වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




අන්තර්ජාල කොල්ලකරුවෝ මුහුදු කොල්ලකරුගෙන් කප්පම් ඉල්ලති

අන්තර්ජාල කොල්ලකරුවෝ මුහුදු කොල්ලකරුගෙන් කප්පම් ඉල්ලති

Pirates of the Caribbean ලොවපුරා හොලිවුඩ් සිනමා රසික රසිකාවන් ඉතාමත් ආසාවෙන් නැරඹූ චිත්‍රපට මාලාවක්. ජෙරී බර්ක්හෙමියර් විසින් නිෂ්පාදනය කළ එහි චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙක් අතින් අධ්‍යක්ෂණය වී තිබෙනවා. ගෝර් වින්ස්කි විසින් පළමු, දෙවන සහ තෙවන චිත්‍රපට අධ්‍යක්ෂණය වු අතර සිව්වැන්ත රොබ් මාර්ෂල් විසින් අධ්‍යක්ෂණය කෙරුණා. කැරිබියන් මුහුදේ මංකොල්ලකරුවන් ගැන කියන මෙම චිත්‍රපට මාලාවේ දැනට නිර්මාණය වී ඇති චිත්‍රපට පහ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1364ක් වැය කර ඇති අතර තිරගත වී ඇති චිත්‍රපට හතරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 3729ක්. මෙයට ලොව ඉහළම ආදායම් ලද චිත්‍රපට මාලා අතරේ එකොළාස් වැනි ස්ථානය හිමි වී තිබෙනවා.

Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ පළමු වැන්න The Curse of the Black Pearl  තිරගත කෙරුණේ 2003 වසරේදීයි. අනතුරුව පිළිවෙලින් Dead Man's Chest 2006 වසරෙදීත් At World's End 2007 වසරේදීත් On Stranger Tides 2011 වසරේදීත් තිරගත කෙරුණා.  The Curse of the Black Pearl  චිත්‍රපටය IMDB දර්ශකයේ ලකුණු 8/10ක් ලබා ගත්තා. මෙම චිත්‍රපට මාලාව ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලැබුවත් විචාරක අවධානය නම් එකින් එක පිළිවෙලින් පසුබැසීමක් දකින්න ලැබුණා.

මෙම චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය වන්නේ මුහුදු මංකොල්ලකරුවකු වන කපිතාන් ජැක් ස්පැරෝගේ චරිතය යි. එයට පණ පොවන්නේ සුප්‍රකට හොලිවුඩ් නළු ජොනි ඩෙප් විසින්. ජෙෆ්‍රී රෂ් කපිතාන් බාබෝසාගේ චරිතයත්, ඔර්ලන්දෝ බ්ලූම් විල් ටර්නර්ගේ චරිතයත්, කෙයිරා නයිට්ලි එලිසබෙත් ස්වෝන්ගේ චරිතයටත්, බිල් නෙගී ඩේව් ජෝන්ස්ගේ චරිතයත්, ටොම් හොලන්ඩර් කට්ලර් බෙකට්ගේ චරිතයත් නිරූපණය කරනවා.

17 වැනි ශත වර්ෂයේ අගභාගයේදී මුහුදු ගමනකදි ආණ්ඩුකාර ස්වෝන් සහ ඔහුගේ කුඩා දියණිය එලිසබෙත් හට විනාශ වූ නැවක සිට විල් නම් කුඩා පිරිමි ළමයෙක් හමු වෙනවා. කාලයකට පසු එලිසබෙත් සුන්දර තරුණියකව සිටියදි වරායට පැමිණෙන මුහුදු මංකොල්ලකරුවන්ගේ නැවක් මගින් ඇය පැහැරගනු ලබනවා. මෙහිදී විල්, ජැක් ස්පැරෝ නම් කපිතාන්වරයා සමඟ එක් වෙන්නේ, තම පෙම්වතිය එලිසබෙත් බේරා ගැනීමටයි. ඇය සාපලත් කපිතාන් බාබෝසා විසින් පැහැරගෙන ඇති අතර විල් ජැක් සමඟින් ඇය බේරා ගැනීමට පැමිණේ.

පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ කට්ලර් බෙකට් විසින් එලිසබෙත් හා විල් අත්අඩංගුවට ගැනීම සමඟින් දෙවැන්න Dead Man’s Chest චිත්‍රපටය ඇරඹේ. ඔවුන් හා විල් ගිවිසුමකට එළඹෙන්නේ, කපිතාන් ජැක් ස්පැරෝගේ මාලිමාව ගෙනවිත් දුනහොත් එලිසබෙත් හා ජැක් නිදහස් කරන බවටයි. එම මාලිමාවේ විශේෂත්වය නම් එය ඩේව් ජොන්සන්ගේ හදවත දෙසට හැරී තිබීමයි. ඩේව් ජොන්සන්ගේ හදවත සතුකර ගන්නා පුද්ගලයාට මෙලොව පිහිටි මුහුදු සියල්ලේ පාලන බලය හිමිවන බවට මතයක් වේ. වසර දහතුනකට පෙරාතුව ජැක් බ්ලැක් පර්ල් නැවේ කපිතාන්වරයකු බවට පත් කරන ලද්දේ ඩේව් ජොන්සන් විසිනි. ඩේව් ජොන්සන්ගේ හදවත ජැක් හටද අවශ්‍ය වන්නේ එය යළිත් ඩේව් ජොන්සන් වෙත භාර දී පෙර ණයක් ගෙවා අවසන් කිරීමටයි.

