වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




පැය තිස් පහක් රූප ගත කළ ගීතයක්

පැය තිස් පහක් රූප ගත කළ ගීතයක්

සංඛ දිනෙත්ගේ අලුත්ම නිර්මාණය රෑ සිහිනේ මා මායාවී

 

රෑ සිහිනෙ මා ගීතයේ පදමාලාව
රෑ . . . රෑ සිහිනේ මා මායාවේ පෑ සේයාවී ඈ
ඈ මදහස පා දැහැනේවේදී ආදරේ පෑ
ඔය බඹසරට හිත බැඳිලා
ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ලඳේ
සනසාවි මා හා හුස්මක් හෝ පාලා

දෙනුවන් වසාලා සතපාලා
සත්තාපේ මා හා අනුරාගේ පාලා
මුවඟින් සිනා පා පිදුවා

මා දුටුවේ ඈ නෙලනා රුවේ
දසුනක් මැවේ ඒ ඒ රැය මවා
සිටියේ නුඹේ යහනේ ළඳේ
ඔය බඹසරට . . .
සනසාවි මා . . .

සංඛ දිනෙත් කියන්නේ කවුද කියලා සංගීත ලෝලී ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැනෙ. කාලෙන් කාලෙට නව මානයන් සොයා යන සංඛගේ ගීතයක විස්තර ඔබ වෙත ගෙන එන්නයි මෙවර මියුසික් වීඩියෝ පිටුව හරහා අප අදහස් කළේ. මේ ගීතයේ නම රෑ සිහිනෙන් මා. පෙර සංඛ ගැයූ ගීත සේම මෙයත් ආදර ගීතයක්. රෑ සිහිනෙන් රචනා කරලා තියෙන්නේ රුවන් ගුරුගේ. ඔහු ද ගී පද රචනයට ආගන්තුකයෙක්. සංඛ විසින්ම තමයි ගීයෙහි සංගීත නිමැවුම සිදු කරලා තියෙන්නේ. මෙහි මියුසික් වීඩියෝව නිම කරලා තියෙන්නේ ගෙහාන් මෙවන්ත. පිටපත ද ඔහුගේ. ප්‍රභාත් රෝෂන් කැමරාව මෙහෙයවා තිබෙනවා. සංස්කරණය ශාන් අල්විස්ගෙන්.

අසන්තිකා රණසිංහ සමග ඉබ්‍රහිම් වීඩියෝවෙහි රංගනයෙන් දායක වෙලා තිබෙනවා. රජන්ත රණසිංහගේ නිෂ්පාදනයක් ලෙසිනුයි වීඩියෝව කලඑළියට ආවේ. ගාල්ල අවට දවස් දෙකක් පුරා රූගත වුණ රෑ සිහිනේ මා ගීතය දෙදින පුර පැය තිස් පහකට ආසන්න කාලයක් රූගත කොට තිබෙනවා. දිවා රෑ නොබලා රූගත වුණ එය රූපගත කිරීම් අවසාන අදියරේදී සංඛට නොසෑහෙන්න නින්ද ගියාලු වෙහෙසට. අන්තිමේ ඇල්වතුරවලින් මුහුණ පොඟව පොඟව තමයි සංඛ රඟපාලා තිබෙන්නේ. මේ වන විට ගීතය ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් නරඹලා තිබෙනවා. ඒ වගේම රෑ සිහිනෙන් මා මේ වන විට ගුවන් විදුලි ගීත දර්ශකවල අංක එකට තිබෙන ගීිතයක්.