වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ෂෝන් කොනරිගේ චිත්‍රපටයක රඟපෑ සිංහල සිනමාවේ “පොඩි පුතා”

ෂෝන් කොනරිගේ චිත්‍රපටයක රඟපෑ සිංහල සිනමාවේ “පොඩි පුතා”

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

වසර 1953 ය. කොළඹ ආනන්ද විද්‍යාලයේ වාර්ෂික සැණකෙළියේ එවර වඩාත් කැපී පෙනෙණ අංගය වූයේ 'විජය හා කුවේණි' තේරීමය. මෙය විවෘත තරගයකි. දිවයිනේ නන් දෙසින් ලස්සන කඩවසම් තරුණ තරුණියන් ඉල්ලුම් කළහ. සැණකෙළිය අවසානයේ සැවොම බලා සිටියේ විජයට හා කුවේණිට තේරෙන්නේ කවුදැයි යන කුතුහලයෙනි. එදා ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රභූවරු, කලාකරුවෝ ආනන්ද ශාලාවට පැමිණ සිටියෝය. නාලන්දයේ ජ්‍යෙෂ්ඨ පන්තියේ සිසුවකු මා ද මේ සඳහා ඉදිරිපත් විය.

මේ මහා තරගයෙන් විජය ලෙස තේරුණේ නාලන්දා ශිෂ්‍ය ආනන්ද වීරකෝන්ය. ලීලා ද සිල්වා කුවේණි වූවාය. මේ දෙදෙනාගේ ඡායාරූප පුවත්පත්වල පළ වූහ. මේ තරගය බැලීමට චිත්‍රපට අධ්‍යක්ෂ සිරිසේන විමලවීර හා ඔහු සමඟ 'අසෝකා' නම් චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සිටි ඊ. ඇම්. ගුණරත්න (මරදානේ ගුණරත්න සහ සමාගමේ අධිපති) පැමිණ සිටියේය. තරගය අවසානයේ සිරිසේන විමලවීරයන් විජයට තේරුණු නාලන්දාවේ ආනන්ද අසලට ගියේය.

"මේ ළමයා චිත්‍රපටයක රඟපාන්න කැමතිද? අපි අලුත් චිත්‍රපටයක් කරනවා "අසෝකා" කියා."

"කැමතියි මහත්තයා"

"හෙට කිරිබත්ගොඩ නවජීවන ස්ටුඩියෝවට එන්න. 'ස්ක්‍රීන් ටෙස්ට්' එකක් කරන්න."

මේ අවස්ථාව ගැන සිංහල සිනමාවේ අද ජීවත්වන ජ්‍යෙෂ්ඨ නළුවකු වූ ආනන්ද වීරකෝන් අප සමඟ මෙසේ කීවේය.

දිගු කලක් එංගලන්තයේ ජීවත් වූ ආනන්ද දැන් කෙටි විවේකයකට ශ්‍රී ලංකාවට පැමිණ සිටී. ඔහු පදිංචිව සිටින්නේ රාජගිරියේ ධර්මපාල මාවතේ ෆ්‍රයිම් රෙසිඩන්සි හි අංක 526/5/2 නිවසේය.

'එදා විමලවීර මාස්ටර්ගේ නවජීවන චිත්‍රාගාරයට ගියාම මට 'අසෝකා' චිත්‍රපටයේ කතා පිටපතින් දෙබස් ඛණ්ඩයක් කියවන්න දුන්නා.

'ආනන්දව අපි චිත්‍රපටයේ විලන් (දුෂ්ටයා) ලෙස තෝර ගන්නවා' විමලවිීර මාස්ටර් කිව්වා.

මට 'අසෝකා' චිත්‍රපටයේ හැරී හාමුගේ චරිතය ලැබුණේ. මම මුලින්ම රඟපෑවේ ප්‍රේම ගීතයක්. මගේ පෙම්වතිය ලෙස රඟපෑවේ (ප්‍රේමා) ප්‍රේමකාන්ති. මේ ගීතය රූපගත වුණේ වික්ටෝරියා පාක් එකේ' ආනන්ද කීවේය.

