වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




පිනක් කරගන්න මටත් ඉඩදෙන්න

පිනක් කරගන්න මටත් ඉඩදෙන්න

මිහිරි හා ගයන්ත සිටියේ ටොරින්ටන් චතුරශ්‍රය අසල අලුතින් ඉදි කොට ඇති ඇවිදින මංතීරුව පසෙක තිබු සිමෙන්තියෙන් නිම කළ බැම්මක් මත එකිනෙකාට සමීපව වාඩි වී ගෙන ය. මේ මොහොතේ සන්දේශ් සිටියේ මිහිරි හා ගයන්තට යාර කිහිපයක් පමණ එහායින් කිහිලිකරු මඟින් ඇවිදිමින්ය.

අවට සිටින පිරිසගේ නොයෙකුත් ක්‍රියාකාරකම් දෙස ද මොහෙතක් බලා සිටි මිහිරි යළිත් ගයන්ත දෙසට හැරුණේ මතකයට යමක් නැගුණු නිසාය.

"මොකද්ද ගයන්ත ඔයාමට කිව්වෙ කාරණාවක් කියන්න තියෙනවා කියලා"

"ආ.... ඔව්, මට මාස හයකට පකිස්ථානෙට යන්න වෙලා මිහිරි. ප්ලයින් ට්‍රේනිං ඇඩ්වාන්ස් කෝස් එකකට. මායි විජිතයි. ආණ්ඩුවෙන් ඔක්කොම ගෙවනවා"

ගයන්තගෙ කතාව මිහිරට ගෙන දුන්නේ සතුටක් නොවේ.

"අයියෝ කවද්ද?"

"ලබන සුමානෙ. ඒක කරල ආවට පස්සෙ මගේ ප්‍රමෝෂන්වලටත් හොඳයි"

මිහිරි කල්පනාවත් එක්කම ගයන්තගේ උරහිස දෙසට මඳක් ඇලවිය. ගයන්තගෙන් වෙන් වී හය මාසයක් ගත කිරීම නම් පහසු නැතැයි ඇයට සිතෙයි.

"මාස හයක්ම? ඔයා ගියාම මට තමයි පාළු"

"සන්දේශ් ඉන්නවනෙ"

ගයන්තගේ උරහිස මත තිබු මිහිරිගේ මුහුණේ ඉරියව් වෙනස් වන්නට වූයේ සෙමෙනි. ගයන්ත පැවසූ දේ ඇයට එතරම් පැහැදිලි නැති වුවත් එහි කිසියම් බැරෑරුම් අරුතක් ද ඇති බවක් ඇයට හැඟිණ. කල්පනාවත්එක්කම සෙමෙන් මුහුණ ඉවතට ගත් මිහිරි ඉන්පසු ගයන්තගේ මුහුණ දෙස බැලුවාය.

ඒ සමඟම ඔහුගේ දෙතොල් යන්තමින් විහිදී යන අයුරු ද ඇය දුටුවාය.

ඊළඟට ඇය බැලුවේ සන්දේශ් දෙස ය. කිහිලිකරු යුගල සිමෙන්ති බැම්මට හේත්තු කළ ඔහු ඊළඟට තරමක් ආයාසයෙන් බැම්ම මත වාඩි වන අයුරු ඇය දුටුවාය.

"ඒ විතරක් නෙමේ......."

ගයන්තගේ කටයහඩ යළිත් ඇසෙන්නට විය.

"ඔයා ළඟ ඉන්නව නං ඔයාගෙ සත්කාරයත් එක්ක ආදරයත් එකතු වෙලා සන්දේශ්ගෙ ලෙඩෙත් ඉක්මනට සනීප වෙයි."

ගයන්ත මේ කියවන්නෙ මොනවාද? බියත් කුතුහලයත් එක්කම ඇගේ මුහුණ ඔහුගේ මුහුණ දෙසට හැරවුණේ නිරායාසයෙනි.

"මං දන්නවා මිහිරි ඔයා මට ගොඩාක් ආදරේ විත්තිය. ඒ වගේම දැන් අසරණ වෙලා ඉන්න සන්දේශ් ගැනත් අනුකම්පාවක් එක්ක ආදරයකුත් තවම ඔයාගෙ හදවතේ මුල්ලක තියෙන විත්තියත් මං දන්නව"

මිහිරිගේ මුහුණ යළිත් වෙන අතකට හැරවිණ. ගයන්ත මෙතරම් හැඟීම්බර අයුරින් කතා කළ ආකාරයක් ඇය මින්පෙර දැක නැත.

