වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




හඬ ඉතුරු කොට ලොකු අයියා නික්ම ගියේය

හඬ ඉතුරු කොට ලොකු අයියා නික්ම ගියේය

පසුගිය සිංහල අලුත් අවුරුද්ද පසු වී දින කිහිපයක් ගත වන්නට ඇත. සැන්දෑවක මා සිටියේ නුගේගොඩ පැත්තේ අවන්හලකය. කාර්යාල සගයන් වූ චතුර ගීතනාත් බණ්ඩාර සහ චක්ෂු අබේවික්‍රම සමඟය. මගේ දුරකතනයට ඇමතුමක් ලැබිණ. ඇමතුම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියදාස පීරිස් මහතාගෙනි. නැතිනම් පීරිස් මහත්තයාගෙනි. ඒ මා සිටින්නේ කොතැනදැයි විපරමක් කරන්නටය. ගෙදර කිසි කෙනෙක් නැති බවත් හැකි නම් ඇවිත් යන්න යැයි ආරාධනාවකි. මා ඉන්නා තැන ඔහුට පැවසිීමි. එපමණක් නොව මගේ සගයන් ගැන ද කීවෙමි. එහෙම නම් මා ඔතැනට එන්නද? ඔහු ඇසුවේය. මම එකඟතාව පළ කළෙමි. මගේ සගයන් මට වඩා දස වසරකින්වත් බාල අතර පීරිස් මහත්තයා මට වඩා අවුරුදු හතලිස් එකකින් වැඩිමල්ය. මෙතරම් වැඩිහිටියෙක් අපේ සතුටු සමාගමට අවහිර කරනු ඇතැයි මගේ සමාගමේ සිටි පිරිස අදහස් කළ බැව් ඔවුන්ගේ මුහුණුවර සාක්කි සැපයුවේය. විනාඩි පහක් ගත වූයේ නැත. රතු පැහැති සුසූකි වෑන් රථයක් අවන්හල අතරතුර නතර කර තිබූ අලුත් දැවැන්ත රථ දෙකක් අතරින් පැමිණ වේගයෙන්ම සීරුවෙන් රිංගා නතර කළේය. ඒ නතර කිරීම දශමයක් එහා මෙහි වුවා නම් නවතා ඇති රථ දෙකින් එකක හෝ වදිනු ඇත. අනතුරුව එයින් බැස්සේ අනූ හැවිරිදි තරුණයාය. මගේ සගයන්ට ඒ එන්නේ අහවලා යැයි පැවසීමි. එතැනින් එහා ඔහු ගැන සිතාගැන්ම ඔවුන්ටම බාර කළෙමි.

ඒ ආරියදාස පීරිස් මහත්තයාගේ හැටිය. ගත වූ මාස කිහිපයේ ශරීර ශක්තියෙන් පිරිහෙන තුරුම පීරිස් මහත්තයා ගත කළේ විසි හැවිරිදි නාහෙට නාහන හිතුවක්කාර ඉලන්දාරියකු ලෙසටය.

පීරිස් මහත්තයා වාසය කළේ ද ආරියදාස පීරිස් මාවතේමය. එතුමන් නමින් එය නම් කරන ලද්දේ මෙයට වසර කිහිපයකට පෙරාතුවය. එහි නිවහනේ ඔහු ජීවත්වූයේ සිය දෙවැනි දියණිය චරිතා ප්‍රියදර්ශනී හා බෑණන්ඩිය වන විශාරද එඩ්වඩ් ජයකොඩි මෙන්ම මුනුබුරා සහ මිනිබිරිය සමඟය. එයට සතියකට දෙකකට පෙර හිමිදිරි පාන්දරක චරිතාගේ දුරකතනයට පණිවිඩයක් ලැබිණි. ඒ තමාට උදේ ආහාර පිළියෙල කරන්නට එපා යනුවෙනි.