'පෙම් සුවඳයි - මංගල සිරි දෙයි
සිරිබර පෙම් මල් උයනේ
සැළලිහිණි ගිරා කැල
ප්‍රේම කතාවෙන් නැළවෙති තුරු සෙවණේ'

(ධර්මදාස වල්පොල හා චිත්‍රා සෝමපාල ගැයූ මේ ගීතයේ සංගීතය පී. එල්. ඒ. සෝමපාලගෙනි).

තමා රඟපෑ හැරී හාමුගේ චරිතය සඳහා විමලවීර මාස්ටර් මුලින් තෝරා ගෙන සිටියේ සේනාධීර කුරුප්පු බව ආනන්ද අපට කීවේය.

දොන් ආනන්ද වීරකෝන් 1934 සැප්තැම්බර් 20 වෙනිදා වැල්ලම්පිටියේ උපත ලැබුවේ සොහොයුරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා ලෙසය. ඔහුගේ පියා වූ දොන් විලියම් වීරකෝන් කොළඹ ඉන්දියානු සමාගමක ගණකාධිකාරීවරයකු ලෙස සේවය කළේය. තම එකම පිරිමි දරුවා උපන් දිනය දා එංගලන්තයේ ග්ලොස්ටර් ආදිපාදවරයා ලංකාවට සම්ප්‍රාප්ත විය. අසල නිවසක පදිංචිව සිටි මිතුරෙක් විලියම් වීරකෝන්ට මෙසේ කියා ඇත.

'විලියම් අද හොඳ දවසක්, අපි පුතාට ග්ලොස්ටර් කියල නම තියමු'

මේ අනුව වීරකෝන් පවුලේ එකම පිරිමි දරුවා දොන් ග්ලොස්ටර් වීරකෝන් විය. ඒත් දරුවාගේ මව බැතිමත් බොදු මතාවක් වූ අමරාවතී වීරකෝන් ග්ලොස්ටර් නමට අකමැති වූවාය. ඇය යෝජනා කළ 'ආනන්ද' යන නාමය උප්පැන්නට එක් විය. ආනන්ද අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්ද විද්‍යාලයේය. ඔහුගේ සමකාලීන සිසුන් වූයේ කරුණාරත්න අබේසේකර, ගුණදාස අමරසේකර, හෙන්රි ජයසේන, චිත්‍රානන්ද අබේසේකර, රිජ්වේ තිලකරත්න, රූපා කරුණාතිලක, සුගතමුණි ඥානසිරි ආදීන්ය. ගුණරත්න අබේසේකර හා ජයවික්‍රම පෙරේරා (අමාත්‍ය) එකම පංතියේ සගයන් වූහ.

'මම පුංචි කාලෙ ඉඳලම කලාවට ආදරෙයි. නාලන්දේ නැටුම් උගන්වන්න ශේෂා පලිහක්කාර ආවා. මම මේ පන්තියට බැඳුණා. ඒ වගේම විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්ඩායමටත් ඇතුළත් වුණා. සති අන්තයේ ශේෂාගේ නැටුම් පන්තියට ගියා. මේ නැටුම් පන්තියට ටයිටස් තොටවත්ත, සුජාතා ප්‍රනාන්දු (තොටවත්ත), ශාමෙන් වෙන්ඩකෝන් (රවී ජයවර්ධනගේ පළමු භාර්යාව), ලීනා ද සිල්වා (චිත්‍රපට නිළි) ආවා. 1954 එළිසබත් මහ රැජින ලංකාවට පැමිණි විට කොළඹ රීගල් සිනමා ශාලවේ තිබුණු 'පැජන්ට් ඔෆ් ලංකා' ප්‍රසංගයේ ශේෂා ඉදිරිපත් කළ බැලේ එකේ අපි සේරම නර්තන ඉදිරිපත් කළා. ආනන්ද කලාවට අවතීර්ණ වූ ආකාරය අපට විස්තර කළේය.

