වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

අසහාය නළු ජෝ

සිංහල සිනමාවේ අසහාය නළුවකු මෙන්ම දෙස් විදෙස් සම්මාන ලැබූ අග‍්‍රගණ්‍ය සිනමා නළු ජෝ අබේවික‍්‍රම විශාල රංග පරාසයකට හිමිකම් කී නළුවෙකි. පරිපූර්ණත්වයට පත් රංග පෞරුෂයකින් එවැනි වූ විශිෂ්ටයකු සැමරීම අපගේ යුතුකමකි.

අයිලීන් සෝවිස්

සොයිසා වත්ත

වැලිසර

රාගම


විශ්ව ඔබට ජය

විශ්ව කොඩිකාර පුතේ ඔයා 'පබළු' ටෙලි නාට්‍යයේ අම්මා කුමාරි මුණසිංහ හැඬෙව්වා. 'අමා' ටෙලි නාට්‍ය යේ අම්මා රුවන්ති මංගලා හැඬෙව්වා. දැනට විකාශය කෙරෙන 'නෙතු' ටෙලි සිතුවමේ අම්මා මීනා කුමාරි හඬවයිද? විශ්ව පුතේ, කවුරු හැඬෙව්වත් ඔයාගේ රංගනය නම් අතිවිශිෂ්ටයි. සුබ පැතුම්.

එස්. ඒ ප්‍රේමලතා

රුක්ගහතොටුපොල

බණ්ඩාරගම


කාවිංග පෙරේරාට

නොයෙක් මාලිදියේ චරිතවලින් රසික අප පිනවන කාවිංග පෙරේරා ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙකි. ඉදිරියේදී ද තවත් විවිධාකාර චරිත සඳහා දායක වෙමින් ඔබේ හැකියාව පෙන්වන්න. කාවිංග ඔබේ අනාගතය සුබ වෙන්න මගේ සුබ පැතුම්.

වැලිකලගේ සිරිපාල

කීරන්තිඩිය

මතුගම


යොවුන් පෙළට

අත දෙමු මෙසේ

අද මෙරට සිංහල ච්ඍච් චිත්‍රපට නිර්මාණකරුවෝ සැලකිය යුතු ප්‍රේක්ෂකයින් පිරිසක් තමන් වෙත රඳවා ගැනීමට සමත් වී සිටිති. නමුත් මෙම චිත්‍රපට බොහොමයක් හරසුන් නිර්මාණවීම කනගාටුවට කරුණකි. චිත්‍රපටයක් නිපදවීම සඳහා නිෂ්පාදකයෙක් සොයා ගැනීමට නොහැකිව සිටින කුසලතා පූර්ණ යොවුන් නිර්මාණකරුවන් සඳහා ච්ඍච් මාධ්‍යයෙන් හෝ සිය නිර්මාණ එළිදැක්වීමට වගකිවයුත්තන් අනුබලයක් සපයන්නේ නම් මැනවි.

රුවින්ද කොල්ලුරේ

හයිලෙවල් පාර

මීගොඩ


වියානි

ඔබට මොක් සුව

සරසවිය පාඨකයකු ලේඛකයකු මෙන්ම පැරණි ගුවන්විදුලි අසන්නෙකු වූ වෙන්නප්පුවේ වියානි ගුණවර්ධනට මොක් සුව ප්‍රාර්ථනා කරමි.

ජයන්ත අමරතුංග

චන්දන පොකුණ

පොළොන්නරුව


කලා ලොවෙන්

දැහැමි ලොවට

ඩී. කීරගල ආරච්චි, නිරංජලා සරෝජනී, දමයන්ති ජයසූරිය වැනි සිනමා සහ සංගීත ක්ෂේත්‍රයන්හි නිපුණතා දක්වමින් රසික සිත් පිනවමින් අපරිමිත වූ මෙහෙවරක් ඉටු කරන ලද කලාකරුවන්ය. එහෙත් ඔවුන් ක්ෂේත්‍රය අතහැර යාම දරාගත නොහැකි කනගාටුවකි. බොදු පිළිවෙත්වලට අනුව ආගමානුකූල දිවියක් සොයා යන එම ශිල්පි - ශිල්පිනියන්ට අපගේ ආශිර්වාදය මෙසේ සටහන් කරමු.

සරත් ලියනගේ

රන්මුතුගල

කඩවත


හද තුළ රැව් දෙන

මිල්ටන් නාමය

එදා සිට තිරගත වූ චිත්‍රපට රැසක තනිව සහ යුග ගී ගයමින් හෙළ සිනමා අඹර ගීතවත් කළ කිසිදා අමතක නොවන මිල්ටන් පෙරේරා කලා ලොව දිලි දිලී බැබලුන තාරකාවකි. "හිනැහෙන්න මට ඉගැන්වූ", "සිරිසාර බුලත් විට", "සන්සුන් රුවන් හද මන්දීරේ", "සුපුන් සඳක් පායලා", "රන් පොකුණෙන්" ආදි ඔහු ගැයූ සෑම ගීතයක්ම ජනප්‍රිය වී තවමත් ඒ ගී ඇසනා විට මිල්ටන් පෙරේරා නාමය අප හදවත් තුළ රැව්පිළි රැව් දෙනවා.

