වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දිනුම මට විතරක් නොවේ මගේ රටටම

මේ දිනුම මට විතරක් නොවේ මගේ රටටම

- චුලක්ෂි රණතුංග

ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරන ලද දේදුනු ආකාසේ චිත්‍රපටය පිළිබඳ අද ඔබට දැනගන්නට ලැබෙනවා. හැබැයි එයටත් වඩා වැදගත් වනුයේ ඒ සමඟින් සිනමාවට එක්වන චුලක්ෂි රණතුංගගේ ජාත්‍යන්තර ජයග්‍රහණයයි.

ශ්‍රී ලාංකිකයකු ලෙස ඇය ලද ජයග්‍රහණය පිළිබඳ අප අගය කළ යුතුයි. මේ සංවාදය ඒ ගැනය.

* චුලක්ෂි පළමුව කියන්නකො මෙම තරගාවලිය ගැන?

ඒකේ නම International Best Female Model World 2017. රටවල් විස්සකින් මේ සඳහා තරගකාරියන් සහභාගි වුණා. ලංකාවෙන් මම ගියේ. Best Photogenic, Miss Cat Walk, Best Traditional Costume  වැනි අංශ රැසක් යටතේ තරගකරුවන් තරග වදිනවා. ස්පාඤ්ඤයේ මෙය පැවැත්වුණේ.

* ඔබ ජයග්‍රහණය ලැබුවේ මේ සියලු අංශවලින්?

ඔව්. ඒ කියන්නේ තරගාවලියෙම ජයග්‍රාහකයා මම.

* මොකද හිතෙන්නේ?

මට පළමුව කියන්න තියෙන්නේ මේක මට විතරක් ලැබුණ ජයග්‍රහණයක් නෙවෙයි. සමස්ත රටටම ලැබුණ කිරුළක් සහ ආඩම්බරයක්. අප වගේ පුංචි රටක් නියෝජනය කරලා දැවැන්ත රටවල් පරදලා ෙමි ජයග්‍රහණය ලැබීම මා ලද භාග්‍යයක්.

* කොහොමද ඔබට මෙම තරගාවලියට යන්න අවස්ථාව ලැබුණේ?

Walk With Bryan නමැති ඇකඩමිය පවත්වාගෙන යන බ්‍රයන් සහ කමිල් හේවාවිතාරණ මාර්ගයෙන් තමයි මට මේ නියෝජනය කිරිමට අවස්ථාව උදා වුණේ. ඒ අයගේ ගුරුහරුකම් නිරන්තරයෙන් මට ලැබුණා.

* ස්පාඤ්ඤයේ ගත කළ ජීවිතය ගැන මොනවද කියන්න තියෙන්නේ?

හරිම සුන්දර රටක්. එහෙ එතරම් ජනගහණයක් නැහැ. කෑම බීමත් හොඳයි. හරිම සුන්දරයි ඒ ගත කළ ජීවිතය.

* මෙවන් වූ තරගාවලියකට සහභාගී විමේදී කොට ඇඳුම්, විශේෂයෙන් බිකිණිය අඳින්න වෙනවා?

ඒක තරගාවලියේ හැටිනෙ. ඕඥඵබ ජ්ඪඨභපඥ කැටගරි එකට තරගවදිද්දී බිකිණිය ඇඳීම අනිවාර්යයයි. නැත්නම් කොහොමද ඇඟේ හැඩය පෙන්වන්නේ. ඇතැම් අයට මැජික් වුණාට තරගාවලියකට ඒක සාමාන්‍යයි. අපි බලන්නේ වැරැදි ඇහෙන්. මුලින්ම කළ යුත්තේ දෙයක් දිහා නිවැරැදි කෝණයෙන් බලන එක. මං අර කලින් කිව්වා වගේ මේක රට වෙනුවෙන් ලැබුණු ජයග්‍රහණයක්. මගේ අවශ්‍යතාවයකට නොවෙයි එහෙම ඇන්දේ. සමස්ථ තරගාවලියම නියෝජනය කරන්න. මැදහත් සිතින් බැලුවොත් හැමදේම නිවැරැදිව පේනවා.

* චුලක්ෂි දැන් සැලකිය යුතු තරගාවලියක ජයග්‍රාහිකාවක්. ඒ හේතුවෙන් ඔබ ඔබේ රංගන කටයුතු සඳහා ගන්නා මිල ඉහළ ගියාද?

මේ වෙනකම් මං බාරගත්තු වැඩ කතා කරගත් මුදලට කරනවා. ආයේ නිර්මාණයකට කතා කරද්දී ඒ අය මං ගැන සැලකිලිමත් වෙලා මිලක් නියම කරාවි. මම මගේ මිල ඉහළ දමා ගන්නේ නැහැ. මං තරගයකින් දින්නා කියලා මගේ මිල දැන් ඉහළයි කියලා මම කියන්නේ නැහැ. මට වැඩවලට කතා කරන අය මගේ මිල ගැන සැලකිලිමත් වේවි කියලා හිතනවා.

