වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




රත්නපුරේ ශිවංක හිමියන් අපවත් වීම හා කමල්ගේ මානව දයාව

රත්නපුරේ ශිවංක හිමියන් අපවත් වීම හා කමල්ගේ මානව දයාව

සරසවිය පුවත්පතේ මාධ්‍යවේදියකුව සිටි අද අප අතර නැති සුනිල් හොරේෂස් බොහෝ කලකට පෙර කී ප්‍රකාශයක් මට සිහිපත් විය.

‘සිනමා පත්‍රකලාවේදියා, නළු නිළියන්ට ආලෝකය දී නිවී යන ඉටිපන්දමකි.’ මේ කියමන සනාථ කරමින් පසුගියදා අප අතරින් සමුගත් ධර්මදාස කීරගලආරච්චි හෙවත් ඩී. කීරගලආරච්චි පසුව පැවිදි වූ රත්නපුරේ ශිවංක හිමියන්ගේ ආදාහනය සිදු කෙරිණ.

හැත්තෑවේ දශකයේ ‘විසිතුර’ පුවත්පත තුළින් සිනමා ලේඛකයකු ලෙස දොරට වැඩි කීරගලආරච්චි හෙවත් ‘කී රාළ’ නමින් ද ලිපි සිය ගණනක් ලියූ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකි. රේඩියෝ නාට්‍ය කලාවේ ප්‍රවීණත්වය නිසා ඔහුට ගුවන් විදුලියේ දොර විවෘත කර දුන්නේ සුගතපාල ද සිල්වාය. ඉන් පසු ඔහු ‘උරුවිසි‘ නමින් වේදිකා නාට්‍යයක් ද නිෂ්පාදනය කළේය. කීරගලආරච්චි සිනමා ලේඛකයකු ලෙස කලා ලොවට මුලින්ම හඳුන්වා දුන්නේ ‘විසිතුර’ පුවත්පතේ කර්තෘ ආතර් යූ. අමරසේනය. මගේ මතකය හරි නම් විසිතුරට වැඩිම විශේෂාංග ලියූවේ ඔහුය. ආතර් යූ. අමරසේන විසිතුරෙන් ඉවත් වූ පසු ආරම්භ කළ ‘පියකරු’ ‘ප්‍රියාවි’ ඇතුළු සෑම සිනමා පුවත්පතකම ප්‍රධාන විශේෂාංග ලියුවේ ඔහුය. ඔහු තරම් නවක නළුවන් හා නිළියන් තම විශේෂාංග ලියූ සිනමා පුවත්පත්වලින් මුල්වරට හඳුන්වා දුන් ලේඛකයෙක් නැති තරම්ය. හැම විටම ලාභ ප්‍රයෝජනයෙන් තොරව සහෝදරත්වයෙන් ඉහළට ඔසවා තැබූ ලේඛකයකු ලෙස ද ඔහු කළ මෙහෙය සුළු පටු නොවේ.

චිත්‍රපට තිර නාටක රචකයකු ලෙස ද ඔහු ‘අමල් බිසෝ’ ‘පාරමිතා’ චිත්‍රපටවලින් ප්‍රතිභාව දැක් වීය.

ඔහු පසුව පැවිදි ජීවිතයට එක් වූයේ රත්නපුරේ ශිවංක හිමි නමිනි. ඉන්පසු වරින්වර කතරගම කිරි වෙහෙර, රුවන්වැලි මහා සෑය අසල භාවනානුයෝගීව වැඩ සිටි ඒ හිමියන් අපට දක්නට ලැබිණ.

රෝගීව ආරෝග්‍ය ශාලවේ සිටින සෑම විටම ශිවංක හිමිට පිහිට වූ එකම මිතුරා හා ඥාති නොවූ ඥාතියා ප්‍රවීණ සම්මානනීය චිත්‍රපට නළු කමල් අද්දරආරච්චිය. කමල් මෙන්ම ඔහුගේ බිරිඳ, මව හා සොහොයුරිය ඒ හිමියන්ට උපරිම උපස්ථාන අවසන් මොහොත වන තුරුත්, අවසන් කටයුතු සඳහා ද මූලිකත්වය ගත්තේ ඉහ වහා ගිය මානව භක්තියෙනි.

ශිවංක හිමියන් අවසන් හුස්ම හෙළද්දී යෝගට් කෝප්පයක් කවමින් වැළඳීමට දුන්නේ ද කමල්මය. එතැන් සිට සියලු කටයුතු සඳහා පුරෝගාමිත්වය ගත්තේ ද අද්දරආරච්චි පවුලය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි කහවලට කතා කොට මාධ්‍යවලට හා කලාකරුවන් දැනුම්වත් කොට කටයුතු සංවිධානය කළේ ද කමල්ය.

මෙතරම් කලා ලොවට අනුග්‍රහ දක්වමින් කලාකරුවන්ගේ පුංචි ආරංචිය පවා තමා අතින් ලියා සිනමා පුවත්පත්වල පළ කළ එදා කීරගලආරච්චිට කළ ගුණ සැලකුවෝ කී දෙනෙක් එදා කනත්තට රැස් වූවාදැයි සිතන විට වේදනාවක් ඇති වෙයි. ශ්‍රියාණි අමරසේන, වීණා ජයකොඩි, ඉනෝකා අමරසේන, ක්ලීටස් මෙන්ඩිස්, සඳුන් විජේසිරි, නීතිඥ ප්‍රසාද් සූරියආරච්චි, රෝහණ සිරිවර්ධන, තිලකරත්න කුරුවිට බණ්ඩාර, රංජිත් ලියනගේ, සිරි කහවල, දයාරත්න රටගෙදර, රොඩ්නි විදානපතිරණ, සිරිල් ආරියපාල, යාපා බණ්ඩාර සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඩී. කේ. නවරත්න එදා ශිවංකර හිමියන්ගේ ආගමික කටයුතු කරන අවස්ථාවේ සිට ආදාහනය කරන තුරු රැඳී තම ගුණගරුක බව, උපහාරය පුදකර සිටියෝය.

ශිවංකර හිමියන් වෙනුවෙන් ධර්ම දේශනාවක් හා පසුදා දානයක් පිරිනැමීමට කමල් පැමිණ සිට පිරිසට ආරාධනය කළේය. අද්දරආරච්චි පවුලේ අය දෙහිවල පියරත්නාරාමයේ මේ ආගමික චාරිත්‍රය ඉටු කළහ. කමල් ඔබට හා පවුලේ සැමට අපේ සහෝදර පත්‍ර කලාවේදියා වෙනුවෙන් පින්.

සුනිල් හොරේෂස් කීවා සේ කලා ලොවට එළිය දී දැල් වූ ඉටිපන්දමක් නිවී යන්නා සේ ඔබ වහන්සේ ද නිවන් පුරට යන්නට ඇති. ඔබ වහන්සේට නිවන් සුව.