වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ ඇඟ දැකලා මට පිස්සු හැදුණා

ඒ ඇඟ දැකලා මට පිස්සු හැදුණා

සිංහල සිනමාවේ ආර්නෝල්ඩ් ස්වසනගර්

තිලක් ජයවීර

තිස්පස් වසරක කලා දිවිය සමරයි

කැලෑ කෙල්ල සිනමාපටයෙන් රිදී තිරයට සැපැමිණි තිලක් ජයවීරගේ කලා ජීවිතයට වසර තිස් පහකි. ඒ වෙනුවෙන් කාර්යයන් ද්විත්වයක් ඔහු හෙට දවසේ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය. ඉන් පළමුවැන්න වනුයේ තිලක් නිෂ්පාදනය කරන නවතම සිනමාපටයේ වැඩ කටයුතු ආරම්භවීමයි. දෙවැන්න ඔහු තම කලා ජීවිතයේ තිස් පස් වසර සමරමින් පවත්වන විශේෂ උත්සවයයි. එහිදී තිලක් තෝරාගත් කිහිප දෙනෙකුට සම්මාන ප්‍රදානයක් ද සිදු කිරීමට නියමිතය. මේ කරුණු කාරණා සහ තිලක්ගේ කලා ජීවිතය අරබයා අපි සාකච්ඡාවක් කෙරුවෙමු.

තිලක්, ඔබ කලා ලොවට ඇවිත් වසර තිස් පහක් සපිරෙනවා. මොකද හිතෙන්නේ?

ඇත්තට කාලය ගියා තේරුණේම නැහැ. මගේ පළමු චිත්‍රපටයේ සිට මේ දක්වා රඟපාපු සෑම චිත්‍රපටයක් ගැන සලකලා බලද්දී මට සතුටු වෙන්න පුළුවන්. මොකද මට එකිනෙකට වෙනස් චරිත රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබුණා. ඒක රංගන ශිල්පියකුට ලැබෙන විරල අවස්ථාවක්.

කැලෑ කෙල්ල සඳහා කවුද ඔබට අවස්ථාව දුන්නේ?

අනෙක් බොහෝ රංගන ශිල්පීන් වගේ මං චරිත හොයාගෙන ගියේ නැහැ. මේක මට ලැබුණු ආරාධනාවක්. මං අසූව දශකයේ මුල ශ්‍රී ලංකා අයෝමය සූරයා වුණා. එහෙයින් මං ඒ ජයග්‍රහණයත් එක්ක යම් ප්‍රසිද්ධියක් ලැබුවා. ඒ ඔස්සේ තමයි බර්නාඩ් රෙජිමෝල්ඩ් මහතාට මං ගැන දැනගන්නට ලැබිලා තියෙන්නේ. ඔහු මාව සොයාගෙන තෙවතාවක් අපේ ගෙදර ආවා. නමුත් මම නැහැ. ඔහු හතරවැනි වතාවේ ආවාම තමයි අපි මුණ ගැසුණේ. ඒ හමුවීමෙන් පසු ඔහු මට කැලෑ කෙල්ල සිනමාපටයේ රංගන අවස්ථාව දුන්නා. මං එහි රඟපෑවේ ප්‍රධාන චරිතයක්. පළමු සිනමාපටයෙන්ම මං ගොඩක් ජනප්‍රිය වුණා. වැල නොකැඩී සිනමාපට සඳහා ආරාධනා ලැබුණා.

තිලක් ජයවීර කියන නම වඩාත් ජනප්‍රිය වුණේ ඇගේ වෛරය චිත්‍රපටයෙන් නේද?

තිත්ත වුණත් ඒක තමයි ඇත්ත. ඒකෙන් තේරෙන්නේ බැන බැන වුණත් ඒ සිනමාපටය බැලුවා කියන එකනේ. මං එතකොට කැලෑ කෙල්ල, මව්බිමේ වීරයෝ, සල්ලි තිබුණට මදි වගේ සිනමාපට කිහිපයක රඟපාලා තිබුණා. මා එතෙක් ලැබූ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වුණා ඇගේ වෛරයේ රඟපෑවයින් පසුව.

චිත්‍රපට කරන්න ගිහින් මුහුණ දුන් බිහිසුණු අවස්ථා කිහිපක්ම ඔබේ රංගන ජීවිතය තුළ තිබෙනවා?

