වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

බොලිවුඩයේ ජනප්‍රිය මව සමුගනී

මව්වරුන්ගේ දිනයෙන් දින කිහිපයකට පසුව බොලිවුඩයේ ජනප්‍රියම මව සිය ජීවිත රඟ මඬලින් සමු ගත්තා. ඇය රීමා ලාගෝ. 1990-2000 දශකවල බොලිවුඩ් රිදී තිරයේ ජනප්‍රිය නළු නිළියන් රැසකගේ මව ලෙසින් චරිත මැවු ඇය මිය යන විට 58 වැනි වියේ පසු වුණා. මහේෂ් භාත් අධ්‍යක්ෂණය කළ Naamkarann දර්ශන තලයේදී හදිසියේ ඇති වු හෘදයාබාධයකින් සිදු වූ ඇයගේ මරණය මුළු බොලිවුඩයම කම්පනයට පත් කළා.

සුපිරි නළු සංජේ දත් මේ නිසා අතිශයෙන් දුකට පත් වූ තරුවක්. 1991 වසරේ Saajan චිත්‍රපටයේ සංජේ (අමන් වර්මා) දරුකමට හදාගන්නා මව ලෙසින් චරිත නිරූපණය කළේ රීමා. නමුත් රීමා සැබෑ වයසින් සංජේට වඩා එක් අවුරුද්දකින් බාල වීමත් විශේෂයි. රීමාගේ මරණයෙන් කම්පනයට පත් සංජේ පැවසුවේ "මට මගේ අම්මා ආයෙමත් නැති වුණා" යනුවෙනුයි. සංජේ පමණක් නොව, ශ්‍රී දේවි, ජූහි චව්ලා, මධුරි ඩික්සිත්, සල්මන් ඛාන්, අක්ෂේ කුමාර්, ශාරුක් ඛාන්, කාජල්ගේ මව ලෙසින් ද චරිත නිරූපණය කරමින් ඇය බොලිවුඩ් සිනමාවට තම දායකත්වය ලබා දුන්නා. Rangeela, Hum Aapke Hain Koun, Dilwale, Kuch Kuch Hota Hai, Kal Ho Naa Ho ඩ්ධ වැනි චිත්‍රපට ඒ අතර සුවිශේෂි වෙනවා.

1958 වසරේ ජුනි 21 වැනිදා රීමා උපත ලැබූයේ, නයාන් බත්භදේ නමිනි. ඇයගේ මව ද මරාති වේදිකා නාට්‍ය නිළියක්. 1979 වසරේදි මරාති චිත්‍රපටයක් වන Sinhasan හරහා සිනමාවට පිවිසි ඇය සිව්වතාවක් ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම සහය නිළිය වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වුණා.


මනීෂා නාර්ගීස් වෙලා

බොලිවුඩයේ ජනප්‍රිය නේපාල ජාතික නිළි මනීෂා කොයිරාල කාලයක් සිනමාවෙන් දුරස් වී සිටියේ ඇයට වැළඳී තිබූ පිළිකා රෝහී තත්ත්වය නිසයි. පිළිකා මාරයා සමඟ සටනින් ජය ගත් ඇය මේ දිනවල Dear Maya චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් දායක වෙනවා.

මීළඟට ඇයගේ දායකත්වය ලැබෙන්නේ රාජ් කුමාර් හිරාණිගේ Dutt චිත්‍රපටයටයි. සංජේ දත්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරෙන එහි මනීෂා සංජේගේ මව නාර්ගීස් දත්ගේ චරිතයට පණ පොවන්න සූදානම්.

මේ වෙනුවෙන් ඇය නාර්ගීස් ගැන වෙනම අධ්‍යයනයක් කරලා. ඇය පිළිබඳ ලියවුණු ලිපි හා කෘති සොයා ගෙන ඒවා පරිශීලනය කරමින් නාර්ගිස් ඇසුරු කර ඇති අය ගෙන්ද තොරතුරු විමසලා. නාර්ගිස් පිළිබඳ ලියවී ඇති කෘති සියල්ල මනීෂාට ලබා දුන්නේ නාර්ගීස්ගේ දියණිය ප්‍රියා දත්. නමුත් මනීෂා පවසන්නේ අධ්‍යක්ෂ හිරානි දත් පවුල පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කර ඇති බැවින් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් අනුව රංගනයද ප්‍රමාණවත් බවයි.

නමුත් ඇය නාර්ගීස්ගේ චරිතයට කළ ආරාධනාවට එකඟත්වය පළ කරන්නට මුලදී මැළිවී තිබුණා. ඒ 90 දශකයේදී සංජේ දත්ගේ පෙම්වතිය ලෙසින් රඟපෑම නිසා. කොහොම නමුත් රාජ් කුමාර් හිරාණි නාර්ගීස්ගේ චරිතය වෙනුවෙන් මනීෂාගේ කැමැත්ත ලබා ගන්න සමත් වෙලා.