තෙවැන්න Pirates of the Caribbean: At World's End  හිදී කට්ලර් බ්‍රෙකට් විසින් බලය අල්ලා ගැනීම සමඟින් විල්, එලිසබෙත් හා බ්ලැක් පර්ල් නැවේ පිරිස සිරකර සිටින ජැක් ස්පැරෝ බේරා ගැනීමේ සටනක නියැළෙනවා. 2011 වසරේදී තිරගත කෙරුණු n Stranger Tides හි ඇතුළත් වන්නේ, සදාකල් තරුණකම රැක ගැනීමට හැකි වතුර මල සොයා යන ගමනේ ත්‍රාසජනක කතාවයි. එහිදී ජැක්හට ඔහුගේ පැරණි පෙම්වතිය ඇන්ජලීනා හමුවන අතර මෙම වතුර මලෙහි බලයෙන් මුහුදු මංකොල්ලකරුවකු වූ තම පියාගේ අසනිප තත්ත්වය සුව කර ගැනීම ඇයගේ අභිප්‍රාය බව පවසනවා. බාබෝසා මෙන්ම ජෝර්ජ් රජුගේ හමුදා සේනාංකයද මෙම වතුර මල සොයා පැමිණේ.

හෙට (මැයි 26) සිට තිරයේ දිග හැරෙන්නේ, යක්ෂයාගේ ත්‍රිකෝණයෙන් බේරී අල්මන්දෝ සලසාර්, ජැක් සොයා පැමිණෙන කතාවයි. අල්මන්දෝගේ අරමුණ වන්නේ, ලොව සියලු මුහුදු මංකොල්ලකරුවන් නසා මුහුදු සීමාවේ තම බලය පැතිරවීමයි. ඔහුගෙන් බේරිමට නම් ජැක් මුහුද පාලනය කළ හැකි බලගතු වස්තුව ලබාගත යුතු වෙනවා. මේ අතරේ විල් ටර්නර්ගේ පුතා හෙන්රි ටර්නර්ගේ අරමුණ වන්නේ තම පියා සාපයෙන් මුදවා මව කරා රැගෙන යාමයි. ජැක්හට සිදු වන්නේ කුමක්ද සේම හෙන්රි ටර්නර්හට තම පියා සාපයෙන් මුදවාගත හැකි වේවිද යන්න විසඳුම Pirates of the Caribbean රසික ඔබට හෙට දිනයේදී ලැබෙනු ඇත. මෙම Pirates of the Caribbean නවතම චිත්‍රපටය ච්ඥචඤ ර්ඥද ඊඥතත ව්ධ ඊචතඥඵ ලෙස නම් වී ඇත.

සුපුරුදු පරිදි මෙහිද ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ සුප්‍රකට නළු ජොනී ඩෙප් විසිනි. නව චරිත ලෙසින් අල්මන්දෝ සල්සාර්ගේ චරිතයට ජේවියර් බ්‍රැන්ඩෙම්, හෙන්රි ටර්නර්ගේ චරිතයට බ්‍රෙන්ටන් තවෙයිට්ස් පණ පොවනවා. Dead Men Tell No Tales චිත්‍රපටය නිෂ්පාදන කටයුතු වෙනුවෙන් මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 320ක් වැය වී ඇති අතර එය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, ජෝෂිම් රොනින් සහ එස්පන් සැන්ඩ්බර්ග් විසිනි. විචාරක අදහස නම්, Pirates of the Caribbean:Dead Men Tell No Tales එහි වියදම ඉතා පහසුවෙන් පියවනු ඇති බවයි.

එසේම Pirates of the Caribbean: Dead Men Tell No Tales  පසුගියදා බරපතළ අර්බුදයකට මුහුණ දුන් බවත් ආරංචියි. ලොවපුරා රටවල් රැසකට එල්ල කෙරුණු දරුණු සයිබර් ප්‍රහාරයට ඩිස්නි සමාගමත් ගොදුරු වීම සමඟින් Dead Men Tell No Tales  චිත්‍රපටය ලොවපුරා තිරගතවීමට පෙර මුදා නොහැරීමට නම් අන්තර්ජාල හැකරුන් කප්පම් ලෙස විශාල මුදලක් ඉල්ලා සිටි බව එම ආරංචි ගෙන එනවා.