වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




කවුද මේවට උපදෙස් දෙන්නේ?

කවුද මේවට උපදෙස් දෙන්නේ?

චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපති බුද්ධි කීර්තිසේන විමසයි

අපි මස්කඩකාරයෝ නෙවෙයි අවුරුද්දෙන් අවුරුද්ද බලපත්‍ර ගන්න. අපි ගනුදෙනු කරන්නේ මිනිස්සු එක්ක. මිනිසුන්ගේ රසාස්වාදනය එක්ක වින්දනය එක්ක.

චිත්‍රපට කර්මාන්තය සම්බන්ධයෙන් බලධරයන් රෙගුලාසි පැන වූ විට කර්මාන්තයේ නියැලෙන පිරිස යම් කැළඹීමකට පත් වේ නම් ඒ ලංකාව ඇතුළු රටවල් අල්ප සංඛ්‍යාවක විය යුතුය. රෙගුලාසි, නීති, අණ පනත්, නියෝග, කොමිෂන් වාර්තාවලින් අඩුවක් නැති ලාංකිය සිනමා කර්මාන්තය ඉතා මෑතකදී යලිත් නියෝග රෙගුලාසීන්ට යටත් වූවා යැයි පැවසුවහොත් කිසිවකු පුදුමයට පත් වන්නේ නැත. අන් කර්මාන්ත සේ චිත්‍රපට කර්මාන්තය තුළ බිලියන ගණනින් මුදල් නොගැවසුණ ද නිෂ්පාදකයින් හා ප්‍රදර්ශකයින් එදා වේල සරිකර ගැනීමට තරම් දක්ෂ පිරිසකි. කාරණය සැකවින් දක්වනවා නම් ඉතා මෑතදී එනම් 2016 දෙසැම්බර් 30 වන දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බලතල ප්‍රකාරව පළ කරන ලද 1999/48 දරණ අති විශේෂ ගැසට් පත්‍රය පිළිබඳ චිත්‍රපට ප්‍රදර්ශකයින් එනම් සිනමා ශාලා හිමියන් යම් කැළඹීමකට පත්ව ඇති බව සරසවියට වාර්තා වුණා. ඒ අනුව ක්ෂේත්‍රයේ නම ගිය චරිතයක් වන බුද්ධි කීර්තිසේන අදාළ රෙගුලාසිවලින් තම ප්‍රදර්ශකයින්ගේ කවයට සිදු වන බලපෑම ගැන කතා කිරිමට සරසවිය සමඟ එක් වූවා. 50 දශක මධ්‍යයේ කොස්වාඩිය වයලට් හෝල් සිනමා ශාලාව සමඟ ප්‍රදර්ශකයින්ගේ ගොන්නට එකතු වූ බුද්ධි කීර්තිසේන මිල්ලෙ සොයා, සිහින දේශයෙන්, සුජාතා, යසෝමා, ඇතුළු චිත්‍රපට ගණනාවකට නිෂ්පාදනයෙන් ද දායක වූවා. කොළඹ 10 මරදාන සිනේ සිටි සිනමා සංකීර්ණයේ හිමිකරු සේම, කොස්වාඩියේ දර්ශන සිනමා ශාලාවේද හිමිකරු වන චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ වර්තමාන සභාපතිවරයා වන්නේ ද බුද්ධි කීර්තිසේනයි. ජ්‍යෙෂ්ඨ ප්‍රදර්ශකයෙක් ලෙස එකී ගැටලු ගැන බුද්ධි අප හා අදහස් දැක් වුයේ මෙසේය.

ඇයි එක්වරම ප්‍රදර්ශකයින්ගේ සංගමය කොල දෙක තුනක ගැසට් පත්‍රයක් එක්ක හෙට්ටු කරන්නේ?

