වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




විශ්වජිත්ට අන්තර් ජාතික සම්මානයක්

විශ්වජිත්ට අන්තර් ජාතික සම්මානයක්

ප්‍රංශයේ නීස් නුවර පසුගියදා නිමාව දුටු තෙවැනි නීස් අන්තර් ජාතික සිනමා උලෙළේදී විදෙස් භාෂිත සිනමාපට අංශය යටතේ පිරිනමන හොඳම කැමරාකරණය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීමට මෙරට කැමරා අධ්‍යක්ෂ විශ්වජිත් කරුණාරත්න සමත් විය. ඒ ප්‍රියන්ත කළුආරච්චිගේ රතු සමනල හීනයක් සිනමාපටයේ කැමරාව මෙහෙයවා දැක් වූ ප්‍රතිභාව හේතුවෙනි.

දැඩි ආන්දෝලනයකට ලක් වූ සංජීව පුෂ්පකුමාරගේ ඉගිලෙන මාළුවෝ සිනමාපටය තුළින් කැමරා අධ්‍යක්ෂණයට පිවිසි විශ්ව සිය කුලුඳුල් සිනමාපටය තුළින්ම විදහා දැක් වූ වෘත්තීය දක්ෂතාවය හේතුවෙන් 2012 වසරේ හොංකොං රාජ්‍ය හි පැවති හයවැනි ආසියානු සිනමා සම්මාන උලෙළේදී හොඳම කැමරා අධ්‍යක්ෂවරයා සඳහා වූ අවසන් නිර්දේශිත නාමයන් පහ අතරට ඔහුගේ නම ද එකතු වී තිබිණ. එහෙත් එහිදී ඔහුට සම්මාන හිමිකර ගැනීමට නොහැකි විය. එනමුදු ඉන් වසර පහකට පසුව හොඳම කැමරා අධ්‍යක්ෂවරයා ලෙසින් අන්තර් ජාතිකව බුහුමනට පාත්‍ර වූ විශ්ව එම සම්මානයත් සමඟින් මෙරට අන්තර් ජාතික සම්මාන දිනාගත් සිව්වැනි කැමරා අධ්‍යක්ෂවරයා (වෘතාන්ත සිනමාපටය සඳහා) ලෙසට වාර්තා පොත්වලට එකතු විය. තුෂාර තෙන්නකෝන්ගේ වරිග පොජ්ජ, ශමීර රංගන නාඔටුන්නගේ මෝටර් බයිසිකල් විශ්ව විසින් කැමරා අධ්‍යක්ෂණය කළ සිනමාපට ද්විත්වයකි.


සින්ඩ්‍රෙල්ලා මෙවර දෙරණට නැහැ

ඉනෝකා සත්‍යාංගනී විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ සින්ඩ්‍රෙල්ලා සිනමාපටයේ පළමු කොටස දෙරණ සිනමා සම්මාන උලෙළ 2016 සඳහා තමන් ඉදිරිපත් නොකරන බව ඉනෝකා ලිපියක් මඟින් අප වෙත දන්වා තිබුණි. එයට හේතුව ලෙස ඇය ප්‍රකාශ කොට තිබුණේ සින්ඩ්‍රෙල්ලා සිනමාපටයේ පළමු කොටස ප්‍රදර්ශනය කිරීමේදී මතු වූ ගැටලුකාරී තත්ත්වයන් නිසා එය ප්‍රදර්ශනය නිමාවනවාත් සමඟ එහි දෙවැනි කොටස තිරගත කිරීමට නොහැකි වූ නිසාය. එම සිනමාපටයේ දෙවැන්න ප්‍රදර්ශනය වූ වහාම එම වර්ෂයේ සිනමා උලෙළයන් සඳහා සින්ඩ්‍රෙල්ලා සිනමාපටයේ 1 සහ 2 එකවර යොමුකරන බව ඉනෝකා තවදුරටත් ලිඛිතව සඳහන් කොට තිබිණි


