වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




රුක්මණී සංගමයේ නව නිලධාරීන්

රුක්මණී සංගමයේ නව නිලධාරීන්

රුක්මණී දේවි අනුස්මරණ සංගමය සිය තිස් වන වසර සඳහා නිලධාරීන් තේරීම පසුගියදා සුදර්ශී ශාලාවේදී සිදු කෙරිණි.

මෙහිදී තේරී පත් වූ නිලධාරින් මෙසේය.

නිර්මාතෘ සභාපති හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්, කෘත්‍යාධිකාරී සහ ගණන් පරීක්ෂක සිරිමා ඇනස්ටා මර්සලින්, සභාපති එඩ්වින් පෙරේරා, දෙවන පෙළ සම සභාපති ඒ. ඩී. රාණි චන්ද්‍රිකා, උප සභාපති පාලිත පෙරේරා, ලේකම් මංගලිකා පෙරේරා, උප ලේකම් සහ සහාය සංවිධායක නිර්මලී කරුණාරත්න, භාණ්ඩාගාරික හා සම්බන්ධී සම්බන්ධීකරණ ඊ. ජී. ඒ. චිත්‍රා කාන්ති, උප භාණ්ඩාගරික පුෂ්පා වික්‍රමසිංහ, ප්‍රධාන සංවිධායක සුසිල් වික්‍රමසුරිය, මාධ්‍ය සම්බන්ධිකරණ මංගල පෙරේරා, කලාකරු අවමංගල්‍ය සම්බන්ධීකරණ මොහමඩ් මොහිදින්, ඡායාරූප ශිල්පී ආනන්ද සෝමසිරි මහත්ම මහත්මීන්.

සිනමා නිළි ජ්‍යෙතිෂවේදී එඩ්නා සුගතපාල, ග්‍රන්ථ කතුවරන් වන සේනක ජයතිලක සහ එල්. ආර් මෙන්දිස් මහත්ම මහත්මීන් අනුශාසකවරුන් ලෙසින් පත් කරගෙන ඇත.


පැතුම් සඳැල්ල 27 වැනිදා

ජාතික තරුණ සේවා සභාවේ ගායන ශිල්පී ජයන්ත සෙනවිරත්නගේ තුන් සිතක ගී ප්‍රසංගය 'පැතුම් සඳැල්ල' මෙම මස 27 වැනිදා සවස මාපලගම විපුලසාර සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මේ සඳහා ජයන්ත සමඟ විශාරද සෝමසිරි මැදගෙදර, අතුල ශ්‍රී ගමගේ ගායනයෙන් එකතු වනු ඇත. මෙදින සහන් චින්තක ප්‍රමුඛ වාද්‍ය වෘන්දය ප්‍රසංගය සංගීතයෙන් රසවත් කරනු ඇත. නර්ථනය විපුලසාර සංස්කෘතික මධ්‍යස්ථානයේ නර්ථන කණ්ඩායමෙනි. දකුණු ලක ගාලු පුරවරයෙන් ගායන ලොවට පිවිසි ජයන්ත මාපලගම මධ්‍ය මහා විද්‍යාලයේ සහ ගාල්ල නාගොඩ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව ජාතික තරුණ සේවා සභාවට එකතු වූ ඔහු එහිදී විශාරද නිහාල් ගම්හේවා, මහාචාර්ය දයා රත්නසේකර සහ ෂර්ලි වෛජයන්ත ආදීන්ගෙන් ගායනය පිළිබඳ හැදෑරීය. අනතුරුව ජාතික තරුණ සේවා සභාවේ සංස්කෘතික අංශයට සම්බන්ධ වූ ජයන්ත යොවුන් ගී, තුරුණු ශක්ති, තුරුණු තරු, තරුණ යාත්‍රා ආදී සංගීත වැඩ සටහන්වලදී ගායන ශිල්පියකු වශයෙන් සිය හැකියාව ප්‍රකට කළේය. ඔහු මේ වන විට ජාතික තරුණ සේවා සභාවේ මාධ්‍ය සංසදයේ ද ක්‍රියාකාරී සාමාජිකයකු ද වේ.

ජයන්තගේ පළමු පැතුම් සැඳැල්ල ප්‍රසංගය පැවැත් වූයේ සිය උපන් ගම වූ මාපලගමය. ඉන්ලද පන්නරය මත ඔහු එම ප්‍රසංගයේ අදියරයන් කිහිපයක් රට වටා පැවැත් වීය. මෙවර පැතුම් සඳැල්ල සඳහා නව ගී නිර්මාණ කිහිපයක් ද අන්තර්ගතව ඇත. ඒවා ලලිත් වසන්ත, චන්න ජයනාත්, ධර්මරත්න පෙරේරා, සුනිල් ආර්. ගමගේ විසින් රචනා කොට තිබේ. සංගීත අධ්‍යක්ෂණයෙන් ජයසිරි අමරසේකර, විශාරද නිහාල් ගම්හේවා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සහ ජෝර්ජ් සේනානායක දායක වී තිබේ.


හීන ගානේ ගීතය රුවින්ගේ අලුත් ගීතය ළඟදීම

නව පරපුරේ ගායන ශිල්පී රුවින් මාලදෙනියගේ හීන ගානේ ගිතය තව නොබෝ දිනකින් එළි දැක්වීමට නියමිතය. ඔහු මේ වන විට එහි පූර්ව ප්‍රචාරක පටය අන්තර් ජාලයට එකතු කොට තිබේ. ඒ සඳහා නොසිතුවිරූ අන්දමින් ප්‍රතිචාර ලබමින් මේ වනවිට අති විශාල පිරිසක් නරඹා ඇතිවග රුවින් අප වෙත සඳහන් කොට සිටියේය.