රාත්‍රියේ නිවසේ සිටි තාත්තා උදේ පාන්දර කතා කරන්නේ කොහි සිටදැයි විමසූ කළ ඇය ලද පිළිතුරට උඩ ගිහින් බිම වැටිණ. ඇය මුලින් සිතුවේ විහිළුවක් හැටියටය. දෙවැනුව ඇය බිය වූයේ වයසක මනුස්සයාගේ සිහිය විකල්ව ගොස් ඇතැයි සිතමිණි. ඇය ඔහුගේ කාමරයට එබී බැලුව ද ඔහු සිටියේ නැත. කරන්නේ විහිළුවක් නොව සැබෑවක් යැයි ඇය වටහා ගත්තේ තාත්තාගේ හැටි දන්නා නිසාය. ඔහු අමතා තිබුණේ නුගේගොඩ සිට කිලෝමීටර් දෙසීයකට එහා තිබුණු බෙරගල තානායමේ සිටය.

රාත්‍රියේ සියල්ල නිදාගත් පසු රස්නය නිසා මිරිහාන හන්දියට යන්නට රථය පාරට ගත් ඔහු එය නතර කර තිබුණේ හොඳට සීතල තිබුණ බෙරගලට ගොසිනි. අපි ඒ ගමන ගැන මේ තරුණයාගෙන් විමසා සිටියේ වීර චාරිකාවක් අසන හැටියටය. ඔව් බං මං ඊට පස්සේ කතරගම පැත්තෙත් රවුමක් ගහලා ගෙදර ආවා. දැන් චරිතා බනිනවා වාහනේ විකුණනවා කියලා යැයි ඔහු ඇඟට පතට නොදැනී පැවසුවේ දඟ වැඩක් කොට අම්මාගෙන් බැනුම් අසා එය විනෝදයට ගන්නා ඉලන්දාරියකු විදියටය.

පීරිස් මහත්තයා අතරමඟ හමුව යමන් යැයි රථයට ගොඩ වන්නට ආරාධනා කළ ද එයට නොනැග ප්‍රවේශම් වන්නට මම පුරුදුව සිටියෙමි. එයට එකම හේතුව කිසි කලක අනතුරක් සිදු නොකර ගත්ත ද ඒ යන වේගය ඉවසන්නට බැරිවීමය. ඕනෑම වාහන තදබදයක අධික වේගයෙන් අස්සෙන් මුල්ලෙන් ලා ඉඟිලෙන්නට පීරිස් මහත්තයා සමත්ය. රියට ගොඩවන කල සියලු දෙවි පිහිට පතන්නට මට සිදුවේ. ආරියදාස පීරිස් යන නාමය අද ගුවන් විදුලි මාධ්‍යය පිළිබඳ ඔස්තාද්ලා නොදැන සිටිය ද ඔහු එම ක්ෂේත්‍රයේ දැවැන්තයෙකි.

ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්ථිර සේවකයකු නොවුණ ද එම මාධ්‍යයේ දැවැන්ත ඉතිහාසයකට හිමිකම් කියන්නෙකි. ඔහු සුපිරි තාරකා මැවුවෙකි. කොටින්ම ගුවන් විදුලියට වෙළඳ සේවයක් තිබෙන්නේ ඔහු වැන්නන් නිසාය. දරුවන් නව දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා ලෙස ආරියදාස පීරිස් උපන්නේ තලවකැලේදීය. ඒ එවකට වෝකර් පුත්‍ර සමාගමේ සේවය කළ කාර්මික නිලධාරියකු වූ කේ. පීරිස් සහ ටී. ඒ. ඩී. ඇලන් දම්පතීන්ට දාවය. 1926 වසරේ අප්‍රේල් 30 වැනි දිනය.

