරු කාන්තා ලක්ෂණ ප්‍රකට කළ නිසා බවයි.”

මේ සියල්ල පවසන්න ඈ උපයෝගී කර ගන්නේ රූපය. කතා කරන රූප පෙළක් හරහා ඈ පත්තිනිව පුංචි තිරයට ගෙනාවා. ඒ රන්මිහිතැන්න ටෙලි ගම්මානයේ ඉඳගෙන. ටෙලි ගම්මානයේ රූගත කිරීම් කියලා කිව්ව විතරයි එක් එක් අය ඒ දර්ශන තල ගැන පැවසුවේ අසුබවාදී කතා.

“ඒ දර්ශන තලය හරිම කම්මැලියි. ඒකේ කරන්න බැහැ. ඒකේ හරියන්නේ නැහැ.”

ඒ වගේ කතාවලින් තුෂාරිව නතර කිරීමට බැරිවුණේ ඈ ඊට පෙරත් ‘පත්තිනි’ නාට්‍යයට දර්ශන තල සොයන්නට අනුරාධපුරේ විතරක් නොවෙයි ත්‍රිකුණාමලයෙත් ඇවිද්ද නිසා. ඈට මේ පසුතලය ගැන කිව්වේ ඇගේ කලින් නිර්මාණයක සිටි කලා අධ්‍යක්ෂවරයෙක්. තවත් කාලයක් දර්ශන තල සොයන්නට කාලය කාලය මරනවාට වඩා ඈ රන්මිහිතැන්න ටෙලි ගම්මානය තෝරා ගන්නේ හොඳට හෝ නරකට. ඒත් ගම්මානයෙදී ඈට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙන්නේ නොසිතුව ආකාරයෙන්.

“මේ වනවිට ටෙලි ගම්මානය අලුත්වැඩියා කළ යුතු තත්ත්වයකයි තිබෙන්නේ. එය මා දුටුවේ කඩා වැටෙමින්, දිරාපත් වෙමින් යන නගරයක් විදියටයි. එවැනි ස්ථානයක වැඩ කළ හැකි දැයි යන්න මට නැඟුණු මූලික ම ගැටලුවයි. ඒ අභියෝගය මා සාර්ථකව ජයගත් බව සිතෙන්නේ අද රූපවාහිනියෙන් පත්තිනි නරඹන විටයි. ඒ රූපරාමු දකින විටයි. එවැනි රූප පෙළක් මැවීමට මගේ කාර්මික ශීල්පීන් සියලුදෙනා ඇතුළු නළු නිළියන් හා එහි කාර්ය මණ්ඩලයත් මේ කටයුත්තට බොහොම උදවු කළා. ඒ ගැන මේ වෙලාවේ මා අනිවාර්යයෙන් ම සිහිපත් කළ යුතුයි.”

ඒ සහයෝගය මැද්දේ තුෂාරි වෙනස් ම රූප පෙළක් පුංචි තිරයේ මැව්වා. ඒ රූප පෙළ අතර ඒ කාලයේ සිදුවුණු විවිධ දේ තිබුණා. තිරික්කලයේ නැඟ එහාට මෙහාට යන පත්තිනිට තිරික්කලයක් සොයා ගන්න ඔවුන් වුණු මහන්සියක්. අන්තිමට තිරික්කලයක් ගෙනාවේ වීරවිල ප්‍රදේශයෙන්. ඒ තිරික්කලය අදින ගොනා මහලුයි. ගොනා එක්ක තිරික්කලය එන්න කාලයක් ගියා. ඒ වගේ ම තිරික්කලය ඇදගෙන දුවන්න ඒ ගොනාට සවි ශක්තියක් තිබුණේ නැහැ.

“නෝනා මම මේ ගොනයි තිරික්කලෙයි ගෙනාවේ නෝනා නිසා. මේ පළාතකවත් තිරික්කලයක් සොයා ගන්න නැහැ. පුළුවන් නම් වැඩ කරවා ගන්න”

තිරික්කලයත්, ගොනාවත් ගෙනාව කෙනා කිව්වේ ගොනාගේ ශක්තිය ගැන දන්න නිසා. ඒ නිසා සමහර අවස්ථාවල තිරික්කලය ඇදගෙන ගියේ ඔවුන්ගේ ම කණ්ඩායමේ දෙන්නෙක්. ඒ වගක් නරඹන්නන් දැක්කේ නැහැ තමයි. කාලය ගතවෙද්දි අවසානයේ ගොනාත් නිෂ්පාදන කණ්ඩායමේ ම සාමාජිකයෙක් බවට පත්වුණා. අනෙක් අය පැන් සංග්‍රහය රස විඳීද්දි ඌටත් කෙසෙල් ඇවරියක් ලැබුණා. ඒ අධ්‍යක්ෂවරියගේ ඉල්ලීම මත.

