වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




නවතම සිනමාපටය රන්සයුර

ඔවුන් උපන්නේ එකම වැල්ලක ය පිහිනුවේ එකම සයුරක ය

ප්‍රවේගකාරී සටන් නළු වසන්ත කුමාරවිලගේ

කුළුඳුල් නිෂ්පාදනය සුදේශ් වසන්ත පීරිස්ගේ

නවතම සිනමාපටය රන්සයුර

 

මද්දහන එළඹිණ. මයිකල් ගිනියම් වූ වැල්ල මතින් ඇවිද ආවේ අරමුණක් නැතුවය. වැලි කැටවල උණුහුම ඔහුගේ දෙපා දැව්ව ද ඒ වගක් ඔහුට දැනුණේ නැත. හිත දවන වේදනාව ඊටත් වඩා උණුසුම්ය. මයිකල්ගේ පියා වැල්ලට සොඳුරු ආඥාදායකයකු වූයේය. ඒ කාලයේ අද වැල්ලේ බල පුළුවන්කම් පාන ඇන්ටනීලා අහලකවත් සිටියේ නැත. මයිකල්ට ඒ ගැන ද සිහිවේ. ඇන්ටනි අද වෙසෙන්නේ වැල්ලේ සක්විති තමා යැයි සිතාය.

ඔහු පුංචි මිනිසුන්ව තලාපෙළා දමන්නේ සිය කූඨ උපක්‍රම භාවිතයෙන්ය. මයිකල් ඊට විරුද්ධය. වැල්ලේ මාළු වෙන්දේසියේදී නිතර හමු වන මයිකල් හා ඇන්ටනි වෙන්දේසියට ලන්සු තබන්නේ තරගයට මෙන්ය. අවසානයේදී මයිකල්ට තැන හිමි වන්නේය. මේ හේතුවෙන් තමන් සහ ඇන්ටනි ජන්මාන්තර වෛරක්කාරයන් වූ හැටි මයිකල්ට සිහිපත් විය. මේ අතර ඔහුට තම නැඟණිය වූ නිරාෂාව මතක් වුණේය.

විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ඇය මයිකල්ගේ වැල්ලේ ජීවිතය ගැන සිටියේ හිත නොහොඳකින්ය. සමහර අවස්ථාවලදී නිරාෂා මයිකල්ව පිලිකුල් කළේය. මේ අතර මයිකල් සමඟ කුඩා කල සිට හැදුණු වැඩුණු තරුණියකි. ඇගේ නම මාරියා. විටෙක ඇය මයිකල්ට තවත් නැඟනියක් විය.

තවත් අවස්ථාවක ඇය ඊටත් එහා ගිය සබඳකමක් මයිකල් හට දැක්වීය. මයිකල්ට ගෝල පිරිසක් සිටින්නේය. ඔවුන් අතර ප්‍රධානියා ජගත්ය. මේ සියල්ල එසේ සිදු වෙද්දී මයිකල්ගේ මාළු ව්‍යාපාරය තුළ වංචාවක් සිදු වන්නේය. ඒ ගැන සොයා බලන ව්‍යාපාරය බලා කියා ගන්නා ලියන මහතා සැක කරන්නේ ජගත්වය. මේ හේතුවෙන් මයිකල් හා ජගත් විරසක වන්නේ කිසිවකු නොසිතූ පරිද්දෙන්ය.

මයිකල් තව පියවර කිහිපයක් වැල්ලේ ඇවිද ගියේය. මේ එළඹ ඇත්තේ තීරණාත්මක නිමේෂයක්ය. තම මිතුරු ජගත් විරසක වූ පසු ඇන්ටනි සමඟ එකතු වී මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වෙයි. මයිකල්ට එය ද සංවේදී කරුණක් විය. ඒ වන විටත් ගත වූ රාත්‍රියේ ජගත් කිසියම් කෙනෙකු අතින් ඝාතනයට ලක්ව ඇත.

එහි සැකය මයිකල්ට එල්ල වී ඇත. ඊට හේතුව මයිකල් හා ජගත් අතර ඇති විරසකය. පොලිස් ස්ථානාධිපතිවරයා වැල්ලට පැමිණෙන්නේ මේ අභිරහස විසඳීමටය. ඔහුට මාරිය මුණ ගැසෙන්නේ ඒ ගමනෙහිදීය. එතැන් පටන් කුමක්වේදැයි මයිකල්ට සිතා ගන්නට නොහැකි වෙයි. ඔහු වැල්ලේ මඳක් නතර වී නිමක් නැතිව වැල්ලේ හැපි හැපී දුව යන රන් සයුරෙහි රළ දෙස බලා සිටියේය.

රන් සයුර. ඒ මයිකල්, ඇන්ටනි, මාරි, නිරාෂා, ජගත් ජීවත්වන තැනය. මෙම මස 16 වැනිදා සිට එම්. පි. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවන රන් සයුර සිනමාපටය නැරැඹීමෙන් කර්කෂ වැල්ලේ ජීවත්වන ඒ චරිත ඔබට හමුවිය හකිය.

රන්සයුර නළු නිළි පිරිවර:

වසන්ත කුමාරවිල

රොජර් සෙනෙවිරත්න

රංගන පේ‍්‍රමරත්න

හිමාලි සිරිවර්ධන

සුසිලා කෝට්ටගේ

මහින්ද පතිරගේ

රුවන්ගි රත්නායක

සංජීවනී වීරසිංහ

ඉසුරු ලොකු හෙට්ටිආරච්චි

විශ්ව ලංකා

ප්‍රේමදාස විතානගේ

හේමන්ත ඊරියගම

ජීවන් හඳුන්නෙත්ති

මහින්ද ඉහළගම

කැළුම් කුලරත්න

සිතෙනි අකිලා

හිමාෂා ද සිල්වා

ශෙනුලි ශමල්කා පීරිස්

නිෂ්පාදනය - ජේ. එච්. වසන්ත කුමාර, එච්. ඒ. සංජීව කුමාර

අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස්

කැමරා අධ්‍යක්ෂණය - ගාමිණී මොරගොල්ලාගම

සහය අධ්‍යක්ෂණය - නිලූක එඬේරමුල්ල

සංස්කරණය - අනුර බණ්ඩාර

සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල

පසුබිම් සංගීතය - කේෂාන් පෙරේරා

කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම

අංග රචනය - රොඩ්නි වැනුටුවෙස්ට්, පාලිත මහින්දලාල්

නිශ්චල ඡායාරූප - කුමාර ජයලත්, අනිල් මල්ලවාරච්චි

නිෂ්පාදන කළමනාකරණය - රසික කුමාර

ගීපද රචනය - සුනිල් ධර්මසිරි, ධම්මික පතිරාජ

ගායනය - සුරංජි ශ්‍යාමලී, මහින්ද පතිරණ, ජීවන් හඳුන්නෙත්ති, සුදේශ් වසන්ත පීරිස්

ගී තනු - අසේල ඉන්ද්‍රලාල්

ශබ්ද පරිපාලනය - ශෂික රුවන් මාරසිංහ

ත්‍රිමාණ සජිවිකරණය - චමින්ද ලක්මාල්, එම්. එස්. සේනාරත්න

වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර

කතාව, දෙබස් - අංජු ධනංජය, නිලූක එඬේරමුල්ල