තලවකැලේ මැදි විදුහල, හැටන් ශ්‍රීපාද විදුහලෙන් සහ ගම්පහ ලෝරන්ස් විදුහලෙන් ද අධ්‍යාපනය හදාරන ඔහු අනතුරුව දියතලාව යුද හමුදා කඳවුරේ දුරකතන ක්‍රියාකරුවකු ලෙස රස්සාවට ගියේය. පසුව යතුරු ලියන්නකු ලෙස රජයේ සේවයට එක්ව ගම්පහ අධිකරණයේ සේවයට එක් විය. ඔහු සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා දත් හෙයින් පරිවර්තක තනතුරට සුදුසුකම් ලද්දේය. පසුව ඔහු අධිකරණයේ තෝල්ක මුදලි තනතුරට පත් විය.

ඉන් අනතුරුව කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එක් වන ඔහු කලා ලෝකයට පිවිසෙනුයේ ඒ සමඟය. කලක ගාමිණි සිනමාහල නමින් නම් කෙරුණු එවක නැෂනල් තියටර්ස් හි නළු නිළියන් තෝරා ගැනීමේ පරීක්ෂණයකට සහභාගි වන පීරිස් මහත්තයා එමඟින් පී. ද එස්. කුලරත්න මහතාගේ එම්. පී. 1950 නාට්‍යයට තෝරා ගැනිණි. එහිදී ඔහු තෝරා ගනු ලබනුයේ ප්‍රකට රංගවේදියකු වන ලැඩී රණසිංහ විසිනි.

ලැඩී, ආරියදාස ඉලන්දාරියා ගුවන් විදුලියට ගෙන ගියේය. මේ අවදියේ ඔහු මරහඬ හා පෙරකදෝරුැ බෑණා වැනි නාට්‍යවලට ද එක් විය. ගුවන් විදුලියට ගිය ආරියදාස පීරිස් බී ශ්‍රේණියේ විරිදු ගායකයකු ලෙස ද, පණ්ඩිත් රත්න ජංකර් සංගීත පරික්ෂණයෙන් පසු සරල ගී ගායනයට ද එක් විය. ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු ලෙස ඔහුගේ හඬ රට හඳුනා ගත්තේ මෙකලය.

ගුවන් විදුලියේ වෙළඳ සේවය ආරම්භ කරන ලද්දේ මේ සමයේය. එනම් 1951 වසෙර්ය. එහි මුල්ම නිවේදකයන් වූයේ ප්‍රොස්ෆර් ප්‍රනාන්දු සහ ලැඩී රණසිංහය. එවකට ගුවන් විදුලියේ අධ්‍යක්ෂ වූයේ ක්ලිෆර්ඩ් ආර්. ඩොඩ්ය. ඩොඩ් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි. වෙළඳ සේවය ආරම්භයේ එයට දැන්වීම් ලැබුණේ නැත. එමෙන්ම එමඟින් සදාචාරයට සංස්කෘතියට හානියක් වන්නේ යැයි දිනපතා පුවත්පත් මඟින් වෙළඳ සේවය පතුරු ගසා තිබිණි.

අන්තිමට බලධාරීන් පැය 48 ක් ඇතුළත ගුවන් විදුලියේ වෙළඳ සේවය නතර කර දමන්නට තීරණය කළහ. ඩොඩ්ගේ මෙහෙයවීමෙන් ආරියදාස පීරිස් හා එවකට ගුවන් විදුලියට දැන්වීම් ලබා දුන් එච්. සී. ජයසිංහ සමාගම ක්‍රියාත්මක විණි.

ඒ ඉදිරි දින දෙක ඇතුළත අවුරුද්දකට ගුවන් විදුලි දැන්වීම් ගෙන ඒමය. ඒ අනුව මරදානේ වීරරත්න සමාගම ආනයනය කළ ෆ්ර්වේ ලුබා නම් ජර්මානු ඔරලෝසු සඳහා ගිවිසුම් සකස් කෙරිණ. ගිවිසුමට පින්සිද්ධ වන්නට වෙළඳ සේවය ඉතිරි විණි.