ජයන්තගේ පස්වැන්න ඝරසරප වැඩ ඇරැඹේ - අර්ජුනගේ නිෂ්පාදනයක්

විශිෂ්ට අධ්‍යක්ෂවරයකු වන ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමාපටයෙහි මුහුරත් උලෙළ පසුගියදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් පරිශ්‍රයේදී පැවැත්විණ. ඝරසරප නම් වූ එම සිනමා සිත්තම නිෂ්පාදනය කරනුයේ ජනප්‍රිය චිත්‍රපට නළු අර්ජුන කමලනාත්ය. එහෙත් ඔහු එහි චරිතයක් රඟ නොපෑම විශේෂත්වයකි. දිගු කලකට පසු ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කමල් අද්දරආරච්ච ජයන්තගේ නිර්මාණයක් ඔස්සේ එකට සිය රංග ප්‍රතිභාව දැක්විම ඝරසරප හරහා සිදුවීමට නියමිතය. එමෙන්ම අතුල - සමිතාගේ ආදරණීය දියණි කවින්ද්‍යා අධිකාරි සිනමාවට පිවිසෙන්නේ ද මෙම සිනමාපටයෙනි. ඇය සමග ප්‍රධාන චරිත නිරූපණය කරමින් දෙවුනක පොරගේ නමැති රංගන ශිල්පියකු ද තිරයට හඳුන්වා දේ.

සංගීතා වීරරත්න, කුසුම් රේණු, වසන්ත විට්ටච්චි, අමිශා කාවින්දි, නෙතලි නානායක්කාර, අයිෂ් අතුකෝරල, රජිත හිරාන් චාමිකර, ගාමිණී ජයලත්, සංජීව දිසානායක, මහේන්ද්‍ර වීරරත්න, චතුර පෙරේරා, නෝමන් පලිහවඩන, ජයතිස්ස අතුලසිරි, ජයරත්න ගලගෙදර, ලක්ෂ්මන් රාජපක්ෂ ආදී නළු නිළියන් රැසක් සරසර්ප රංගනයෙන් හැඩ කරයි. අධ්‍යක්ණය මෙන්ම තිර රචනය ද ජයන්ත චන්ද්‍රසිරිගෙනි. ප්‍රභාත් රෝෂන් කැමරා අධ්‍යක්ෂවරයාය. චින්තන ජයකොඩි සංගීතයෙන් දායක වේ. ඩිලාන් ගුණවර්ධනගේ සංස්කරණයකි. පියතිස්ස අකුරම්බොඩ කලා අධ්‍යක්ෂවරයාය. ඉන්දික උදාර ලංකා අංග රචනයෙන් දායක වේ. බාචි සුසාන්, සමිතා මුදුන්කොටුව සමඟ දුමාල් වරණකුලසූරිය ගීත ගායනයෙන් ඝරසරප හැඩකරයි. ගීත රචනා ජයන්ත චන්ද්‍රසිරිගෙනි. නිමල් ෆ්‍රැන්සිස් සහ සරත් සේනාරත්න සහාය අධ්‍යක්ෂවරුන්ය. අජිත් ප්‍රනාන්දුගේ නිෂ්පාදන කළමනාකරණයකි.


විදෙස් මංගල දැක්ම 28 දා

ලකී ඩයස්ගේ කුලුඳුල් සිනමාපටය බ්‍රේකිං නිවුස් හි ප්‍රථම විදෙස් මංගල දැක්ම මෙම මස 28 වැනිද ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ක්ලෙටන් හි මොනැෂ් සිනමා ශාලාවේදී පැවැත්වේ. ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ දහහතර වැනි නිෂ්පාදනය වන මෙය නැසිීගිය රංගනවේදී විජය නන්දසිරි අවසන් වරට රඟපෑ චිත්‍රපට අතරින් එකකි. රෙක්ස් කොඩිප්පිලි, මහේන්ද්‍ර පෙරේරා, හිමාලි සිරිවර්ධන, ගයේෂා පෙරේරා, නයනතරා වික්‍රමආරච්චි, ලසන්ත උඩුකුඹුර, ශිරෝමිකා ප්‍රනාන්දු, බින්දු බෝතලේගම සමඟ ලකී ඩයස් චරිත රංගනයේ යෙදෙයි. ජයන්ත චන්ද්‍රසිරි සහ අමිල තේනුවර ගී පද රචනයෙන් එක් වූ මෙහි සංගීතය දර්ශන රුවන් දිසානායකගෙනි. ඇන්ජලීන් ගුණතිලක, උරේෂා රවිහාරි සමඟ රූනි මෙහි ගී ගැයුමින් දායක වී තිබේ.


ගයමු මීළඟ අදියර 27 දා

රන්වල පදනම මෙහෙය වන ගයමු ප්‍රසංග මාලවේ මීළඟ අදියර මෙම මස 27 වැනිදා සවස නිදහස් චත්‍රරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වේ. මෙය සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මියගේ ආරාධනයෙන් සහන් රංවල ප්‍රමුඛ රන්වල මතු පරපුර නොමිලයේ ඉදිරිපත් කිරීමකි.