"මට හිතෙනව මිහිරි, මං ඔයාලගෙ ජීවිත මැද්දට ඇවිල්ල ඔයගොල්ලන්ව ඈත් කරල තියෙනව කියල..... මට හිත හදාගන්න එකේ කිසි ප්‍රශ්නයක් නෑ. අපි දෙන්නට වෙන් වෙලා ඉන්න බැරි තරම් ලොකු හේතුවකුත් නෑනෙ"

ගයන්ත නොනවත්වාම කතා කරගෙන යයි. මිහිරි සිටියේ එක්වරම යමක් කියන්නට වචන පෙළ ගසා ගත නොහැකි තත්ත්වයකය.

"එක පාරක් ඔයාගෙ මල්ලි හින්ද ඔය දෙන්නට එකතු වෙන්න බැරි වුණා. මේ පාර මං හින්දා ඒ දේ ආයෙමත් වෙන්න ඕන නෑ..... මගෙන් කිසිම බාධාවකුත් මගේ කිසිම අකමැත්තකුත් නෑ මිහිරි. ඔයා සන්දේශ් ළඟට යන්න. ගිහින් එයත් එක්ක හොඳීන් ඉන්න. එයාට ඔයාගෙ සත්කා‍රෙයි ආදරෙයි දෙකම දෙන්න. එයාගෙ ඇඟ විතරක් නෙවි, හිතත් සනීප කරන්න"

එවර නම් මිහිරිට ගයන්ත දෙස නොබලා සිටින්නට නොහැකි විය. ඇය යමක් කියන්නට සුදානම් වනවාත් එක්කම යළිත් ගයන්තගේ කටහඬ ඇසිණ.

"සන්දේශ් කියන්නෙ පුදුම සුන්දර මනුස්සයෙක්. ඒ වගේ මනුස්සයෙකුගෙ හිතට දුකක් දෙන එක මහ පව් වැඩක්. පිනක් කර ගන්න ඔයා මටත් ටිකක් ඉඩ දෙන්න"

එසේ කී ගයන්ත හුනස්නෙත් නැගිට්ටේ මිහිරි නොසිතූ පරිදිය. ඉන්පසු ඔහු මිහිරිගේ අතක් අල්ලාගෙන ඇයවත් නැගිට්ටුවේය. ඇය නැගිට්ටා නොව ඇයට නැගිටුණාය.

ගයන්ත මඳක් හිස ඇල කොට ඈත බැලුවේය. සන්දේශ් ඔවුන්ට පිටු පා යළිත් ඇවිදින අයුරු ඔහුට පෙනිණ.ගයන්ත දෙස බලාගත්වනම සිටි මිහිරිත් හිස හරවා පිටුපස බැලුවාය. සන්දේශ් කිහිලිකරුවල ආධාරයෙන් ඈතට ඇවිදින අයුරු ඇයත් දුටුවාය.

මේ වන විටත් ගයන්ත සිටියේ මිහිරිගේ අත අල්ලාගෙනය. අතට කිසියම් අමුත්තක් දැනුණු හෙයින් ඇය හිස පහතට යොමු කළාය.

මිහිරිගේ හදවත පිලිස්සී ගියේ එක්වරම ය. ගයන්ත උත්සාහ කරමින් සිටියේ ඇගේ ඇඟිල්ලක තිබූ මුද්ද ඉවත් කර ගන්නටය. එය මිහිරි තම සහකාරිය ලෙස පත් කර ගන්නා බවට පොරොන්දු වෙමින් ගයන්ත පෙර දිනෙක ඇගේ අතෙහි පැළැදූ මුදුව ය.

මුදුව ඇඟිල්ලෙන් ගිලිහී යන බව දැනුණු හෙයින් ඇය තම අතැඟිලි තදින් මිට මොලවා ගන්නට වූවාය. එහෙත් ගයන්තගේ දරදඬු අතැඟිලිවලට ඇගේ සියුමැලි අතැඟිලි යටපත් විය. තවත් සුළු මොහොතකට පසු කුඩා දියමන්ති කැටයක් සහිත රිදී මුදුව ගයන්තගේ අතට පත් විය.