'අසෝකා' චිත්‍රපටයට තම පුතා තෝරාගෙන ඇති බව දැනගත් පියා පරළ වී ඇත. කොළොන්නාවේ පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ලවා අවවාද කළහ. එහෙත් ආනන්ද සිනමාවට පෙම් බැන්දේය. 'අසෝකා' චිත්‍රපටයෙන් පසු විමලවිර මාස්ටර් අධ්‍යක්ෂණය කළ 'පොඩි පුතා' චිත්‍රපටයේ පාල පොඩි පුතා ලෙස රඟපෑමට තෝරා ගත්තේ ද ආනන්දය. 'මගේ ජීවිතයේ අමතක නොවෙන සිහිවටනයක් 'පොඩි පුතා'. විමලවීර මාස්ටර් ගැන මට තිබුණේ භක්තියක්. මුල් යුගයේ සිංහල චිත්‍රපට හදන්න දකුණු ඉන්දියාවට යන අතරේ විමලවීර මාස්ටර් දහ දුක් විඳගෙන කලාවට අවංක ආදරයෙන් තමාගේ දුප්පත් නවජීවන චිත්‍රාගාරයේ චිත්‍රපට හැදුවේ. මම මුදල් බලාගෙන රඟපෑවේ නෑ. මම වගේම හැම නළු නිළියක්ම මුදල් අමතක කරලා මාස්ටර්ට උදව් කළා. 'පොඩි පුතා' චිත්‍රපටයේ මම මාතර දුම්රිය ස්ථානය අසල රඟපෑ දර්ශනයක් මට කිසිදා අමතක වන්නේ නෑ.

මගේ පියා සුද්දප්පු ලෙස රඟපෑවේ විමලවීර මාස්ටර්. මම පුතා වුණාට 'මේ තාත්ත' කියලා දන්නේ නෑ. තාත්තා රික්ෂෝවක් ඇදලා ජීවත් වෙන්නේ. මම නඟින රික්ෂෝව අදින්නේ තාත්තා බව මම දන්නේ නෑ. ටික දුරක ගියාමයි 'මේ තාත්තා නේද' කියලා දැනගන්නේ. තාත්තාත් පුතත් අඳුන ගන්නවා. තාත්තා පුතාව බදා ගන්නවා. මේ දර්ශනයේදී මට ඇත්තටම ඇඬුණා. සිරිසේන විමලවීර නම් අති දක්ෂ නළුවාගේ දක්ෂතා මා දැක ගත්තේ එදා. ඔහුට දරුවන් වෙනුවෙන් අප්‍රමාණ දුක් කන්දරාවක් විඳින මේ අපූරු චරිතය රැගත් 'පොඩි පුතා' චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස 'දීපශිඛා' සම්මාන දිනා ගන්නවා' ආනන්ද කීය.

ආනන්ද 'පොඩි පුතා' චිත්‍රපටයේ රැකියා සොයමින් යන දර්ශනය එදා චිත්‍රපටය බැලූ ප්‍රේක්ෂකයින්ට මතක ඇත. 'මෝ වේකන්සීස්' නම් බෝඩ් එල්ලා මේ ගීතය ගයමින් ඔහු නගරයේ සැරිසරයි.

'නෝ වේකන්සීස්, මෝ වේකන්සීස්
නෝ වේකන්සීස්
ඇබෑර්තු නෑ නෑ
ඉංග්‍රිස් බීලා විභාගෙ ගත්තට
රක්ෂාවල් නම් තොප්පී
නො වේකන්සීස්
ඇබෑර්තු නෑ නෑ'

ආනන්ද වැඩි චිත්‍රපට ගණනක රඟපෑවේ නැත. අසෝකා (1955) පොඩි පුතා (1955) චිත්‍රපටවලට පසු ඔහු රඟපෑවේ 1956 තිරගත වූ 'රේඛාව' චිත්‍රපටයේය.

'පොඩි පුතා' මංගල දර්ශනය නැරැඹීමට පැමිණි ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිත ගියේ 'පොඩි පුතා' ලෙස රඟපෑ ආනන්ද වෙතය.

'මේ දිනවල විවේකයක් තියෙනවද?' ලෙස්ටර් ඉංග්‍රීසියෙන් ආනන්දගෙන් ඇසීය.

ආනන්ද සිනාසුණා මිස කිසිවක් කතා නොකළේය.

'අපි රේඛාව චිත්‍රපටයක් කරනවා. රඟපාන්න සතුටුද?'