මේ ගැසට් පත්‍රයෙන් කරලා තිබෙන නියෝග සෘජුවම බලපාන්නේ ශාලා හිමියන්ට. ඒ කියන්නේ ප්‍රදර්ශකයන්ට. මේ කර්මාන්තයට ලොකුම ආයෝජනය කරන්නේ අපි. නිෂ්පාදකයනුත් ආයෝජනය කරන බව ඇත්ත. නමුත් නිෂ්පාදකයෙකුට චිත්‍රපට එපා වුණොත් දාලා යන්න පුළුවන්. අද වෙනකොට වාත්තීය නිෂ්පාදකයන් ඉතාම අඩුයි. ඔවුන්ට ඒක ගැටලුවක් නැහැ. නමුත් පාඩු ලැබුවායි කියලා අපිට එහෙම මේ ව්‍යාපාරය දාලා යන්න බැහැ. අපි හැමදාම ශාලා පවත්වාගෙන යන්න අවශ්‍යයයි. අනික කර්මාන්තයට මුදල් යොදවන්නේ නැති පිරිස කර්මාන්තයේ තිරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන එකට අපි එකහෙළාම විරුද්ධයි.

මොකක්ද මේ ගැසට් පත්‍රය?

සිනමා ශාලා ඩිජිටල්කරණය දිරිගැන්වීම වෙනුවෙන් කියලයි ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙන්නේ. තවත් කාරණා මේකට අඩංගුයි. ඩිජිටල්කරණය දිරිගන්වලා සිනමාවේ අභිවෘද්ධිය ගැන කියලා ශාලාවලින් ගාස්තු අය කරන්න කියලයි කියන්නේ. පහුගිය කාලේ සිනමාවේ අභිවෘද්ධියට කියලා ගත්ත තිරණ කිසිවක් සිනමාව ඉස්සරහට නම් ගෙනිච්චේ නැහැ. පස්සටමයි ගියේ. මට තේරෙන්නේ නැත්තේ කවුද මේවට උපදෙස් දෙන්නේ කියන එක.

මොනවද ගැසට් පත්‍රයෙන් දීලා තියෙන නියෝග?

මේකේ මුලින්ම කියලා තියෙන්නේ අපිට කොහෙත්ම එකඟ වෙන්න බැරි තත්ත්වයක්. ඒකේ කියන්නේ වාර්ෂිකව අලුත් කළ යුතු බලපත්‍ර ක්‍රමයක් ගැන. ඒකට බලපත්‍ර ගාස්තුවකුත් අයිතියි. එකක් කියන්න ඕනෑ, අපි මස්කඩකාරයෝ නෙවෙයි අවුරුද්දෙන් අවුරුද්ද බලපත්‍ර ගන්න. අපි ගනුදෙනු කරන්නේ මිනිස්සු එක්ක. මිනිසුන්ගේ රසාස්වාදනය එක්ක වින්දනය එක්ක.

නමුත් ශාලාවල තත්ත්වය ගැන අදහසක් ගන්න ඒ ක්‍රමය හොඳ නැද්ද?

ඉතිං ඒකට සිනමාශාලාවලට අවුරුද්දෙන් අවුරුද්ද බලපත්‍ර නිකුත් කරන්න අවශ්‍ය නැහැනේ. දැන් ඒ ශාලා තිබෙන විදිහ බලලා අවුරුද්දෙන් අවුරුද්ද ශ්‍රේණිගත කළා නම් හරි. අවශ්‍ය නම් කිසියම් ශාලාවක් තිබෙන තත්ත්වයටත් වඩා බාල තත්ත්වයෙන් එළඹෙන අවුරුද්දේ ශාලාව පවත්වාගෙන ගියොත් දැනට තිබෙන බලපත්‍රය අවලංගු කළා නම් ඒක පලදායි.

අනෙක් කරුණ මොකක්ද ඔබට එකඟ වෙන්න බැරි?

ඒක තමයි බරපතළම කාරණය. ඩිජිටල් සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කියලා අලුත් ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීලා. ඒක අය කරන්නේ ප්‍රවේශ පත්‍රයෙන්. සියලු බදු හා ගාස්තුලට අමතරව. ඒ නියෝගයට අනුව ප්‍රවේශ පත්‍රයේ වටිනාකමින් 7% අපි සංස්ථාවට ගෙවන්න ඕනෑ.

ඒ 7% ප්‍රතිශතය ඔබ සංගමයේ සාමාජිකයන්ට දැනෙන බලපෑමක් කරනවාද?

