වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




තවම මම තනිකඩයි

තවම මම තනිකඩයි

අලි කතාව සමඟ තිරයට එන තාරුකා වන්නිආරච්චි

එවැනි චරිත තිබෙන චිත්‍රපට ඕනෑතරම් මා නරඹලා තිබෙනවා. එවැනි චරිත තිබෙන පොතපත මා කියවා තිබෙනවා. පසුගිය කාලයේ මට අංගොඩ මානසික රෝහලේ රූගත කිරීමකට සහභාගි වීමට ලැබුණා. ඒ ලැබූ අත්දැකීම් මගේ සිතේ ලියැවිලා තිබුණා. එවැනි අත්දැකීම් චරිතයක් ගොඩනැඟීමේදී මට උපකාරී වුණා.

මේ දවස්වල තාරුකා වන්නිආරච්චිගේ රුව රූපවාහිනි නරඹන්නන්ට නුපුරුදු රුවක් නොවෙයි. ඒ ඈ සතියේ දින පහේ ම හිරු රූපවාහිනියේ ‘කවුරුන්ද ඔබ මගේ’ ටෙලි නාට්‍යය ඔස්සේ ඔබගේ නිවෙසට පැමිණෙන නිසා. මේ දවස්වල පුංචි තිරයේ වගේ ම රිදී තිරයෙත් තාරුකාගේ රුව දිලෙන්න අරගෙන. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘අලි කතාව’ චිත්‍රපටයෙන්. නර්තනයට වගේ ම රංගනයට හපන් තාරුකා තමන් රඟපාන නිර්මාණ ගැන ‘සරසවිය’ සමඟ කතාබහකට පිවිසුණේ කාලයකට පස්සේ.

ඔබ රඟපාන ‘කවුරුන්ද ඔබ මගේ’ ටෙලි නාට්‍යය කා අතරත් ජනප්‍රියයි ද?

එහි නිසලිගේ චරිතයට බොහෝ අය ආදරය කරන බව පෙනෙන්නේ ලැබෙන ප්‍රතිචාරත් එක්කයි. ඈ ජීවිතයේ බොහොම හැලහැප්පීම්වලට ලක්වන චරිතයක්. ඉවසීම උපරිමයෙන් ම තිබෙන චරිතයක්.

ඔබට සැබෑ ජීවිතයේ ඒ තරම්ම ඉවසීමක් නැහැ නේද?

ඇත්තම කිව්වොත් සැබෑ ජීවිතයේදී ඒ තරම්ම ඉවසීමක් මට ඇත්තේ නැතිතරම්.

‘දැනට තිරගත වන ‘අලි කතාව’ ඔබගේ කී වැනි චිත්‍රපටයද?

මේ මගේ තුන්වන චිත්‍රපටයයි. පළමු චිත්‍රපටය ‘මහරජ ගැමුණු’යි. ‘අලි කතාව’ තිරගත වුණු දෙවැනි චිත්‍රපටයයි.

ඔබට මේ චිත්‍රපටයේ චරිතය ලැබෙන්නේ කොහොම ද?

මේ චරිතයට මගේ නම යෝජනා වී තිබුණේ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂතුමා ඇතුළු මණ්ඩලයක් මඟින්. එපමණයි මා දන්නේ.

ඔබ මෙහි චරිතය ප්‍රතිනිර්මාණය කරන්නේ කුමන අයුරින් ද?

මේ කතාව සුරංගනා කතාවක්. රජ බිසවකගේ චරිතයක්. එවැනි චරිත මීට පෙර රඟපාලා තිබෙන නිසා රජ බිසවකට රඟපෑම මට අපහසු වුණේ නැහැ. දරුවකු නැතිව, වෙනත් දරුවකු කෙරෙහි මව් සෙනෙහසක් ඇතිවුණු චරිතයක්. දරුවන්ට, පරිසරයට වගේ ම සත්තුන්ට ආදරය කරන්න කියන හොඳ පණිවුඩයක් දෙන චිත්‍රපටයක්. මේ චරිතය අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන උපදෙස් පරිදි, මට දැනෙන ආකාරයට මා නිරූපණය කළා.

මවක් වුණත් ඈ උමතු කාන්තාවක්

එහි එක ස්ථානයකදියි ඈ උමතු භාවයට පත්වන්නේ. එවැනි චරිත මීට පෙර දැකලා තිබෙන නිසා මේ විදියට කළ යුතුයි කියන අදහස ඔළුවට එනවා. ඒ හරහායි මා මේ චරිතය නිරූපණය කළේ.

ඔබ උමතු චරිතය නිරූපණය සඳහා යම් අධ්‍යයනයක නිරත වූවා ද?