'සත්තකින්ම' ආනන්ද කීය.

'රේඛාවේ ඔරුකාරයා මම. මේ චරිතයට මුලින් තෝරගෙන හිටියේ ශේෂා පලිහක්කාරලු. පස්සේ ශේෂා බොරු කකුල්කාරයා වුණා. 'රේඛාව' චිත්‍රපටයේ මා ගයමින් පාරුව පැද වූ සිසිර සේනාරත්න ගැයූ මේ ගීතය නම් තව වසර ගණනක් රසිකයන්ගේ හදවතේ පවතීවි.'

'ඕළු නෙළුම් නෙරිය රඟලා
කිකිණි හඬන වලා නඟාලා
ගඟුල් තොටිල්ලේ - මල් ඇතිරිල්ලේ
මගේ කුඩා ඔරුව හබල් ගා'

ආනන්ද ඉන්පසු ජීවිත සටන, සුකුමලී (1957), මා ආලය කළ තරුණිය (1959), වනමල (1960) චිත්‍රපටවල රඟපෑවේය. ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ 'ජීවිත සටන' චිත්‍රපටයේ ඔහුගේ පෙම්වතිය වූයේ සීතා ජයවර්ධනය. එස්. එම්. සිවසාමිගේ 'සුකුමලී' චිත්‍රපටයේ ඔහුගේ පෙම්වතී අයේෂා වීරකෝන්ය. මේ චිත්‍රපටයේ ආනන්ද වළසෙකුත් සමඟ කරන සටන හිතන විට තමාගේ ඇඟ කිළිපොලා යන බව පවසයි. 'මා ආලය කළ තරුණිය' චිත්‍රපටයේ (දුෂ්ට චරිතයක් රඟපෑ) සහ 'වනමල' චිත්‍රපටයේ ඔහුගේ පෙම්වතී වී ඇත්තේ කුමාරි මානෙල්ය. තමා රඟපෑ හොඳම චරිතය 'වනමල' බව ආනන්ද කියයි.

1960 දී ඔහු එංගලන්තය බලා ගියේය. ඊට කලින් ඩබ්ලිව්. එම්. එස්. තම්පෝගේ චිත්‍රපටයකට ඔහු තෝරාගෙන තිබුණි. එහි ප්‍රධාන නිළිය වූයේ ප්ලොරිඩා ජයලත්ය. අත්තිකාරම් මුදලක් ද ලබා ඔහු මාක් සමරනායක යටතේ පුහුණුවිම් කළ පසුව එම චරිතයට වෙන කෙනකු තෝරා ගෙන ඇත. සිනමාව ගැන කලකිරුණු ඔහු එංගලන්තය බලා ගොස් එහිදී රක්ෂණ සමාගමක විධායක නිලධාරියකු විය.

එංගලන්තයේදී ජී. ඩී. එල්. පෙරේරා අධ්‍යක්ෂණය කළ 'රට ගිය ඇත්තෝ' ටෙලි නාට්‍යයේ රඟපෑ ඔහු එම්. ජී එම්. චිත්‍රාගාරයට ගොස් සිනමාව ගැන අධ්‍යයනය කළේය. ශ්‍රේෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂවරු චිත්‍රපට මෙහෙය වන අයුරු දැක බලා ගත් ඔහුට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල රඟපෑ ජෝන් කොනරි රඟපෑ Frightened City චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබී ඇත.

1972 ජානකී ජයකොඩි සමඟ විවාහ වූ ආනන්දට පුතුන් දෙදෙනෙකි. ජානකී හිටපු සංස්කෘතික කටයුතු ඇමති ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ සොහොයුරියකි. ඇය ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කොට 'සිකුරු තරුව' නමින් සංගීත තැටියක් ද නිකුත් කළාය. ආනන්ද හා ජානකීගේ වැඩිමහල් පුතු රේණුක දැනට ඇමරිකාවේ ද, දෙවැනි පුතු නාලක ලන්ඩන්වල රැකියා කරති. මුනුබුරන් තිදෙනෙකු හා මිනිබිරියකගේ සුරතල් බලමින් ආනන්ද හා ජානකී ලන්ඩනයේ විවේකීව ගත කරති.