වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ලේක්හවුස් ආදි කර්තෘ ජන්ම දිනය 18 දා

ලේක්හවුස් ආදි කර්තෘ ජන්ම දිනය 18 දා

ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන්ගේ 131 වැනි ජන්ම සමරු පින්කම මෙම මස 18 සහ 19 යන දිනයන්හී ලේක්හවුස් ආයතනයේදී පැවැත්වේ. 18 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ 19 වැනිදා මහ සඟරුවන 40 නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ලේක්හවුස් සභාපති කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ලේක්හවුස් ආයතනයේ සේවක පිරිසගේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම පින්කම සිදු කෙරෙන අතර සංවිධානය ලේක්හවුස් බෞද්ධ සංගමය මඟිනි.


විසුල් උලෙළේ යාවජීව සම්මානය ස්වර්ණාට

විශිෂ්ට රංගවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි ප්‍රංශයේ පැවැති විසුල් අන්තර් ජාතික සිනමා උලෙළේ යාවජීව සම්මානයෙන් පිදුම් ලැබීය. ඇය එම සම්මානය දිනා ගත්තේ එම උලෙළෙහිම නෙට්පැක් ජූරිය නියෝජනය කරමින් සිටියදී වීම විශේෂත්වයකි.

ලාංකික සිනමාව බිහි කළ විශිෂ්ටම රංගනවේදිනියක වූ ස්වර්ණා සරසවිය සම්මාන උලෙළේදී පිරිනමන යාවජීව සම්මානය වූ රණතිසර සම්මානය දිනා ගත්තාය.


‘දේශපාලුවා’ නව නිෂ්පාදනයක් ලුමිබිණි රඟහලේ

අධ්‍යක්ෂ සුගත් සම‍රකෝන්ගේ 'දේශපාලුවා‍' වේදිකා නාට්‍ය යේ නව නිෂ්පාදනයක් මේ මස 18 වැනිදා කොළඹ හැව්ලොක් ටවුන්හි ලුමිබිණි රඟහලේදී වේදිකා ගතවෙයි.

සර්වකාලීන ප්‍රහසනයක් වන මෙහි පාලිත සිල්වා, සනෝජා බිබිලේ, සජීව මල්මාලආරච්චි, ආරිසේන ගමගේ, ධනවංශ සංජය සමරකෝන්, මල්ෂී මද්දුමගේ, චන්දු ඉඹුලාන, නෝබර්ට් පෙරේරා, වසන්ති සෙනරත්, සුනේත්‍රා එම්. කරුණාරත්න, මමෝජ් සේනාරත්න, ඉරේෂා රත්නායක, සංජීව කුමාර ඇතුළු හේවුඩ් රංගන පාසලේ ශිෂ්‍ය - ශිෂ්‍යාවෝ රැසක් රංගනයෙන් සහය වෙති. අංගරචනයෙන් වසන්ත කුලසේකර, ඇඳුම් නිර්මාණයෙන් ඩිල්කි හපුආරච්චි, සංගීතයෙන් රොමේෂ් ජයසිංහ, ආලෝකකරණයෙන් සුනිල් සමරකෝන් ද දායකත්වය දක්වති. නිෂ්පාදනය ප්‍රසන්න මුහන්දිරම්‍ ගෙනි.

අධ්‍යක්ෂ සුගත් සම‍රකෝන් සිනමාවට 'විජය - කුවේණි', 'ඇහැළේ පොළ කුමාරිහාමි', 'අපේ කාලයේ පටාචාරා' චිත්‍රපට හා වේදිකාවට උතුරේ රාහුල, කමාන්ඩෝ දියසේන ආදී නිර්මාණ රැසක් පිරිනැමූ නිර්මාණකරුවෙකි.