හීන ගානෙ ගීතයේ පද රචනය ශෙහාන් ගලහිටියාවගෙනි. සංගිීතය ඩිරාන් විජයසිංහගෙනි. රූප රචනයේ අධ්‍යක්ෂණය සහ සංස්කරණය මේඝ කාවින්ද කොළඹගේ විසින් සිදු කොට ඇත. කැමරාව රංග එස්. බණ්ඩාරගෙනි. එය ක්‍රියේටිව් ෆෝර්ස් ආයතනයේ ඉදිරිපත් කිරිමක් වේ.


සම්ප්‍රදායික කලාව සුරැකිමේ වැඩ පිළිවෙලක්

ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කෙරෙන සාම්ප්‍රදායික කලාව මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ හා යළි සමාජගත කිරීම අරමුණ පෙරදැරිව විධිමත් වැඩ පිළිවෙළක් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සංස්කෘතික හා සුබසාධන පදනම කටයුතු යොදා ඇත.

මෙහි මූලික පියවර ලෙස කලා නිර්මාණ හා කලාකරුවන්ගේ තොරතුරු මෙන්ම හෙළ කලාවේ උරුමයන් පිළිබඳ කරුණු ඇතුළත් මාසික සාහිත්‍යමය කලා පුවත්පතක් ළඟදීම එළිදැක්වීමට මෙම සංවිධානයේ විධායක සභාව විසින් කටයුතු යොදා ඇත.

ඉතිහාසය හා සබැඳි හෙළ සංස්කෘති, කලාව ජාතික උරුමයන් හා අපේකම වත්මන් සමාජයෙන් ගිලිහී යන මොහොතක එය යළි සමාජගත කිරීම මෙම සාහිත්‍යමය කලා පුවත්පතින් සිදුවන අති විශිෂ්ට මෙහෙවරක් වනු ඇතැයි එහි ලේකම් ලෙස්ලි ඒකනායක මහතා පවසයි.

එළඹෙන ජූලි මස මැද භාගයේදී කලඑළි දැක්වීමට කටයුතු යොදා ඇති මෙම පුවත්පතෙහි පල කිරීම සඳහා පාඨක ජන සමාජයට අවස්ථාව ලබා දී ඇති බැවින් කෙටි කතා, කවි, ජනකවි, ජන ගායනා, චිත්‍ර කථා, ප්‍රාදේශීය කලා තොරතුරු හා වෙනත් කලා නිර්මාණ මේ සඳහා යොමු කළ හැක. මේ සඳහා ප්‍රාදේශීය නියෝජිතවරුන් ද බඳවා ගැනීමට එහි සංස්කාරක මණ්ඩලය තිරණය කොට තිබේ.

සියලුම නිර්මාණ සෑම මසකම 15 වෙනි දිනට පෙර ලේකම්, සංස්කෘතික සුභසාධක පදනම, මාධ්‍ය ඒකකය, තැ. පෙ. 21, මාවනැල්ල යන ලිපිනයට යොමු කළ හැකිය.


පැණි මකුළුවෝ මංගල දර්ශනය


ඉසුරු වීරසිංහ අධ්‍යක්ෂණය කළ පැණි මකුළුවෝ' චිත්‍රපටයේ මංගල දර්ශනය කොළඹ රීගල් සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්විණි. මේ එහි අවස්ථා කිහිපයකි. පැණි මකුළුවෝ යූ. ඒ. පල්ලියගුරුගේගේ නිෂ්පාදනයකි.


‘සිකුයුරිටි සින්න තම්බි’ දෙවර්ෂ පූර්ණය දා

අශෝක සෙනරත් මුදලිගේ ‘සිකුයුරිටි සින්න තම්බි’ වේදිකා නාට්‍යයේ දෙවර්ෂ පූර්ණ රංගනය සිහිපත් කරමින් පැවැත්වුණු සම්මාන උලෙළ හා සින්නතම්බිගේ චරිතය රඟපෑ නළු දීපාල් සිල්වා උපහාරයක් වශයෙන් පැවැතුණු උපහාර උළෙලක් පසුගියදා සුදර්ශියේදී පැවැත්විණි.

එහිදි ‘සිකුයුරිටි සින්න තම්බි’ වේදිකා නාට්‍යයේ රඟපෑ සියලු ම නළු නිළියන්ට සම්මාන පිදීම සිදු කළ අතර විශේෂ සම්මාන තුනක් ද මේ වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂ අශෝක සෙනරත් මුදලිගේ විසින් පිරිනමන ලදී. ඒ අනුව 57 වසරක් කලා කටයුතුවල නියැළී සිටින සඳුන් විජේසිරිටත්, 50 වසරක් කලා කටයුතුවල නියැළී සිටින ප්‍රසන්න ෆොන්සේකාටත්, ‘සාජන් සින්නතම්බි’ නාට්‍යයේ පළමුවරට හා අවසන් වරට රඟපෑ ප්‍රවීණ සටන් නළු විල්සන් කරුණාරත්නටත් ඒ සම්මාන පිදිණි.

ඡායාරූපවලින් දැක්වෙන්නේ දීපාල් සිල්වාට හිමි සම්මානය ඔහුගේ බිරිය කුසුම් සිල්වා විසින් යොවුන් නිළියක වන සෙනාලි ෆොන්සේකා අතින් ලබා ගන්නා අයුරු හා ප්‍රවීණ සටන් නළු විල්සන් කරුණාරත්න විසින් අශෝක සෙනරත් මුදලිගේ අතින් ලබා ගන්නා අයුරුයි.