“ඒකයි ටෙලි නිර්මාණයක් මායාවක් කියලා කියන්නේ. ඇස් බැන්ඳුමක් කියලා කියන්නේ. මායාව නේ කැමරාව හරහා ලැබෙන රූපයෙන් අප දකින්නේ. එවැනි විදියේ අනන්ත ප්‍රශ්න විසඳ ගැනීමට සිදුවුණේ තීක්ෂණ බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමෙන්. හුඟක් වෙලාවට මගේ කැමරා අධ්‍යක්ෂවරයා පවා සමහර අවස්ථා රූපයට නැඟිය නොහැකි යැයි පැවසූ අවස්ථා තිබුණා. ඒත් ඔහුත් එකඟ කරගෙන මේ නිර්මාණය මා ඉදිරියට අරගෙන ගියා. මේ නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් මා සමඟ වැඩ කළා. මුලින් ම බුද්ධික ඉන්ද්‍රජිත් හා පසුව සුනෙත් හෙට්ටිආරච්චිත් මා සමඟ කටයුතු කරනවා. මගේ පිරිසේ ඉන්න අයගේ සහයෝගයත් එක්කයි මෙවැනි රූප පෙළක් ගැනීමට ගරා වැටුණු නගරයක් ඇතුළේ හැකියාව ලැබෙන්නේ.”

බොහෝදෙනා පත්තිනි නරඹද්දි අහන දෙයක් තිබෙනවා. ඒ මේ ටෙලි නාට්‍යය රූගත කළේ කොහෙද යන්න. හොඳම උදාහරණය ටෙලි ගම්මානයේ සේවය කරන කාර්යමණ්ඩලය.

“එහි සේවය කළ අය සමහර විට මට කතා කරලා අහන්නේ, මැඩම් කොහොමද මේ රූප රාමු ගත්තේ කියලා. ඒ රූප රාමුව තිබුණේ අපේ ගම්මානයේ කොතැනකද කියලා අහන තරමට ඔවුන් පුදුමයට පත්වෙලා. ඒ වගේ ම වෙනත් නරඹන්නන් මගෙන් විමසන්නේ මේ වගේ රූප රාමු තිබෙන්නේ කුමන ප්‍රදේශයක ද යන්නයි. ඒ සියලු දේ මට අසන්නට ලැබන්නේ ඒ කාර්යයට අපගේ තිබුණු අවංකභාවය නිසා බවයි මට සිතෙන්නේ.”

රාත්‍රියේ දර්ශන රැසක් පත්තිනි ටෙලි සිත්තමේ ඇතුළත්. එහෙම කිරිමට අධ්‍යක්ෂවරියට සිදුවුණේ ටෙලි ගම්මානයේ තිබුණු ගැටලුත් නිර්මාණයට යම් බලපෑමක් කළ නිසා. කෝවලන්ගේ චරිතය ගත්තොත් යමන්ගේ යහළුවන් සොයාගෙන ගිය, අභිසාරිකාවන් පසුපස ගිය තරුණයෙක්. ඒ රාත්‍රිය මේ නාට්‍යයට අපූරු සුන්දරත්වයක් ගෙනාවා. ඒ රූගත කිරීම්වලදි තිබුණු එකම ගැටලුව වුණේ සර්පයන්ගේ පැමිණිම. ඒත් රූගත කිරීම් අවසන් වනතුරු කිසිම කෙනෙකුව පත්තෑයකුගෙන්වත් කරදරයක් නොතිබීම සතුටුදායක කාරණයක්.

රාත්‍රියේ ඇසෙන රැහැයියන්ගේ නාදය සමහර වෙලාවට කරදරයක් වුණත් එය රූප රාමුවේ ම කොටසක් විදියට යොදා ගන්න තුෂාරි තීරණය කළා. නොනින්ද අතර ගෙවුණු රාත්‍රි අතර ගයාන්, තාරකා, හිමාලි, ෆර්නි, නිල්මිණී, සරත් ඇතුළු සියල්ලන්ගේ ම ලැබුණු සහයෝගය අප්‍රමාණයි. කොයිතරම් රාත්‍රිය පහන්වෙලා අලුයම දෙක තුන වනතුරු වැඩ කළත්, ඊට පසුවදා උදේ හතවන විට දර්ශන තලයට එන්න ඔවුන් අමතක කළේ නැහැ. නළු නිළියන් හා නිෂ්පාදක කණ්ඩායමත් ඇතුළු හැමෝම වැඩ කළේ තමන්ගේ වැඩක් වගේ. මේ විදියට විවිධ ගැටලු මාධ්‍යයේයි ඔබ සුන්දර නරඹන ‘පත්තිනි’ රූ ගත කිරීම් සිදුවුණේ. එහි අධ්‍යක්ෂණය වගේ ම පිටපත ලියන්නේත් තුෂාරි අබේසේකරමයි.