අනිවාර්යෙන්ම. 7% ක් කියන්නේ ලොකු ගාණක්. නගරයෙන් එපිට තමයි අද ලංකවේ බොහෝ සිනමාහල් පිහිටලා තියෙන්නේ. ගොඩක් ඒවා ඩිජිටල් ශාලා නෙවෙයි. ඒවයේ ප්‍රවේශ පත්‍රයක මිල වෙන්නෙත් උපරිම රුපියල් 150 ක් වගේ. සියලුම ගාස්තු බදු ගෙවලා තවත් 7% ක් ඒ ප්‍රවේශ පත්‍රයෙන් සංස්ථාවට දෙන්න ගියොත් ශාලා හිමියට මුකුත්ම ඉතිරි වෙන්නේ නැහැ. ශාලා බංකොළොත් වෙනවා. නමුත් නගරයේ තිබෙන විශාල සුඛෝපභෝගී ශාලාවලට ඒක එතරම් දැනෙන එකක් නැහැ. මට වෙලාවකට සැකයකුත් ඇති වෙනවා ගම්බද ශාලා වහල දාලා නගරයේ ශාලා විතරක් ඉතුරු කරන්න කරන මාෆියාවක් ද මේක කියලත්.

අද වෙනකොට ලංකවේ සිනමාශාලා කොපමණ සංඛ්‍යාවක් ඉතිරි වෙලා තිබෙනවාද?

ඔක්කොම ශාලා 171 යි. ඒකෙන් 80 පමණ තමයි ඩිජිටල් වෙලා තියෙන්නේ.

ඔබේ ඉල්ලීම බරපතළ ඉල්ලිමක් බව පැහැදිලියි. අදාළ පාර්ශ්ව සමඟ ඔබ සාකච්ඡාවකට ගියේ නැද්ද?

අපි සාකච්ඡාවක් ඉල්ලලා තියෙන්නේ. අපිට සාකච්ඡා කරනවා හැරෙන්න වෙන විසඳුමක් නැහැනේ. අපි බස් හිමියෝ නෙවෙයිනේ බස් නවත්තලා උද්ඝේෂණය කරලා ඉල්ලිම් දිනාගන්න. අපි හිතනවා ඇමතිතුමා මේ ගැන සංවේදී වෙයි කියලා. මේවා සාකච්ඡාවෙන් විසඳගන්න පුළුවන් ප්‍රශ්න.

මේ නියෝගවලට ඔබ සංගමය එකඟ නැත්නම් ඔබ ඉල්ලන විකල්පය මොකක්ද?

අපි ඉල්ලන්නේ සාධාරණ ගාස්තු ක්‍රමයක්. සියලුම අනවශ්‍ය ගාස්තු අය කරන එක නවත්වලා අපිට ගාස්තු ක්‍රමය සාධාරණ කරලා දෙන්න. එතකොට ශාලාවලට ආදායම් ලැබෙයි. එතකොට හොඳට පහසුකම් ටික හදාගන්න හිමිකරුවන්ට පුළුවන් වෙයි. දැන් තියෙන ආදායමත් එක්ක කිසිම දෙයක් කරන්න බැහැ.

ඔය දේට ණයක් එහෙම අවශ්‍ය නැද්ද?

ණයක් අවශ්‍ය නැහැ.

හැබැයි කාලෙකට කලින් සංස්ථාවෙන් දීපු ණය ශාලා හිමියෝ නාස්ති කළා?

සංස්ථාව දැනගන්න ඕනෑ ඒ දේවල් මොනිටර් කරන්න.

D සිනමා හෙවත් 2K ප්‍රක්ෂේපණ ප්‍රමිතිය ගැන ඔබේ සංගමයේ අදහස මොකක්ද? මොකද මේ ප්‍රමිතිය නැවත ගැසට් කරලා තිබෙනවා?

අපි 2ම් ප්‍රමිතියට විරුද්ධ නැහැ. නමුත් 2ම් තත්ත්වයට සිනමාහලක් ගේන්න අපිට කාලය අවශ්‍යයයි. මොකද මේ වෙලාවේ ඒ වියදම අපිට දරන්න බැහැ. ඒ නිසා තමයි බොහෝ සිනමා ශාලා ඥ සිනමාවට ගියේ. සංස්ථාවටත් සිද්ධ වුණ ඥ සිනමාවට ඉඩ දෙන්න. එදා 2ම්, ච් සිනමාව ඉල්ලලා කෑගහපු අයත් අද ඥ සිනමාව එක්ක ඉන්නේ.