* අපේ බහුතරයක් නිර්මාණකරුවන් හරි මිලක් නියම කරන්නේ නැහැනෙ. පුළුවන් තරම් අඩු මිලටනෙ නිර්මාණවලට කතා කරන්නේ?

ඒක නම් එහෙම තමයි. මං හොඳ නිර්මාණයකට කතා කරයි කියන විශ්වාසෙන් ඉන්නවා.

* චුලක්ෂි වැඩිපුරම කැමැති මාධ්‍ය කුමක්ද?

සිනමාවට තමයි ගොඩක් කැමැති. පුළුල් තිරයේ රංගනය තුළින් මගේ රංගන ජීවිතයට වැඩි යමක් ලැබෙයි කියන විශ්වාසෙන් ඉන්නවා.

* එතකොට ටෙලි නාට්‍ය? මියුසික් වීඩියෝ?

ටෙලි නාට්‍ය නොකරනවයි කියන මතයේ නැහැ. නමුත් මියුසික් වීඩියෝවල නම් රඟපාන්නේ නැහැ.

* හේතුව?

මට අවශ්‍ය රිදී තිරයේ නිර්මාණවලට දායක වෙන්න. ඒක තමයි තියෙන ආසාව. ඒ හින්දා මියුසික් වීඩියෝ කරන්නේ නැහැ.

* මේ තරගාවලියේ ජයග්‍රහණයෙන් පස්සේ ඔබට විදෙස් නිර්මාණවලට දායකවීමට අවස්ථාව ලැබුණේ නැතිද?

අර්මේනියාවේ නිර්මාණයකට කතා කළා. නමුත් තවම ඒකට යනවාද නැද්ද කියලා තීරණය කරලා නැහැ.

* ඔබ දින කිහිපයක් ස්පාඤ්ඤයේ ගත කළා. ඒ රටේ සහ මෙරටේ කලාව අතර ඇති තත්ත්වයන් මොන විලසට ද ඔබ දකින්නේ?

එකිනෙකට වෙනස්. තාක්ෂණය අතින්, නිර්මාණ අතින් වෙනමම තැනක ඔවුන් ඉන්නවා. මං හිතන්නේ අප රටට වඩා ඒ රටේ සිනමාව ඉදිරියෙන් සිටිනවා.

* චුලක්ෂි කතාබහ කරන විදිහට හිතෙනවා ටිකක් ආඩම්බරකාරියක් කියලා?

අනේ නැහැ. මේ හැටි. ගැහැනු ළමයකු විදිහට පොඩි ආඩම්බරයක් තියෙන්න ඕනෑ. ඒ උඩඟුකම නෙවෙයි. උඩඟු වුණොත් ලොකුකම පෙන්නගෙන හිටිියොත් ඒක තමයි හොඳ නැත්තේ.

* Lip Kiss එකක් තියෙන නිර්මාණයකට ඔබට කතා කළොත් ඊට දායක වෙනවාද?

දෙතොල් සිප ගැනීමේ දර්ශන යම් නිර්මාණයක ඇත්නම් එය ඊට අදාල විය යුතුයි. එහෙම ඇත්නම් අධ්‍යක්ෂවරයා සහ මගෙත් එක්ක ඒ දර්ශනයට පෙනී සිටින නළුවා හා කතා කරලා මං ඒ දර්ශනය සිදු කරනවා. වැඩියෙන්ම නැති වුණත් දේදුනු ආකාසේ සිනමාපටය වෙනුවෙන් මං එහෙම දර්ශනයක පෙනී සිටියා.

* ඔබගේ පෞද්ගලික ජීවිතයට යම් හානියක් නොවේද එවන් වූ දර්ශනවලට පෙනී සිටීම?

යම් කිසි නිර්මාණයකට මං දායක වෙනවා නම් මං මාවම අමතක කරලා දානවා. ඒ චරිතයට අනුගතවීම සහ මං එම චරිතය තුළ ජීවත්වීමයි මා සිදු කරන්නේ. එතකොට එතැන ඉන්නේ මම නෙවෙයි. හුදෙක්ම ඒ චරිතයක් පමණයි. පෞද්ගලික ජීවිතයයි කලා ජීවිතයයි පටලගන්න හොඳ නැහැ. එතකොට තමයි ගැටලු. වාසනාවට මං රඟපාන චරිත ගැන මගේ ගෙදර අයට නම් ප්‍රශ්න නැහැ.

* එතකොට ඔබේ පෙම්වතාට?

පෙම්වතෙක් නැහැනෙ.

* මොනවද ඉදිරි බලාපොරොත්තු?

හොඳ නිර්මාණවලට දායක වෙමින් ලංකාවට කීර්තියක් අත් කර දෙමින් වටිනාකමක් ඇති කලාකාරිණියක් ලෙසින් ජීවත්වීම තමයි එකම බලාපොරොත්තුව.