බොලිවුඩයට චණ්ඩි ඇවිත්

ඔන්න දැන් බොලිවුඩයේ චණ්ඩි වැඩ ආරම්භ කරලා කියලා ආරංචියි. මේ විදියට වැඩ ආරම්භ කළ Thugs of Hindostan චිත්‍රපටය නිසා බොලිවුඩයේ ප්‍රබල චරිත දෙකක් ප්‍රථමවරට එකම චිත්‍රපටයක රඟපානවා. මේ දෙන්නාම දැන් චිත්‍රපටයේ තම වැඩ ආරම්භ කලා. පසුගිය දවසක Thugs of Hindostan අධ්‍යක්ෂ විජය ක්‍රිෂ්ණා සමඟින් අමිතාබ් සම අමීර් එකම තැනකදි හමු වෙලා තම පිටපත් අධ්‍යයනය කළා.

අමීර් විජය ක්‍රිෂ්ණා සමඟින් කටයුතු කරන දෙවන චිත්‍රපටය මෙය යි. මීට ඔවුන් Dhoom 3 චිත්‍රපටයේදී හමු වුණා. ජූනි මාසයේදී Thugs of Hindostan චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන්න සූදානම්.

මෙහි කාන්තා චරිත වෙනුවෙන් කත්‍රිනා කායිෆ් සහ ෆාතිමා ශානා සයීක් දායක වෙන්න නියමිතයි. Thugs of Hindostan වෙනුවෙන් අවසන් වරට තෝරා ගත් චණ්ඩියා වුණේ කත්‍රිනා. ඇය සහ අමීර් මීට පෙර රිදි තිරයේ මුල්වරට හමු වුණෙත් Dhoom  3 චිත්‍රපටයෙන්. ෆාතිමා බොලිවුඩයට පැමිණියේ අමීර්ගේ Dangal චිත්‍රපටයේ ගීතා පොගාත්ගේ යොවුන් වියට පණ පොවමින්. Thugs of Hindostan චිත්‍රපටය වෙනුවෙන් ඇයට තිර පරීක්ෂණ රැසකට මුහුණ දෙන්න සිදු වෙලා. අමිතාබ් සමඟින් රඟපාන්න අවස්ථාව ලැබීම ගැන ඇය සිටින්නෙන් ගොඩක් සතුටින්. Thugs of Hindostan ලබන වසරේ දීපවාලි උත්සව සමය වෙනුවෙන් තිරගත කරන්න නියමිතයි.


Hera Pheriට බාලගිරි

Hera Pheri චිත්‍රපට මාලාවේ මීළඟ චිත්‍රපටය ගැන තොරතුරු විටින් විට පළ වුණත් චිත්‍රපටය ආරම්භ කෙරෙන පාටක් නම් පෙනෙන්න නැහැ. බොලිවුඩ් රසික රසිකාවන්ට එහි ශ්‍යාම්ගේ චරිතයට පණ පෙවූ සුනිල් ෂෙට්ටි නම් කියන්නේ බලාපොරොත්තුව අත් නොහරින ලෙසයි.

මෙහි තිර රචනය කරමින් සිටි අධ්‍යක්ෂ නීරජ් වෝරා හෘදයාබාධයකට ලක්වීම මෙම චිත්‍රපටය නිර්මාණයේ කටයුතු ප්‍රමාදයට හේතුව බව ඔහු පවසනවා. ඉදිරියේදී එය ප්‍රමාදයකින් තොරව වැඩ කටයුතු අරඹනු ඇති බව සුනිල්ගේ අදහසයි.

මෙම චිත්‍රපට මාලාවේ පළමු වැන්නේ සහ දෙවැන්නේ සුනිල් සමඟින් අක්ෂේ කුමාර්, පරේෂ් රාවල් රංගනයෙන් දායක වුණා. නමුත් තෙවැන්න සඳහා අභිෂේක් බච්චන් සහ ජෝන් ඒබ්‍රහම්ගේ නම් යෝජනා වුණත් මෙය ආරම්භ කිරීමේ ප්‍රමාදය ඇතුළු හේතු කිහිපයක් නිසා ඒ දෙදෙනාම ඉවත් වුණා. නමුත් කොහොම හරි Hera Pheri 3 චිත්‍රපටය නිර්මාණය කරන බව සුනිල් පවසනවා.

2000 වසරේදී Hera Pheri පළමු චිත්‍රපටය තිරගත කෙරුණා. දෙවැන්න 2006දී Phir Hera Pheri නමිත් තිරගත කෙරුණා.