වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




නාලකගේ අනන්තයෙන් පල්ලේගම හිමිපාණන් උපහාර ලබති

නාලකගේ අනන්තයෙන් පල්ලේගම හිමිපාණන් උපහාර ලබති

මෙවර සරසවිය සම්මාන උලෙළේ හොඳම ගීත රචනයට හිමි සම්මානය දිනාගත් පල්ලේගම හේමරතන හිමිපාණන්ට රජරටින් උපහාර පිදීමක් මෙම මස 22 වැනිදා අනුරාධපුර ගෝල්ඩන් මැංගෝ ශාලාවේදී පැවැත්වෙයි. උන්වහන්සේ මෙසේ උපහාර ලබන්නේ අනුරාධපුරයෙන් බිහි වූ සංගීතවේදියකු වන නාලක අංජන කුමාරගේ අනන්තය ප්‍රසංගය අතරතුරදීය. මේ සඳහා සංගීත විශාරද එඩ්වඩ් ජයකොඩි, කසුන් කල්හාර සහ නිරෝෂා විරාජිනි ගායනයෙන් දායකවීමට නියමිතය.

විජය ගී තරුව අවසන් තරඟ 18 දා

මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංගයන්ගේ විසිනව වැනි ගුණඅනුස්මරණයට සමගාමීව දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලැබූ විජය ගී තරුව 2017 ආධුනික ගීත ගායනා තරගයේ අවසන් මහා තරගය මෙම මස 18 වැනිදා එනම් එන සෙනසුරාදා සවස ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී පැවැත්වේ. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙදින මුලසුන හොබවනු ලබයි.

ආදරණීය රෝහණ ඩුබායි යයි

ආදරණීය රෝහණ සංගීත ප්‍රසංගය මෙම මස 17 වැනිදා ඩුබායි හි ශේක්රශිඩ් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙහිදී විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ජානක වික්‍රමසිංහ සහ චාමික සිරිමාන්න ගීත ගයනු ලබති. ප්‍රසංගය ආචාර්ය රෝහණ වීරසිංහගේ මූලිකත්වයෙන් යුතු මහින්ද බණ්ඩාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දයෙන් රසවත් වේ. ආදරණීය රෝහණ සංගීතමය සැඳෑව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි සිසුන්ගේ ඉදිරිපත් කිරීමකි.

සිරිමල් වැඩ ඇරැඹෙයි

සඳුන් කුමාර අධ්‍යක්ෂණය කරන 'සිරිමල්' ළමා චිත‍්‍රපටයේ මුහුරත් උලෙළ පසුගියදා පැවැත්විණ. එය ටෂ්මි නිෂ්පාදන ආයතනය වෙනුවෙන් වෛද්‍ය දිලුෂා ද සිල්වාගේ නිෂ්පාදනයකි. දමිතා අබේරත්න, හැරී විමලසේන, මානලේ චන්ද්‍රලතා, නිහාල් ප්‍රේමචන්ද්‍ර, කේ. ඩී. සිරිපාල, මනීෂා නාමල්ගම, ප්‍රියනාත් රත්නායක, ඩීමන් හෙට්ටිආරච්චි, සී. පි. එස්. සිංහපුර, සඳුන් කුමාර, නුවන් විජය ශ්‍රී, දැහැමි සමන්මලී සහ නදීෂ් ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙති. රසික තෙන්නකෝන් අංග රචනයෙන් ද, රන්ජිත් ඩයස් සංගීත අධ්‍යක්ෂණයෙන් ද, අනිල් කුමාර කැමරා අධ්‍යක්ෂණයෙන් ද සිරිමල් සඳහා එක්ව සිටිති. නිෂ්පාදන සහාය සී. පී. එස්. සිංහපුරගෙනි. රන්ජිත් ඩයස්, නුවන් විජය ශ්‍රී සමඟ පබෝද් හෙට්ටිආරච්චි ගායනයෙන් දායක වෙති.

13 වැනි රයිගම් ටෙලීස් -2016  ජනමාධ්‍ය දැනුම්වත් කිරීමේ උලෙළදා

ලබන ජූනි 03 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට නියමිත රයිගම් ටෙලීස් -2016 උලෙළ පිළිබඳ ජනමාධ්‍ය දැනුම්වත් කිරීමේ උලෙළක් පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

එහිදි ඒ සම්මාන උලෙළ පිළිබඳ කිංඩම් ඔෆ් රයිගම් ආයතනයේ සභාපති ආචාර්ය රවි ලියනගේ, කළමනාකරණ අධ්‍යක්ෂ ගණක අමරසිංහ, උප සභාපති කිෂාන් තියඩෝර් සහ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණය) තාරක රන්වල, රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලයේ සභාපති මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක ඇතුළු මහත්වරු රැසක් අදහස් දැක් වූහ. මෙවර රයිගම් ටෙලීස් උලෙළේ සහයෝගී හවුල්කරුවන් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය බැංකුවක් වන සම්පත් බැංකුව දායකත්වය දක්වන අතර ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ පෙරගමන්කරු ඩයලොග් ද, සම්මාන උලෙළ සඳහා නිර්දේශිත වන සියලු කලාකරුවන් හා විශේෂ ප්‍රණාම සම්මාන ලාභීන් උදෙසා සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබාදෙමින් ජන ශක්ති රක්ෂණ සමාගම ද දායකත්වය දක්වති. සුපුරුදු ලෙස රයිගම් ටෙලීස් සම්මාන උලෙළ හැඩගන්වන්නේ ස්වේත චන්දනාලේපයි. ඡායාරූපවලින් දැක්වෙන්නේ ජනමාධ්‍ය දැනුම්වත් කිරීමේ උලෙළේදී සිදු වුණු විශේෂ අවස්ථා කිහිපයකි.