වෛද්‍ය කපිල සූරියආරච්චි සිනෙ-මා තිරයට ගෙනඑයි
වැඩ 20 දා ඇරැඹේ

ප්‍රතිරූ සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂවරයකු ලෙසට නමක් දිනාගත් වෛද්‍ය කපිල සූරියආරච්චි තම දෙවැනි සිනමාපටය නිර්මාණය කිරීම සඳහා මේ වන විට සූදානමින් සිටියි. එළඹෙන 20 වැනිදා යෙදෙන සුභ මොහොතින් කොළඹ ජයසූරිය ආයතනයේදී පවත්වන මුහුරත් උලෙළින් අනතුරුව ඔහුගේ දෙවැනි සිනමාපටයෙහි වැඩ කටයුතු ආරම්භ වනු ඇත. එම සිනමා සිතුවම නම් කොට ඇත්තේ සිනෙ-මා නමිනි. අයිරාංගනී සේරසිංහ, ඩග්ලස් රණසිංහ, චාන්දනී සෙනෙවිරත්න, ශ්‍යාමි ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, දුලීකා මාරපන, විහඟ සූරියආරච්චි, නයනතාරා වික්‍රමආරච්චි ආදී නළු නිළියන් මෙහි රංගනයේ යෙදෙයි. සිනෙ-මා හි නිෂ්පාදන සම්බන්ධීකරණය දමයන්ති ෆොන්සේකාගෙනි. නිශාන්ත ප්‍රදීප් කැමරාව මෙහෙයවයි. සුසන්ත රාමසිංහගේ අංග රචනයකි. කලුම් උඩුවාවල සහාය අධ්‍යක්ෂවරයාය. සංජය එදිරිසිංහ කලා අධ්‍යක්ෂවරයා වේ.

සිනෙ-මා නිෂ්පාදනයෙන් චම්පික ජයනන්දන සිනමාවට එක් වෙයි.


13 වැනි රයිගම් ටෙලීස් -2016

සම්මාන උලෙළ සඳහා නිර්මාණ භාර ගැනේ

13 වැනි රයිගම් ටෙලීස් -2016 සම්මාන උලෙළ සඳහා අයැදුම්පත් හා නිර්මාණ භාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇත. ඒ සඳහා නිර්මාණ ඉදිරිපත් කරන්නන් සඳහා වන සුදුසුකම් වන්නේ මීට ඉදිරිපත් කරන ටෙලි නාට්‍ය 2016 වර්ෂය ඇතුළත අවසාන කොටස විකාශය කළ දේශීය ටෙලි නාට්‍ය වීම, වෙනත් නිර්මාණ - 2016 වර්ෂය ඇතුළත ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක් ඔස්සේ විකාශය වී තිබීමයි. එමෙන්ම කේබල් රූපවාහිනි සහ මුදල් ගෙවා පමණක් නැරැඹිය හැකි නාලිකාවල පමණක් විකාශය වූ නිර්මාණ සහ හඬකැවීම් ඇතුළු කිසිදු විදේශ නිර්මාණයක් (හඬ කැවීමේ වැඩසටහන උදෙසා වන සම්මානය සඳහා හැර) මේ උලෙළ සඳහා සුදුසුකම් නොලබන අතර, වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ නිවේදක නිවේදිකා අංශය සඳහා අදාළ නාලිකාව මඟින් හෝ තනිව අයැදුම් කළ හැකිය. නිර්මාණ භාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒවා භාර දීම අවසන් වන්නේ මේ මස 28 වැනිදායි. මෙවර සම්මාන උලෙළට නිර්මාණ ඉදිරිපත් කිරීමට අපේක්ෂිත නිර්මාණකරුවන් හැකි ඉක්මනින් චතුරි ඇල්විටිගල - 077-1061414, දුලිප් හෙට්ටිආරච්චි - 077- 1061510 යන දුරකථන අංක ඔස්සේ රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතන ලෙස සංවිධායක කමිටුව ඉල්ලා සිටියි.


චීන සිනමා උලෙළක් අද සිට

චීනයේ නිර්මාණය වූ අනගි සිනමාපට රැසක් අන්තර්ගත වූ චීන සිනමා උලෙළක් මෙම මස 16 සිට 21 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. උලෙළෙහි චිත්‍රපට තිරගත වන්නේ මෙසේය.

16 වැනිදා සවස 6.30 ට ක්සුඈන් සැන්ග්

17 වැනිදා සවස 6.30 ට බුක් ඔෆ් ලව්

18 වැනිදා සවස 2.30 ට ගෝ අවේයි මිස්ටර් ටුමෝර්

18 වැනිදා සවස 6.30 ට මංකි කිංග් හීරෝ ඉස් බැක්

19 වැනිදා සවස 2.30 ට ටු ද ෆෝ

19 වැනිදා සවස 6.30 ට මොන්ස්ටර් හන්ට්

20 වැනිදා සවස 6.30 ට සෝංග් ඔෆ් ද ෆීනික්ස්

21 වැනිදා සවස 6.30 ට ද ටෝකිං ඔෆ් ටයිගර් මවුන්ටන්