වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ජේලෝගේ මෝස්තර නිර්මාණ ශිල්පිනිය

ජේලෝගේ මෝස්තර නිර්මාණ ශිල්පිනිය

ලෝක ප්‍රසිද්ධ තරුවල දක්ෂතා පරම්පරාවෙන් පරම්පරාවට යනවා වගෙයි. අමෙරිකානු නිළියක, ගායිකාවක, මොස්තර නිර්මාණ ශිල්පිනියක වන ජෙනිෆර් ලෝපේස්ගේ (ජේලෝ) දියණිය දැන් ඇඳුම් මහන්න පටන් අරගෙන. ජේලෝගේ ආච්චි අම්මත් ඉස්සර හොඳට ඇඳුම් මහපු කෙනෙක්. ජේලෝගේ දියණිය එමේ එයාගේ මී මිත්තණියගේ අඩිපාරේ යනවා වගෙයි.

ජේලෝගේ දියණිය එමේට දැන් වයස අවුරුදු නවයක්. ඇය අවුරුදු කිහිපයක සිට මහන්න පුරුදු වූ බව ජේලෝ පවසනවා. වයස අවුරුදු හයේ පටන් මහන්න පුරුදු වුණු එමේ මහන මැෂින් එකෙන් දැන් ඇඳුම් මහනවාලු.

ඇය තම අම්මා වෙනුවෙනුත් ඇඳුමක් මහලා. ජේලෝ මේ ගැන ඉන්නේ හරිම සතුටෙන්. ඒ වගේම ආඩම්බරයෙන්. "මටවත් හරියට මහන මැෂින් එකේ මහන්න බැහැ" ඇය පවසනවා. එමේ ජේලෝ වෙනුවෙන් මහපු ඇඳුම ටිකක් වෙනස් අමුතු විදියේ එකක්. එහි ඉදිරිපසින් කෙටි ව පිටුපසින් තරමක් දිගයි. ජේලෝ ආසම එමරල්ඩ් වර්ණයෙන් තමයි එය මහලා තියෙන්නේ.

ජේලෝ කියන්නේ පුතා නම් වැඩිය කැමැති අම්මා දිග කලිසම් අඳීනවා දකින්නයි කියලායි. කොහොම වුණත් අම්මා රෑ වෙනකල් සංගීත සංදර්ශනවලට යනවාට මේ දෙන්නාම වැඩි කැමැත්තක් නැහැ. ඇය එන විට දෙදෙනාම නින්දට ගොස් සිටියත් ඇතැම් දිනවල පුතා මැක්ස් පාන්දර තුනටත් දුරකථන ඇමතුම් දීලා "අම්මා කොහෙද ඉන්නේ. ඉක්මනට එන්න" යැයි කියනවාලු.


 හොරෙන් හොරෙන් වෙස් බැන්ඳත්

අමෙරිකානු ගායිකා ටේලර් ස්විෆ්ට මේ පසුගිය කාලයේ හොඳටම කේන්ති ගිහින්. ඇයට මේ තරම් කේන්ති යන්න හේතුව ඇයගේ අලුත්ම ආදර කතාව ප්‍රසිද්ධියට පත්වීමයි. ටේලර් ස්විෆ්ට් තම අලුත්ම ආදර කතාව පටන් අරගෙන තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික නළු ජෝ ඇල්වින් සමඟින්. ජෝ කියන්නේ ටේලර් තරමටම ජනප්‍රිය කෙනෙක් නෙවෙයි.

හැබැයි ඇය මේ ආදර කතාව නම් ආරම්භ කළේ මීට පෙර පැවැති ආදර කතාවලින් පාඩම් ඉගෙන ගෙන බවත් ළඟම හිතවතුන් පවසන්නේ. ඒ නිසාම තමයි මේ අලුත් ආදර අන්දරය රහසක් විදියට තබා ගන්න ඇය උත්සාහ කරන්නේ. නමුත් ඇයට මාධ්‍යයට හොර රහසේ මේ කතාව ගෙන යන්න නොහැකි වෙලා.

ඒ විතරක් නෙවෙයි ඇය ගොඩක් මහන්සි වෙලා තියෙනවා මේ ආදර කතාව රහසක් ලෙසින් තබා ගන්න. ඒ වෙනුවෙන් ඇය ඔහු හමු වෙන්න නිතර ලන්ඩනය බලා ගියේ පුද්ගලික ගුවන් යානයකින්. තම වෘත්තිය කටයුත්තක් වෙනුවෙන් කියා මුලදි සිතුවත් ඇත්ත කුමක්ද කියන එක දැන් කාටවත් රහසක් නෙවෙයි.


වැඩි උනන්දුව කළ බාධාව

හැරී පොටර් චිත්‍රපට මාලාව කිව්වම හැරී සමඟින් සිහියට එන්නේ රැමයිනි ග්‍රේන්ජර් සහ රොන් වින්ස්ලි. ආරම්භක චිත්‍රපටය වූ Harry Potter and the Philosopher's Stone  හි පටන් දැනට නිර්මාණය වුණු චිත්‍රපට අටේම මේ චරිත ප්‍රධානයි. ඩැනියෙල් රැඩ්ක්ලිෆ් හැරීගේ චරිතයට පණ පොවද්දී එමා වොට්සන් රැමයිනිගේ චරිතයටක් රූපට් ග්‍රින්ට් රොන්ගේ චරිතයටත් පණ පෙව්වා.