එවැනි චරිත තිබෙන චිත්‍රපට ඕනෑතරම් මා නරඹලා තිබෙනවා. එවැනි චරිත තිබෙන පොතපත මා කියවා තිබෙනවා. පසුගිය කාලයේ මට අංගොඩ මානසික රෝහලේ රූගත කිරීමකට සහභාගි වීමට ලැබුණා. ඒ ලැබූ අත්දැකීම් මගේ සිතේ ලියැවිලා තිබුණා. එවැනි අත්දැකීම් චරිතයක් ගොඩනැඟීමේදී මට උපකාරී වුණා.

කුඩා ළමයින් සමඟ කටයුතු කිරීම පහසු වුණා ද?

‘අලි කතාව’ චිත්‍රපටයේ රඟපෑමට පෙර මා විවිධ අවස්ථාවලදි පුංචි ළමයින් සමඟ වැඩ කරලා තිබෙනවා. මගේ පවුලෙත් පුංචි ළමයි ඉන්නවා. ඒ අය සමඟ ඉක්මනට යහළු වීමට මට තිබෙන්නේ අමුතුම හැකියාවක්. ඒක දකින සමහරු මගෙන් විමසන්නේ මේ තරම් ඉක්මනට ඒ අයව යහළු කර ගත්තේ කොහොම ද කියලයි.

ඔබට අලි පැටියා ගැන යමක් කියන්න තිබෙනවා ද?

මා දැක්ක හුරතල් ම, ආදරය හිතෙන අලි පැටියෙක්. එයා කියන කියන දේවල් කරන කෙනෙක්. දුවන්න කිව්වොත් දුවන, කෑ ගහන්න කිව්වොත් කෑ ගහන, නටන්න කිව්වොත් නටන පැටියෙක්. ඒ වගේ ම අලි පැටියා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්. ඌගේ ඇත්ත නම මවුලි. රූගත කිරීම් කරලා එන අතරදි මට ඌව දාලා එන්න හිතුණේ නැහැ.

ඔබ රඟපෑ අනෙක් චිත්‍රපට මොනවා ද?

බෙනට් රත්නායකගේ ‘නෙලා’ චිත්‍රපටයත්, සුනිල් ප්‍රේමරත්නගේ ‘ටවුමේ ඉස්කෝලේ’ කියන චිත්‍රපට දෙකයි ඉදිරියේදී තිරගත වීමට තිබෙන්නේ. මගේ වෙනස් ම රංගනයක් ඒ ඔස්සේ ඔබට දැක ගත හැකිවේවි.

පුංචි තිරය, රිදී තිරය, වේදිකාව කියන මාධ්‍ය තුනෙන් ඔබ වඩාත් කැමැත්තක් දක්වන්නේ කුමන මාධ්‍යයකට ද?

මේවා එකිනෙකට වෙනස් මාධ්‍යයන් තුනක් නිසා මා මේ මාධ්‍ය තුනේ ම රඟපාන්නට කැමැතියි.

වේදිකාවේ රඟපාලා නැති නිසා ඒ අත්දැකීම ලබන්නට ඔබගේ සිතේ කැමැත්තක් නැති ද?

ඒක වෙන ම මාධ්‍යයක්. එය එකපාරට ම ආවට ගියාට කරලා අසමත් වෙන්න නොහැකි තැනක්. එහෙම වුණත් එහිදි නොසිතෙන ආත්ම තෘප්තියක් ලැබෙනවා කියලා මා විශ්වාස කරනවා. ඒ සඳහා ළඟදිත් ආරාධනාවක් ලැබුණා. ඒ නිර්මාණයට දින හදාගෙන කොහොම හරි සහභාගි වනවා කියලා හිතාගෙනයි ඉන්නේ. මැරෙන්නට පෙර මා කොහොම හරි වේදිකා නාට්‍යයක රඟපානවා.

කාලයකට පස්සේ ඔබගේ නර්තන හැකියාව දකින්නට ලැබුණේ හිරු මෙගා ස්ටාර් හරහායි

හිරු මෙගා ස්ටාර් වැඩසටහනට ගොඩක් ස්තුතිවන්ත විය යුතුයි. මොක ද මටත් මගේ නර්තන හැකියාව ගැන අමතක වීලයි තිබුණේ. නර්තනය හරහා මා සිතුව නැති මට්ටමකට ළඟා වීමට හැකියාව ලැබුණේ හිරු මෙගා ස්ටාර් නිසයි. ඒ සඳහා කළ කැපවීමයි මාව එතැනට ගෙනාවේ. මගේ ඒ නර්තන හැකියාව දුටු නිසා ම නර්තනය සම්බන්ධ නිර්මාණ කිහිපයකට ම මේ වනවිට මට ආරාධනා ලැබිලයි තිබෙන්නේ.

