වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




සඳරේණු ඇති රෑක ඔය දෑස සිප ගන්න ආවා... මම ආවා...

සඳරේණු ඇති රෑක ඔය දෑස සිප ගන්න ආවා... මම ආවා...

කලාකරුවෙකුට, කලාකාරියකට ලැබෙන ජනතා ප්‍රසාදය තරම් සම්මානයක් තවත් ඔවුන්ට තිබිය නොහැකියි. සම්මාන පිට සම්මාන ගත්ත ද ජනතා සම්මානය ලබන්නට නම් ඔවුන් පෙර භවයක කරන ලද පින් ඇත්තෝ විය යුතුය. මෙරට සංගීත ක්ෂේත්‍රයට ජනතා සම්මානයෙන් දායාද වූ සශිකා නිසංසලා ද එසේ පින් පිරූ ගායිකාවක වූවාය. තුරුණු ශක්තී වේදිකාවෙන් සිය උපන් හැකියාවන්, කුසලතාවයන් විදහා දක්වමින් ගායන ලෝකයට ප්‍රවිශ්ට වූ ඇය වර්තමානයේ මෙරට ජනතාවගේ ගායිකාව බවට පත් වී හමාරය. මා එසේ කියනුයේ පිට පිටම පසුගිය දෙවසර තුළ ජනතා සම්මානය දිනාගත් (People’s Award) වසරේ ජනප්‍රියම ගායිකාව වූයේ ඇය නිසාය. ඇය මෙරට ගීත ක්ෂේත්‍රයට දායාද කළ බොහෝ ගීත සුවහසක් ශ්‍රී ලාංකික ගීත ශ්‍රාවකයින් ආදරයෙන් වැළඳ ගත්තාය. පාරමිතා නොපුරමු අපි දෙදෙනා, සඳ රෑට රෑට සඳ විමනට, තොල් පෙති විතරක් වැනි ගීත එකල අතිශයින්ම ජනප්‍රිය විය. සංගීත ක්ෂේත්‍රයේ උඩුගං බලා පිය මං කරන්නට ඇයට කිසිදු හදිස්සියක් නොවීය. උත්පත්තියෙන් ගෙන ආ හැකියාවට අධ්‍යයනයත්, අත්දැකීමත් එකතුකර ගන්නට ඈ බොහෝ කල් පෙරුම් පිරූ අයුරු අපට මතකය. ගායිකාවක් වශයෙන් යන ගමන ආලෝකමත් කරගන්නට සංගීත අධ්‍යයනයේ වැදගත්කම තේරුම් ගෙන එය විශ්ව විද්‍යාල අධ්‍යාපනය තෙක් රැගෙන යන්නට ඈ නොයෙකුත් කැප කිරීම් කළාය. මේ සියල්ලෙන් පරිපූර්ණ වූ ඈ අද මෙරට ගායන ක්ෂේත්‍රය තුළ ඈටම අවේණික වූ හඬ පෞරුෂයකටත් ගීත කලාවකටත් යොමු වෙමින් ජනප්‍රියත්වය ද එකසේ පවත්වාගෙන යන ගමනකට එක්ව සිටින්නීය.

‘පසුගිය කාලය තුළ මට චිත්‍රපට 03 ට පසුබිම් ගායනා කරන්න අවස්ථාව ලැබුණා. උදයකාන්ත වර්ණසූරිය සහ සෝමරත්න දිසානායකගේ චිත්‍රපට දෙකකුත් ඒ අතර තිබෙනවා. මේ ගීත තුනෙන් ගීත දෙකක්ම සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. අනිත් ගීතය දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළා. ඊට අමතරව පසුගිය කාලයේ අලුතින් ගීත කිහිපයක් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඉන් එක් ගීතයක් සඳහා රූප රචනාවක් (Music Vedio) සමග එළිදක්වන්න අදහස් කරගෙන ඉන්නවා.