මිල්ටන් ප්‍රනාන්දු

නව එක්සත් මාවත

මුදුකටුව


නෙතූට තුති

නෙතු ටෙලි නාට්‍යය කුතුහලය සහ හාස්‍ය රසයෙන් යුතු නිසා කම්මැලිකමක් නොමැතිව නැරඹිය හැකිය. නෙතු වෙනුවෙන් අධ්‍යක්ෂ ශාන්ත සොයිසා සහ ස්වාධීන රූපවාහිනි සේවයට මෙන්ම ඒ වෙනුවෙන් දායක වන සියලුම නළු නිළියන්ට අපගේ ස්තූතිය.

ඉඹුල්ගොඩ අබේසිංහ

ශ්‍රියානි ජයසිංහ

අලව්ව


ජගත් චමිලට

ජගත් චමිල ඔබ ජාත්‍යන්තර වශයෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලබා ඇති නළුවකු නිසා හාස්‍යය උපදවන බොළඳ විහිළු වැඩසටහන්වලට සහභාගිවීම අගය නොකරමි.

තිලකරත්න විල්වල

මැණිකේ විල්වල

තටාකය පාර

කෑගල්ල


අගේ ඇති

සොඳුරු දඩයක්කාරයා

මේ දිනවල ධ්ඊව් නාලිකාවේ විකාශ කෙරෙන 'සොඳුරු දඩයක්කාරයා' සහෝදරියන් තිදෙනෙකු වටා ගෙතුන අපූරු ටෙලි සිත්තමක්. තුසිත ද සිල්වාගේ තිර රචනය, අධ්‍යක්ෂණය අගයමි. නීටා ප්‍රනාන්දු, බුද්ධදාස විතානාරච්චි, වසන්ති චතුරාණි, අංජුලා රාජපක්ෂ චරිත නිරූපණය විශිෂ්ටයි.

ක්ලෝඩ් ද ලිවේරා

නාලිනී ද ලිවේරා

මීගමුව


මිහිඳුකුල සූරින්ට

නිරෝගි සුව

පුවත්පත් කලාවේදී සුනිල් මිහිඳුකුල සහෘදයා වෙනුවෙන් ප්‍රණාමය පුද කිරීම කාලෝචිත ක්‍රියාවකි. ඔහුට නිරෝගී සුව, දීර්ඝායුෂ පතමි.

සුනිල් චන්ද්‍රෙස්කර

යාගොඩමුල්ල

කොටුගොඩ


සොඳුරු

මතක තබා ගිය ප්‍රභා

ගුවන්විදුලි සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රථම සිංහල නිවේදිකාව ප්‍රභා රණතුංග ගෙන් මෙරට ගුවන්විදුලියට අමිල සේවයක් ඉටු වූවා සේම, වනිතා ලතා, ළමා රංග පීඨය, හරහා අති දක්ෂ ශිල්පීන් ගණනාවක් හඳුන්වා දීමටත් දුන් දායකත්වය විශිෂ්ටයි. ගුවන්විදුලි මාධ්‍ය දිවිය තම පණ මෙන් සැලකූ ප්‍රභා රණතුංග පසුගිය දා අපෙන් සමුගෙන ගියේ ඇයගේ මතකයන් ඉතිරි කරමිනි. ශ්‍රාවක අප ඇයට නිවන් සුව අත්වේවායි පතමු.

එච් ඉන්ද්‍රපාල

ශ්‍රී සංඝමිත්තා මාවත

මුංහේන


ෆොන්සේකා

පරපුරේ

සමනලිය

සමනලී ෆොන්සේකා ලැබෙන චරිතය ඉතා ඉක්මනින් තේරුම් ගෙන එය මනාව ඉදිරිපත් කළ හැකි දක්ෂ නිළියකි. ඇය ෆොන්සේකා පරම්පරාවෙන් පැවත ඒම නිසා එය එසේ විය හැකිය. "මෝටර් බයිසිකල්", "ප්‍රේමය නම්" චිත්‍රපට ඔස්සේ ඇය ඒ බව කදිමට පෙන්වා ඇත.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය

ජා-ඇල


කලා ලොවට

මිහිර ගෙනා

කරුණාරත්න අබේසේකර

සිරිසේන විමලවීරයන්ගේ අශෝකා චිත්‍රපටයෙන් ගීත රචනයට අත් පොත් තැබූ සිංහල සිනමා වංශයේ සදාතනික ගායක එච්. ආර් ජෝතිපාලයන් සහ මිල්ටන් පෙරේරා ඇතුළුව ගායක ගායිකාවන් රැසකට ගීත පද රචනා කළ කරුණාරත්න අබේසේකර දැයෙන් සමු ගෙන වසර ගණනාවකි. රසික රසිකාවන්ට අමරණීය ගීත රැසක් දායාද කළ එතුමාගේ වියෝව අදට ද දැනෙනා විශාල පාඩුවකි. නිර්මාණකරණය වෙනුවෙන් වන දායකත්වයට දිලීප පුතුටද අපගේ ප්‍රණාමය.