2001 වසරේදී Harry Potter and the Philosopher's Stone රූගත කරනවිටදී සිදු වූ සිදුවීමක් එමා මෑතකදි සිහිපත් කළා. තමා නිසා එහි අධ්‍යක්ෂ ක්‍රිස් කොලම්බස්ට දර්ශන වාර රැසක්ම නැවත නැවතත් රූගත කරන්න සිදු වූ බව එමා කියනවා. එමාගේ දැන් වයස අවුරුදු 26ක්. මේ සිදුවීම වෙලා තියෙන්නේ ඇයගේ වයස අවුරුදු 10 දීයි.

මෙම චිත්‍රපට මාලාවට පාදක වුණු ජේ. කේ රෝලින්ගේ හැරි පොටර් නවකතාවලට එමාට පුංචි කාලයේ පටන් ලොකු ආසාවක් තිබිලා. ඒ නිසා එහි හැමදෙයක්ම ඇයගේ මතකයේ හොඳීන් තැන්පත් වෙලා. ඒත් එක්කම උනන්දුව වැඩිකමට රූගත කරනවිටදි එමා තමන්ගේ දෙබස්වලට අමතරව හැරීගේ සහ රොන්ගේ දෙබසුත් මුමුණන්න පටන් අරන්. ඒ හැම අවස්ථාවකදීම අධ්‍යක්ෂවරයාට "කට්" "කට්" කියන්න සිදු වෙලා. සමාව අරගෙන ටික වෙලාවත් හිටියත් එමාට ඒක ආයෙමත් අමතක වෙලා. මේ නිසා අධ්‍යක්ෂවරයාට රූගත කිරීම් වාර රැසක් සිදු කරන්නත් වෙලා.


බියොන්සේ Lion King සමඟ

 

1994 වසරේදී තිරගත කෙරුණු The Lion King චිත්‍රපටය නව නිෂ්පාදනයක් කරන්න ඩිස්නි ආයතනය තීරණය කරලා. අලුත් චිත්‍රපටයට කලින් හොලිවුඩ් සුපිරි තරුවක වන බියොන්සේත් එක් වෙන්න සූදානම්. ඇය හඬකවන්න නියමිත එහි නාලා නම් චරිතයට වෙනුවෙනුයි.

හැබැයි තවම ඇය තම කැමැත්ත ප්‍රකාශ කරලා නැහැ. මේ වන විට ඇය නිවුන් දරුවන් බිහි කිරීමේ සූදානමකින් සිටින්නේ. නමුත් ඩිස්නි ආයතනය නම් කියන්නේ මෙහිදී හඬ දායකත්වය පමණක් නිසා ඇයට එය බාධාවකින් තොරව කිරීමට හැකිවනු ඇති බවයි. 2013 වසරේදී Epic චිත්‍රපටයයේ ටාරා රැජනගේ චරිතය වෙනුවෙන් හඬ දායකත්වය ලබා දුන් පසුව ඇයගේ දායකත්වය ලැබෙන්නේ ඊඩඥ Lion King නව චිත්‍රපටය වෙනුවෙන්.

1994 වසරේදී ඊඩඥ Lion Kingහි නාලාගේ චරිතයට හඬ දායකත්වය ලබා දුන්නේ, මෝරියා කෙලී විසින්. එහිදී මැතිව් බ්‍රෝඩෙරික් සිම්බාගේ චරිතයටත්, ජෙරමි අයන් ස්කාර්ගේ චරිතයටත්, ජේම්ස් අර්ල් ජෝන්ස් මුෆාසාගේ චරිතයටත් හඬ දායකත්වය දුන්නා. නව නිර්මාණයේ සිම්බා වෙනුවෙන් හඬ දායකත්වය ලබා දෙන්නේ ඩොනල්ඩ් ග්ලෝවර් විසින්.


කපිතාන් ජැක් ස්පැරෝස් පසුබෑමක

Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ නවතම දිගහැරුම Dead Men Tell No Tales සමඟින් ජොනි ඩෙප් වෙත මේ දිනවල වැඩි අවධානයක් එල්ල වෙලා.

ඒත් ඉතින් හොලිවුඩයෙන් ආරංචිවෙන්නේ ඔහුට මේ දිනවල නඩු ගොඩක් වැටී ඇති බවයි. කලින් බිරියට බැණ වැදීමට විරුද්ධවත් ඔහුට නඩුවක් ගොනු වුණා. ඒ නිසා ඔහුගේ ප්‍රතිරූපයට යම් පමණක හානියක් වෙලා කියලත් ඇතැමුන් පවසනවා.

තමන්ගේ අලුත්ම චිත්‍රපටය තිරගත වෙන්න සූදානම් වුණත් ඔහු වෙතින් ඉතාමත් වෙහෙසකර ගතියක් පෙනෙන බව බොහෝ දෙනාගේ අදහසයි.

සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තික මිනියෙකුගේ වාර්ෂික ආදායම ජොනී ඩෙප් සිය මාසික වයින් වියදම ලෙසින් වැය කරන බවත් ප්‍රසිද්ධයි. පසුගිය කාලයේ ඔහුට හිතා ගන්නවත් නොහැකි ලෙසින් ඔහුගේ වියදම් ඉහළ ගිහින්.

මේ වෙනකොට ඔහු මූල්‍ය අතින් තරමක පසුබෑමක් ඇති වී තිබෙන බව ආරංචි වෙනවා. ඒ නිසා මේ සුපිරි තරුව තම කළමනාකරුවන්ට විරුද්ධව නඩු මඟට බැහැලා.

ඒ තම මුදල් නිසි ලෙස කළමනාකරණය නොකළ බවට චෝදනා නඟමින්. මෙම කළමනාකාරවරුන්ද ජොනීට විරුද්ධට නඩු පවරලා. මේ නිසා ඔහු තම ජීවිතයේ පසුබෑමකට ලක් වී ඇති බව පවසනවා.