සශිකාට චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රය තුළ මෙතෙක් වැඩි ඉඩක් නොලැබුණ ද ඇය ටෙලි නාට්‍ය පසුබිම් ගායිකාවක ලෙසින් කලක පටන් බොහෝ නිර්මාණ වෙනුවෙන් දායකත්වය දක්වන්නියකි. මේ වන විට ඇය ගයා ඇති ටෙලි නාට්‍ය ගීත 35 හෝ 40 ට නොවැඩි මිස අඩු නොවේ. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මට හුඟක් නිර්මාණවල වැඩ කරන්න ලැබුණා. ඒ හැම නිර්මාණයකටම, ගයපු සෑම ගීතයක්ම හොඳ ගීත. එයින් 90% ක්ම වගේ විවිධ සම්මාන උලෙළ සඳහා නිර්දේශ වුණා. මේ වෙනකොට ටෙලි නාට්‍ය ගීත ගායනය වෙනුවෙන් සම්මාන 12 ක්ම මට ලැබී තිබෙනවා. හෙට අනිද්දා පවත්වන්නට නියමිත රයිගම් ටෙලි සම්මාන උලෙළ සඳහාත් මගේ නම නිර්දේශිත නාමයන් අතරේ තිබෙනවා.

සාමාන්‍ය සරල ගීතයක් ගායනා කරනවාට වඩා එහාට ගිය දෙයක් ටෙලි නාට්‍ය පසුබිම් ගීතයක් ගායනා කරනවා කියන්නේ. බොහෝ වෙලාවට අදාල නාට්‍යයේ ආකෘතියට, කතාවට අදාල වන ආකාරයේ හැඟීම් ප්‍රකාශනයක් මගේ ගායනයෙන් අවශ්‍ය වෙනවා. බොහෝ වෙලාවට ටෙලි නාට්‍යවලදී ඒ ඒ සංසිද්ධීන් අධ්‍යක්ෂවරයා විසින් පැහැදිලි කරල දෙනවා. එහෙම වුණාම ගායනය තුළින් නාට්‍යයට අදාල වන හැඟීම් ප්‍රකාශනය කරන්න මට පහසුයි. මං හිතන්නේ මම වැඩිපුරම ටෙලි නාට්‍ය ගීත ගායනා කරලා තියෙන්නේ සමන් කුමාර ලියනගේ ගේ ටෙලි නාට්‍යවලට. වැඩිපුරම මට ටෙලි නාට්‍ය ගීත රචනා කරලා තියෙන්නේ වසන්ත කුමාර කොබවක. වැඩිපුරම සංගීතවත් කරලා තියෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. මේ සියල්ල එකතුවෙන් තමයි ඉතා හොඳ නිර්මාණයක් බිහිවෙන්නේ.

චිත්‍රපට පසුබිම් ගීත මං හිතන්නේ 6-7 ට වඩා ගායනා කරලා නෑ. මම සරල ගීතයක් ගායනා කලත් බොහෝ විට අදාල ගීතයේ හැඟීම් ප්‍රකාශය ගැන සැලකිලිමත් වෙනවා.

‘ඔබ මා හමුවුණ දා දෑත් පුරා

පෙර භවයක බැඳුනා මෙන් දැනුණා

සවනට රහසින් කීවා

මට ආදරෙයි කියා . . . මට ආදරෙයි කියා

ඔබ ඇස් පිය නොහෙලා බැලුවා

ඔබ ඇස් පිය නොහෙලා බැලුවා

මගේ දෑස් දිහා

මා ඇස්පිය නොහෙලා බැලුවා

මා ඇස්පිය නොහෙලා බැලුවා

ඔබේ දෑස් දිහා . . .

මෑත භාගයේ අතිශයින්ම ජනප්‍රිය වුණු සශිකා ගායනා කළ ඉහත ගීය ශ්‍රවණය කරත්දී ඇගේ හැගීම් ප්‍රකාශනයේ සැලකිලිමත්භාවය කෙතරම් ද කියා සිතා ගත හැකිය. විශේෂයෙන්ම ඇය ගායනා කළ බොහෝ ප්‍රේම ගීත තුළ මෙකී ලක්ෂණය හොඳින් කැපී පෙනේ. සශිකාගේ ජනප්‍රියත්වයේ ඇරඹුම සනිටුහන් කළ පහත ගීතයෙන් පවා එය මොනවට පැහැදිලි වේ.

‘පාරමිතා නොපුරමු අපි දෙදෙනා

මතු මතු සංසාරේ

පාන සිනා සුළඟට විසි කරමු

හමුවන හැම වාරේ . . .’

මම ගායනා කළ ‘ඇස් පිය නොහෙලා’ ගීතය එළි දැක්වූයේ 2015 දී. අදටත් ඒ ගීතය ජනප්‍රියත්වයේ ඉහළ තලයක තිබෙනවා. එය දෙරණ සංගීත සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියතම මියුසික් වීඩියෝවට හිමි සම්මානයත් දිනා ගත්තා. 2016 සහ 2017 වසරවලදී මට පීපල්ස් එවොර්ඩ් ලැබුණා. එහෙම ලැබෙන්න හේතු වෙන්න ඇත්තේ මගේ ගායනයේ ඇති හැඟීම්බර බව නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා.