රංගනය හැදෑරිය යුතුයි කියන අදහස ඔබගේ සිතේ පිළිසිඳුණේ නැද්ද?

ප්‍රවීණ නිළි අනෝජා වීරිසිංහ කියන්නේ මා කැමැති ම නිළියක්. ඈ රංගන පාසලක් ආරම්භ කළ බව දැන ගැනීමට ලැබුණා. ඒක රංගනය ගැන ඉගෙන ගැනීමට සිටින මා ඇතුළු පිරිසට අපූරු අත්වැලක් වේවි.

ඔබ විදේශ රටකට ගිහින් රංගනය හදාරන්නේ නැත්තේ ඇයි?

විදේශ රටකට ගියොත් සිදු වෙන්නේ මට මෙහි තිබෙන අවස්ථා නැති වී යෑමයි. දැන් ඉතිං ලංකාවේ පාසලක් තිබෙන නිසා විදේශ ගත වීමට අවශ්‍ය යැයි මා සිතන්නේ නැහැ.

දක්ෂතා ඇති නිළියක් විදියට ඔබ ඔබගේ රංගන දක්ෂතා තව තවත් වර්ධනය කර ගැනීමට නොසිතන්නේ ඇයි?

එහෙම සිතෙනවා. ඒත් ඒ කුසලතා වර්ධනය කරගෙන ආවට පස්සේ මට රඟපෑමට නිර්මාණයක් නැති වුණොත් මොකද කරන්නේ? අද මගේ හිඩසට එන්න අය ඕනෑතරම් ඉන්නවා. එහෙම වෙලා මට නිර්මාණ නොලැබුණොත් මොකද කරන්නේ?

ඇත්තට ම එහෙම වේවිද?

මොන දේ වුණත් ඉගෙන ගත්තොත් ඒක අහක යන්නේ නැහැ. දැන් මට වයස අවුරුදු විසි පහක්. දිගු කාලයක් ඉගෙන ගෙන අපේ රටට එනවිට වසර ගණනක් ගෙවිලා ගිහින්. එවිට ඒ කාලය ඇතුළේ කළ යුතු චරිත මගෙන් මඟ හැරෙනවා. තිහෙන් පස්සේ තිබෙන චරිතයි එවිට මට රඟපෑමට ලැබෙන්නේ. ඉගෙන ගන්න ගියොත් මට එහෙම අසාධාරණයකුත් වෙනවා.

‘අලි කතාව’ චිත්‍රපටයේදි ඔබට සිදුවුණු ඇබැද්දිය මතක ද?

තායිලන්තයේදි රූගත කිරීමේදියි එය සිදුවුණේ. මා උමතු වෙලා ඉන්න අවස්ථාවක දුවගෙන එන විට ළමයා ඉන්නවා දකිනවා. ඒ ළමයා ළඟට යන්නට නම් ගංඉවුරෙන් පනින්න ඕනෑ. මා එකපාරට ම පනින විට ම නොසිතුව විදියට බැම්ම කඩාගෙන ගඟට වැටුණා. ගං පතුල ගැඹුරු ද, එරෙනවා ද කියන කාරණා ගැන කලින් හොයා බලලා නොතිබුණු නිසා හැමෝම බය වුණා. ඒ වගේ ම ගොඩක් වතුර තිබුණා නම් මාව ගිලෙනවා. ඒ වෙලාවේ ඇත්තට ම මමත් හොඳට ම බය වුණා. ඒ වුණත් ඒ අවස්ථාව ස්වාභාවික විදියට ම රූගත වී තිබුණා. ඒ සිදුවීම මට කිසිම දිනෙක අමතක වෙන්නේ නම් නැහැ.

ඔබ ප්‍රේමවන්තියක් ද?

දැන් නම් මම තනිකඩයි.

ඔබගේ ජීවිතයේ ඉදිරි කටයුතු පෙළ ගැසෙන්නේ මොන විදියට ද?

නර්තනය සම්බන්ධ දැවැන්ත සිනමා නිර්මාණයකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඉදිරියේදි එහි පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි. ඒ ගැන ඉදිරියේදි අපි කතා කරමු. ඊට අමතරව විදේශ ප්‍රසංග කිහිපයකට ම ආරාධනා ලැබුණා. මේ දවස්වල තුෂාරි අබේසේකරගේ ‘පත්තිනි’ ටෙලි නාට්‍යය රූගත කිරීම් කෙරෙනවා. ‘අලි කතාව’ චිත්‍රපටය නරඹන්න කියලා සියල්ලන්ට ම මා ආරාධනා කරනවා.