ඒ ගැන මතක් කරන කොටත් ඇඟේ ගිරිහඬු පිපෙනවා. මං නිෂ්පාදනය කළ පළමු සිනමාපටය වුණේ යුද ගිනි මැද. එය රංජිත් සිරිවර්ධනගේ අධ්‍යක්ෂණයක්. මං එහි රඟපෑවේ මගේ දුවත් එක්ක හෙලිකොප්ටරයකින් යන ගමන් වතුරකට පනින දර්ශනයක් තිබුණා. දුවත් එක්කමයි ඒකත් තිබුණේ. වෙන තාත්තා කෙනෙක් නම් කීයටවත් මේ වගේ වැඩක් කරන්නේ නැහැ. දෙවියන් සිහි කරගෙන හෙලිකොප්ටරයෙන් පැන්නා. වාසනාවට මුකුත් වුණේ නැහැ. මෙවන් දර්ශනයකට කිසිම අන්දමකින් වෙනත් කෙනෙකුගේ ළමයකු දෙන්නේ නැහැ. ඒකයි මගේ දුවම ගත්තේ. හිත හොඳ ගැහැනියක් රූපගත කරද්දී මං ගිය ජීප් එක පෙරලුණා. ඒක අවධානම් මඟක තිබුණේ. මං කිව්වා ජීප් එක ඒ පාරේ ගියොත් පෙරළෙනවා කියලා. කවුරුවත් ඒක ඇහැව්වේ නැහැ. අන්තිමේ ජීප් එක පෙරලුණා. ඒත් නියපොත්තක තරම්වත් හානියක් මට වුණේ නැහැ. කැලෑ කෙල්ල රූපගත කරද්දි පිඹුරෙක් මගේ අත හපා කෑවා. උගේ විස නම් නැහැ, හැබැයි කැලල කාලයක් අතේ තිබුණා.

ඔබ කොහොමද කායවර්ධනයට යොමු වුණේ?

ඒක පිටුපසත් රස කතාවක් තියෙනවා. මං කියන ඔය අසූව දශකයේ අද තරම් තරුණයෝ කායවර්ධනයට යොමු වුණේ නැහැ. මං කොහොමත් පුංචි කාලේ ඉඳලා පික්චර් පිස්සා. දෙස් විදෙස් බොහෝ චිත්‍රපට නරඹන්නට මට අවස්ථාව ලැබුණා. සැම්සන් ඇන්ඩ් ඩිලයිලා කියන චිත්‍රපටය මට ඔය අතරේ නරඹන්නට ලැබුණා. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ වික්ටර් මේචර්. ඔහුට මනා පිරිපුන් ඇඟක් තිබුණා. ඔහු නියම බොඩි බිල්ඩර් කෙනෙක්. ඔහුගේ ඇඟ දැකලා මට පිස්සු හැදුණා. අන්න එතැන් පටන් තමයි මං මගේ ඇඟ හදන්න පටන් ගත්තේ.

ඒ සඳහා කොපමණ මුදලක් මේ වන විට වැය කරලා තියෙනවාද?

කායවර්ධනයට මං වැය කරපු මුදල් කොච්චර ද කියලා කිව්වොත්, ඒ මුදල් ඉතිරි කළා නම් බම්බලපිටියේ තට්ටු පහක බිල්ඩිමක් ගහන්න තිබුණා.

හරි, දැන් ඔබේ සම්මාන උලෙළ ගැන කතා කරමු. ඇයි මෙවන් දෙයක් කරන්න හිතුවේ?

ඊට කලින් මට පොඩි කාරණයක් කියන්න තියෙනවා. මං අනූ අටේදී විදෙස් ගත වෙනවා. ඒ යුද ගිනිදැල් චිත්‍රපටයෙන් මට වෙච්ච පාඩුව දරා ගන්න බැරුව. ගාමිණී වේරගම මහත්තයා එකල මට කිව්වා චිත්‍රපටය සම්භාව්‍ය පස්වැනි මණ්ඩලයට දාන්න කියලා. ඒත් මං අපේම ක්ෂේත්‍රයේ කෙනෙකුගේ ලණුවක් කාලා වෙනත් සර්කිට් එකකට චිත්‍රපටය දාලා ඇනගත්තා. අන්තිමේ වුණේ මට රට දාලා යන්න වෙච්ච එක. වසර දෙකකට කලින් මං ආපසු ආවා. ඇවිත් යළි ක්ෂේත්‍රයට එකතු වුණා. දැන් මං ඔබ අහපු පැනයට පිළිතුරු දෙන්නම්. මට මේ කෂේත්‍රයේ ඉදිරියටම යන්න තල්ලුව දුන්නේ මගේ අම්මා. ඇය දැන් වයෝවෘද්ධයි. ඇයවත් ගෙන්වගෙන මගේ මගේ කලා ජීවිතය සමරන්න හිතුවා. මෙහිදී මං ඇයට සම්මානයක් ලබා දෙනවා. ඒ වගේම මගේ සහෝදරයා ලලිත් ජයවීරටත් උපහාර තිළිණයක් ලබා දෙනවා. මේ කරුණු හේතුවෙනුයි මෙවැනි උලෙළක් තියන්න හිතුවේ.

ඔබේ අලුත් චිත්‍රපටය ගැන සඳහනක් කළොත්?

ඒකෙ නම වෘක දඩයම. කුමාරසිරි අභයකෝන් තමයි අධ්‍යක්ෂණය කරන්නේ. මගේ සැමරුම් උත්සවයට පෙර වෘක දඩයම හි මුහුරත් උලෙළ පවත්වනවා.