සශිකා ගායන ක්ෂේත්‍රයට ඇළුම් කළේ කුඩා කල පටන්මය. ඇගේ ගීත ලෝකයේ වීරවරියන් රාශියක් විය. සුජාතා අත්තනායක, නන්දා මාලිනී වැනි ප්‍රවීණයන් ඒ අතර ප්‍රධාන විය. තුරුණු ශක්ති වේදිකාවට ගොඩ වූ ඈ මුලින්ම ගායනා කළේ ද ප්‍රවීණ ගායන ශිල්පිණී නිරෝෂා විරාජිනීගේ ගීතයක්ය. අවුරුදු 8 - 9 ක් වැනි වයසකදී භාරතීය සංගීතය ඉගෙන ගන්නට ද යොමු වූ ඈ වර්තමානයේ තමන් ආදරය කළ තමන් ගුරුකොට සලකන, තමන් ආදර්ශ හා අත්දැකීම් එකතුකර ගන්නා ප්‍රවීණයන් හා සමඟ එකම වේදිකාවක සම්මානයට පාත්‍ර වන්නීය. ගායන ශිල්පිණියක වශයෙන් තමන් කෙරෙහි අභිමානයක් උපදවා ගන්නට, නිහතමානී සතුටක් විඳින්නට මෙය හේතුවක් නොවන්නේ යැයි කිව හැක්කේ කාටද?

‘පීපල්ස් එවෝඩ් සඳහා වසර කීපයක් තිස්සේම මගේ නම නොමිනේට් වෙලා තිබුණා. ඒත් මට සම්මානය ඉස්සරලම ලැබෙන්නේ 2016 වර්ෂයේදී. එදා නිර්දේශිත නම් අතරට තිබුණේ මමත්, නන්දා මාලිනියත්, නිරෝෂා විරාජිනි ශිල්පිණියන්. ඒ අතරින් මට සම්මානය හිමි වුණා. 2017 වර්ෂයේදී අපි තුන් දෙනාම තමයි නිර්දේශ වෙලා තිබුණේ. ඒ අතරින් නන්දා මාලිනියට සහ මට සම සම්මානය ලැබුණා. ජනතාවගේ ආදරය, ප්‍රණාමය සම්මානයකින් මෙහෙම විඳිනවා වගේම රට පුරා පවතින විවිධ ගෘහස්ථ සහ එළිමහන් ප්‍රසංග සඳහා සහභාගිවෙන මට ඔවුන්ගේ ආදරය, ප්‍රතිචාර ඒ මොහොතේම විඳින්න අවස්ථාව ලැබෙනවා. මේ රටේ ජනතාවගෙන් ලැබෙන ඒ ආදරය නිසා තමයි මම මෙපමණ කලක් එකම විදියේ ජනප්‍රියත්වයකින් රැඳී ඉන්නේ. මේ සියළුදේම මම කිසිදා බලාපොරොත්තු වුණු දේවල් නොවෙයි. ජනප්‍රියත්වය, සම්මාන මේ ඔක්කොම මට වැඩියි. මම මේ තරම් මේවා බලාපොරොත්තු වුණේ නෑ.

හුඟක් වෙලාවට ප්‍රසංග අතරතුර සාමාන්‍ය ජනතාව සමග කතාබහ කරන කොට මට දැනෙනවා ඒ අය මට ආදරේ කරන්නේ මගේ කටහඬට, ගායනයට, ගීතවලට පමණක් නොවෙයි කියලා. ඔවුන් මම ජීවත්වෙන පිළිවෙලට, මම අඳින පළඳින විදියට ඒ ඔක්කොටමත් ආදරේ කරනවා. මගේ රසිකයන් විවිධ ආකාරයෙන් ඉන්නවා. පුංචිම දුවලා පුතාලාගේ සිට වැඩිමහල් සීයලා ආච්චිලා දක්වා. බොහේ වැඩිහිටි අය මුණ ගැසුණාම කියන්නේ දුව ඔයා අඳින පළඳින විදිය හොඳයි කියලායි. ඇත්තටම මට හිතෙනවා ඒ වගේ ජනතා ආදරයක් ලබන්න තරම් මම කොච්චර වාසනාවන්තද කියලා.’