ඒ කෙසේ වෙතත් ප්‍රක්ෂේපණ ප්‍රමිතිය දුර්වල නිසා බොහෝ නිෂ්පාදකයෝ තවමත් කැමති නැහැ නේද පැරැණි මිලි මීටර් 35 ක්‍රමයට චිත්‍රපට පෙන්වන්න?

ඒක ගැන අපිට විතරක් දොස් කියලා වැඩක් නැහැනේ. චිත්‍රපටවල නිර්මාණ ගුණය ගැනත් සෑහෙන ප්‍රශ්න තිබෙනවා. දුර්වල චිත්‍රපට බලන්න සෙනඟ එන්නේ නැහැ. අනෙක් කාරණය සිනමා ශාලා හරි විදිහට ශ්‍රේණිගත කළොත්, එහෙම කරලා සිනමා ශාලාවලට ඇගයීමක් දුන්නොත් කොයි නිෂ්පාදකයත් කැමැතියි තමන්ගේ චිත්‍රපටය ඒ ශාලාවට දෙන්න. නළු නිළියෝ ඇගයුවාට සිනමා ශාලා අගයන්න ක්‍රමයක් නැහැනේ.

ඩිජිටල් ප්‍රක්ෂේපණය අද වෙනකොට සැහෙන දියුණු වෙලා. දියුණුව ඉදිරියට යනවා මිසක් ලංකාව දුවගෙන එනකම් දියුණුව බලාගෙන ඉන්නේ නැහැ?

දැන් අපි ඉන්දියාවෙන් ඥ සිනමාව ගෙනල්ලා යාවත්කාලීන වුණා. ඊළඟ අවුරුදු 5 වෙනුවෙන් අපි සූදානම් යාවත්කාලීන වෙන්න. ඒ හැම දේටම තමා අපි සාධාරණ ගාස්තු ක්‍රමයක් ඉල්ලන්නේ ශාලාවල ආදායම් වැඩි කර ගන්න. තාක්ෂණයේ දියුණුව වගේම ඒවයේ නඩත්තු වියදමත් එන්න එන්නම වැඩි වෙනවා. ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ බල්බ් එකෙන් අපිට අවුරුදු ගණන් චිත්‍රපට පෙන්වන්න බැහැ ඉස්සර වගේ. ඒක නිශ්චිත කාලයකින් පස්සේ මාරු කරන්න ඕනෑ. දැන් බල්බ් එකක මිල විතරක් රුපියල් 170.000 ක්.

චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩලවලටත් තිබෙනවා සිනමාහල්. ඔවුනුත් ඔබලාගේ සංගමයේ සාමාජිකයන්ද?

ඔව්.

එහෙත් ඔබලාට බැරිවුණා නේද බොදාහැරීම්වල වෙන අවුල් ලිහාගෙන වාසිදායක ක්‍රමයක් හදාගන්න?

ඔවුන්ට තිබෙන්නේ වෙන න්‍යාය පත්‍රයක්. අපිට තිබෙන්නේ වෙනත් එකක්. ඔවුන්ගේ න්‍යාය පත්‍ර අපේ සංගමයට ගේන්නේ නැහැ. නමුත් ප්‍රදර්ශකයන් වෙනුවෙන් අපි තිරණ ගන්නේ එකට. එතනදි ගැටුම් නැහැ. විවිධ මත පමණයි තිබෙන්නේ.

ගැසට් පත්‍රයේ නියෝගවලින් කියැවෙන ගාස්තුවලින් සැලකිය යුතු කොටසක් සිනමාව වෙනුවෙන් පිහිටවපු අරමුදල්වලට යනවා නේද? ඔබ ඒකට විරුද්ධද?

මෙච්චර කල් මුදල් එකතු කළාට කාටවත් සේවයක් වුණාද, නැහැ. හැමෝම අහනවා ඒ මුදල්වලට මොකද වුණේ කියලා. අපිත් අහන්නේ ඒකම තමයි. කෝ ඒ මුදල්. කාලෙකට කලින් මෙගා නාට්‍යවලින් විදේශ චිත්‍රපටවලින් බද්දක් එකතු කළා ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට කියලා. ඒ මුදල්වලට මොකද වුණේ. මම නම් දන්නේ නැහැ. ඔයා දන්නවාද?