කෙමෙන් ඉහළට එසවුණු දෑතින් මිහිරිගේ මුව ඇතුළු මුහුණේ අඩක් වැසී ගියේය. ඇය අදහා ගත නොහැකි හා කඳුළු පිරුණු දෑසින් ගයන්තගේ මුහුණ දෙස බැලුවාය. ගයන්තගේ දෙතොල් අතර තිබුණේ සුපුරුදු පියකරු සිනහවම ය. පියවරක් පිටුපසට තැබූ ඔහු, ඊළඟට සන්දේශ් දෙස බලා සෙමෙන් මිහිරිට අතින් සන් කළේය.

ගයන්ත අතින් කියන්නේ සන්දේශ් වෙතට යන ලෙස බව තේරුම් ගන්නට මිහිරිට අපහසු නොවීය. තවත් තත්පර කිහිපයක් නිහඬව ගෙවී යමින් තිබුණේය. එහෙත් මිහිරිගේ හදවත දෙදරමින් තිබුණේය. මිහිරිගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදුටු හෙයින් ඔහු සුපුරුදු සැහැල්ලු සිනහවෙන්ම තවත් වරක් අතින් සන් කළේය. එවර ඔහුගේ දෙතොල් අතරින් "යන්න" යන ලෙසින් සිහින් හඬක් ද පිට විය.

මිහිරිට දැනුණේ තම හදවත ඉරීගෙන යන බවකි. ගයන්ත මෙවැනි තීරණයක් ගන්නට සිතුවේ තමා ඔහුට මොන වරදක් කළ නිසාදැයි ඇයට සිතා ගත නොහැකි විය. තම දෙපා අප්‍රාණික වී යන බවක් දැනුණු හෙයින් ඇය දෑතින් මුහුණ වසාගෙනම යළිත් කෙටි තාප්පය මත වාඩි වූවාය.

මිහිරි සිටියේ අප්‍රමාණ වූ සිතුවිලි දහරාවක පැටලීගෙන ය. ගයන්තට පිටු පා යළිත් සන්දේශ් සමඟ සෙනෙහසින් බැඳෙන්නට තමාට කිසිදු ඕනෑකමක් නොතිබූ බව ඇය හොඳීන් දනී. ගයන්තත් දැනුම්වත්වම ඇය පසුගිය කාලයේ සන්දේශ්ට මෙතරම් ළබැඳී වූයේ ආබාධය හේතුවෙන් ඔහු කෙරෙහි ඇති වූ අනුකම්පාව නිසා ය. එමෙන්ම පිළිසරණක් නොමැතිව සිටි ඔහුව සුවපත් කිරීමේ එකම චේතනාවෙනි. දෙයියනේ මේ සියල්ල ගයන්ත වැරදියට තේරුම් ගත්තේ ඇයි?

මෙතෙක් ඉකි ගසමින් හඬමින් සිටි මිහිරි ආයාසයෙන් එය නවත්වා ගත්තාය. ඊළඟට ඇගේ සිතට ඇතුළු වූයේ තරමක කෝපයකි. සංවේගය හා කෝපයත් එක්කම ගයන්තට පිළිතුරු දෙන්නට ඇය මුහුණින් දෙඅත ඉවත් කොට ගයන්ත දෙස බැලුවාය.

එහෙත් ගයන්ත පෙනෙන්නට නොසිටියේය. මිහිරි කුතුහලයෙන් යුතුව අවට බැලුවාය. ඊළඟට ඇයගේ සිතට දැනුණේ බියකි. ගයන්ත නැත. සෙනග අතරේත් නැත. පෙනෙන තෙක් මානයකවත් නැත.

ඇයට හුන් තැනින් නැගිටුණේ එක්වරම ය. ඉන්පසු ඇය ගයන්ත සොයමින් පිස්සියක මෙන් ඔබ මොබ දුවන්නට වූවාය.

"......ආදරේ ඇදහිය නොහැක මට නම්
ඔබේ සිතුවිලි ඉන් මුදා
තවත් හදකට ඉඩ තබා
කෙසේ සමුගෙන යා හැකිද නොදනිම්

ඔබේ ප්‍රේමය මට පිදූ
තිලිණ කර යා හැකි නමුදු මෙසේ
මගේ ප්‍රේමය වෙනත් අයෙකුට
ඔබට දිව හැකි දෝ කෙසේ......"