සශිකා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු වෘත්තීය වශයෙන් තෝරා ගත්තේ ගුරු ජීවිතයයි. ඇය කලක් කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ සංගිීත ආචාර්යවරිය ලෙසින් කටයුතු කළාය. විවාහ ජීවිතයට ඇතුළත් වී දරු දෙදෙනකුගේ මවක් වීමෙන් පසුව කලා ජීවිතේ කාර්ය බහුලත්වයත් සමඟ ඈ ගුරු ජීවිතයට සමු දුන්නාය. දැන් ඈ වෘත්තියෙන් ගායන ශිල්පිණියකි. ඇගේ කලා දිවිය පසුපස වූ මුලික හෙවනැල්ල වූයේ ඇගේ පියාය. තම දියණිය ගායිකාවක කරවිමේ සිහිනයක සිට ඒ සිහිනය සැබෑ කර ගැනීම දක්වා වූ දැවැන්ත වෘක්ෂය වූයේ ඔහුයි. එතැන් සිට ඈ විවාහප්‍රාප්ත වන තෙක්ම ඇය පසුපස කලා කටයුතු වෙනුවෙන් පැමිණි ඔහු විවාහයෙන් පසු එය බාර දුන්නේ සශිකාගේ සැමියාටය. එතැන් සිට ඔහු ද ඇගේ සෙවණැල්ල වූයේය. මවුපියන්, සොයුරා, සැමියා නොවන්නට මෙතරම් පහසුවෙන් කලා දිවිය ගත කරන්නට නොහැකි බව නොයෙක් වර ඇය පැවසුවේ කෘතවේදීත්වයෙනි.

“ඇත්තටම ගායන ශිල්පිණියක් ලෙසින් මම කාර්යබහුල වනකොට ගුරුවරියක ලෙසින් මම ගත කළ වෘත්තීය ජිවිතය මට ගත කරන්න අපහසු වුණා. අනෙක් කාරණාව ගුරුවරයෙක් හැටියට මට හරියට මගේ හඬ වෙහෙස කරවන්න සිද්ධ වුණා. ඉතින් මගේ හඬ ප්‍රවේශම් කර ගැනීමත් එක පැත්තකින් මට අභියෝගයක් වුණා. ඒ නිසයි මම ගුරු ජීවිතෙන් අයින් වුණේ. කවදහරි දවසක මට විවේකය ලැබෙන කොට නැවත ගෝල බාලයන් පිරිසක් බිහි කිරීමේ බලාපොරොත්තුව තිබෙනවා. දැනට මම වෘත්තීය ගායිකාවක් වශයෙන් හරිම කාර්යබහුලයි. මට ලැබෙන වැඩවලින් හරි අඩකටත් අඩු ප්‍රමාණයකට තමයි දැනටත් මට සහභාගි වෙන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන් අම්මා කෙනෙක් විදියට දරුවන් දෙන්නෙකුගේ වගකීම මා අතේ තිබෙනවා. ඔවුන් ගැන බලන්න ඕනෑ. ඔවුන් පාසල් යනවා. අධ්‍යාපන කටයුතු ගැන හොයලා බලන්න ඕනෑ. ඒ හැම දෙයක්ම සමබරව කර ගන්න ඕනෑ.

‘මේ හැම දේටම මට උපරිම සහයෝගය ලබා දෙන්නේ මගේ අම්මා, තාත්තා සහ සැමියා.’

‘දුර යන්න හිතුවාට සැඟ වී හොරෙන්

ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින්

වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්

හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්’

සශිකා ගයන්නීය. මෙරට ශ්‍රාවකයින් ඇගේ ගී හඬට වශී වී අසන්නේය. ඔවුන්ගේ ආදරයට, සෙනෙහසට ඈ තව තවත් ගී නිර්මාණය කරන්නීය. ජීවිතේ සදාකාලික නොවන බව ඈ දැනටමත් පසක් කරගෙන සිටින්නීය. ඇගේ කටහඬ ටිකෙන් ටික වියපත් වන බව ස්වභාව ධර්මය ගැන දන්නා ඈ අවබෝධ කරගෙන සිටින්නීය. එහෙත් වියපත් වනතුරු ගීත ගයන්නට ඈ සැදී පැහැදී සිටියි.

‘සඳරේණු ඇති රෑක

ඔය දෑස සිප ගන්න

ආවා . . මම ආවා . .

මගේ ලෝකේ ඔබ නේද

ඔබ මාගේ පණ නේද

කීවා . . ඔබ කීවා . .