චන්ද්‍රකාන්ති පියතුංග

කැලණිය


අද කෝ ඒ ගී

පැරණි ගී අද තහනම් කළ ගීත වෙලා වගේ. ඉඳහිට හෝ වෙළෙඳ සේවය ඔස්සේ එම ගීතයක් දෙකක් ප්‍රචාරය කෙරෙනවා.

ආරියදාස පිංදෙණිය

බටවල

පාදුක්ක


පාළු නැති යුරේනි

යුරේනි ඔබ ඉන්නා තැන පාළුවක් නැත්තේය. සහජ හැකියාව අවැසි තැනදී ඉදිරිපත් කිරීම අගෙයි. යුරේනි ඔබේ කලා දිවිය සේම පුද්ගලික ජීවිතයත් සාර්ථක වේවායි පතමි.

සුසිලා පතිරාජ

පුබුදුගම

උස්වැටකෙයියාව


වීරයන් බිහි කළ දුෂ්ටයා

සටන් නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු 60 දශකයේ සිට 80දශකය දක්වා මෙරට සිනමාවේ ප්‍රධාන නළුවන්ගේ වීරත්වය වෙනුවෙන් කළ කැපකිරීම අගයමි. "හාර ලක්ෂය", "එදත් සූරයා අදත් සූරයා", "සුහද පැතුම", "යකඩයා", "අද මෙහෙමයි" වැනි සිනමා නිර්මාණ ප්‍රේක්ෂක අපට කිසිදා අමතක නොවේ. ඔබට සුඛී දීඝායුකෝ භව.

ඊ. දයානන්ද ද සිල්වා

සීනිගම

හික්කඩුව


සිරි දළඳා වත අගෙයි

ජාතික රූපවාහිනිය විසින් තෙදිනක්ම ඉදිරිපත් කළ සිරි දළඳා වත වෙසක් වේදිකා නාට්‍යය ඉතාම අපූරු විශිෂ්ට නිර්මාණයකි. අයිවෝ ඩෙනිස්ගේ පසුබිම් ගායනය, ගැඹුරුයි. මිහිරියි. මෙලනි අසෝකා, සඳුන් විජේසිරි ආදී සියලු නළු නිළියන්ගේ රංගනයන් ප්‍රතිභාන්විතයි. පත්තිරිප්පුව, වළාකුළු බැම්ම සමඟ සූර්යයාගේ රැස් වළල්ල සමඟින් ඉදිරිපත් කළ වේදිකාව අලංකාරයි. මෙවැනි අපූරු නිර්මාණයක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් තුති.

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව


සුජාතාවනි සුබ උපන්දිනයක්

ස්වර්ණ තිරේ ගීතේ
ඔබ රජ වූවා මතකේ
සප්ත වර්ණ වූ පියුම් තටාකේ
රිදී සිනූ ඔබවේ කුමරී
රිදි සීනු හඬ ලෙළදේ

ගීත ගඟුලැල් තටාකේ සත්සර නැංවූයේ
ආසිරි පතමු සැම එකලෙස
සුබ උපන්දිනක් කියාලා

රසික සැමගේ ආශිර්වාදයෙන්
දිගුකල් වැජඹේවා කුමරි

රැව්පිළි රැව් දේවා ඔබගේ
ගී කුසුමන් සැමදා
ගී ලොව කළඹාලූ පෙරදා
ඔබේ ගී හද රැන්ඳූ

දෙරණ තලේ ගී කුසුමන් පුබුදා
සැම කල්හිම ගී ගයනු කුමරී

ලාලනී රේණු වික්‍රමසිංහ
පිටකන්ද
මාවතගම
කුරුණෑගල


අමරණීය ජෝති

එදා සේම අදටත් ඔබ හඬ අපට
දැනේ තාම සවනට මිහිරක් හදට
ඔබයි තවම ගී කෝකිලයා මෙරට
ගැයූ ගීත ගුවනේ පාවෙයි නදට

දහසක් ගී ඔබෙ හඬින් පෙරදා ගැයුවාට
ආදර කුමරු හට පිං අප පුදන විට
ඔබගේ රුව මැවේ දහසක් නෙත්වලට
ලොව පවතිනා තුරු නම කියවෙයි අපට

අමරණීය නාමෙන් ඔබ තව ඉන්නට
ගැයු හැම ගීතයන් මතකයේ රැඳෙන්නට
අජරාමර නිවන් සුව තව පතන්නට
මේ ගී මල් ගොතා ලිව්වා මා සරසවියට

සුනිල් බී වේහැල්ල
දෙහිගස්පිටිය
ගෝනපොල හන්දිය