ආධුනික පැය, පිබිදෙන ගායක පරපුර, තරු තැනුම, පැන පොඩි, විනාඩියක් පමණයි, ඔව් නෑ බෑ, පුළුවන් නම් දිනාගන්න, එඩීගෙන් අහන්න, අම්බිගා ගීතයෙන් ගීතය වැනි ගුවන් විදුලි ඉතිහාසයේ අතිශය ජනප්‍රිය වැඩ සටහන් රාශියක් එයින් පසු ආරියදාස පීරිස්ගේ මෙහෙයවීම යටතේ දිග හැරිණි. අද සුපර් ස්ටාර්ස්ලා සොයන ටෙලිවිෂන වැඩසටහන් මෙන්ම එකල ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන් වූයේ වෙළඳ සේවයේ එකී වැඩ සටහන්ය. මේ වැඩ සටහන් සියල්ල මෙහෙයවන ලද්දේ ආරියදාස පීරිස්ය.

එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා ඇතුළු බොහෝ ගායක ගායිකාවන් දොරට වැඩියේ මෙකී ආධුනික වැඩ සටහන් ඔස්සේය. ගුවන් විදුලිය මඟින් මෙහෙයවන ලද ස්වර්ණ සංඛ සිනමා උලෙළ සංවිධානය කරන ලද්දේ ආරියදාස පීරිස්ය.

එම අවදියේම ඉන්දියාවට ගිය ආරියදාස පීරිස් සිනමාකරණය පිළිබඳ මූලික අධ්‍යයනයක යෙදුණේ ය. මහා රංගනවේදී ජෝ අබේවික්‍රමයන්ගේ මුල්ම චිත්‍රපටය දේව සුන්දරී චිත්‍රපටයට හඳුන්වා දෙන ලද්දේ ද ආරියදාස පීරිස්ය. එපමණක් නොව මේ අවදියේ ඔහු සෝබන සිත නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. පසු කලෙක මන්දාරම් වැහි නමින් චිත්‍රපටයක් නිර්මාණය කළ ද එය එළි දුටුවේ නැත. මෙයට වසර කිහිපයකට පෙර ඔහු සුබා නමින් තවත් චිත්‍රපටයක් තිරයට ගෙනාවේ.

කුරුලුබැද්ද චිත්‍රපටයෙන් ආරියදාස පීරිස් රංගනයට ද පිවිසුණේය. එහි දෙවැනි චරිතය වූ තරුණ දොස්තරගේ චරිතය නිරූපණය කරන ලද්දේ ආරියදාස පීරිස්ය. රංගනයෙන් ඔහු දායක වූයේ එම චිත්‍රපටයකට පමණි. පසු කලෙක ගව්වෙන් ගව්ව නමින් තිලක් කුමාර රත්නායක අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍යයේ ද රඟපාමින් ඔහු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද එක් විය.

හතර අත පතල කලාවන් මෙහෙය වුව ද ආරියදාස පීරිස් රට තොට දැන ගත්තේ ගුවන් විදුලි නිවේදකයකු හැටියටය. ප්‍රසංග වේදිකාවේ ත්‍රෙභාෂාවෙන්ම හඬ දෙන්නට පීරිස් මහත්තයාට තිබුණේ ලොකු හපන්කමකි. ලේඛකයකු හැටියට සන්නස නමින් සිනමා සඟරාවකට ද ඔහු අත ගැසුවේය.

ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේ එහි සිටි ලොකු අයියලාගේ යුගය ආරියදාස පීරිස් මහත්තයාගෙන් පසු අවසන් වන්නේ යැයි මට පැවසුවේ ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගමය. ඒ කාලයේ ගුවන් විදුලියේ සිටියේ ලොකු අයියලාය. කරු අයියා (කරුණාරත්න අබේසේකර), ලලිත් අයියා (ලලිත් එස්. මෛත්‍රීපාල) සරත් අයියා (සරත් විමලවීර) මෙන්ම ආරි අයියා (ආරියදාස පීරිස්) ඇතුළු අයියලා ගුවන් විදුලියේ ඊළඟ පරම්පරාව පමණක් නොව එහි දිශානිතිය ද ගොඩ නැංවූයේය. තිලක සුධර්මන් ද සිල්වා, ප්‍රේමකීර්ති ද අල්විස්, අමරබන්ධු රූපසිංහ, සමන් ආතවුදහෙට්ටි ඇතුළු ඊළඟ පරම්පරාවක් මඟින් එය තවත් ඉදිරියට ගෙන ගියේය.

ගුවන් විදුලි ඉතිහාසයේ ආරියදාස පීරිස් සළකුණ එහෙමය. ආරියදාස පීරිස් විවාහ වූයේ 1963 වසරේ පුෂ්පා විජේරත්න සමඟය. පුෂ්පා රූප සුන්දරියකි. වසර ගණනාවකට පෙර මිය ගිය තම සහකාරිය ගැන සිහිපත් කරන විට පීරිස් මහත්තයාගේ ඇස්වල උපදින කඳුළු මම දැක ඇත්තෙමි. ඇය උත්තමාවියකි. ඔහු හදවත විවර කරමින් එසේ කියා සිටින්නේය.

ආරියදාස පීරිස් කලා ලෝකයට තම පරම්පරාව ද ගෙන ආවේය. තම බාල සොහොයුරන් වන අභාවප්‍රාප්ත රංජිත් පීරිස් හා ජයන්ත පීරිස් ද ගුවන් විදුලියට ගෙනාවේ ඔහුය. ආරියදාස - පුෂ්පා යුවළගේ මාලිගා හා චරිතා දියණියන් දෙදෙනාගෙන් චරිතා ද චන්දීප හා සාරණ්‍යා මුණුබුරු මිණිබිරියන් ද කලා ලොවට පිවිස ඇත්තාහ.

චරිතාගේ දයාබර සැමියා විශාරද එඩ්වඩ් ජයකොඩි මුල්වරට ගායන ලොවට පිවිසියේද පීරිස් මහත්තයා මෙහෙයවන ලද පිබිදෙන ගායක පරපුර වැඩ සටහනෙනි. පිබිදෙන ගායක පරපුරේ දෙවන ස්ථානයට පත් එඩ්වඩ්, පීරිස් මහතාගේ දෙවන බෑණනුවන් විය. රංගනවේදිනී චතුරිකා හා ටෙලිවිෂන නිවේදිකා පූර්ණිකා ජයන්ත පීරිස්ගේ දියණියන්ය. මේ ආකාරයෙන් පීරිස් මහත්තයාගේ සන්නිවේදන පරම්පරාව ඉදිරියට යන්නේය.

අවුරුදු 91 දී ජීවිතය හැර යන තුරුම ඔහු ජීවිතය විඳවූයේ නැත. වින්දා පමණකි.

අන්තිම සති කිහිපයේ රෝගාතුර වූ වග සැල වූ තැන අපි ඔහු සොයා ගියෙමු. වයෝවෘද්ධභාවය හැර වෙනත් ලෙඩක් පිටතට නොපෙනිණ. රෝගාතුර වන්නට පෙරාතුව ඔහු විසින්ම පදවාගෙන එන ලද අප විසින් ප්‍රාඩෝ එක යයි සුරතල් නාමයෙන් හඳුන්වන රථය ගෙමිදුලේ නවතා තිබිණි.

'මෙහෙම ඉන්ඩ බෑ බං. මොකකට හරි සෙට් වෙමු'

ඔහු මගේ අත් මිරිකමින් පැවසුවේය. 91 හැවිරිදි වියේ ඉරණම් ගමනට සැරැසෙමින් පවා ඔහු ළඟ තිබුණේ තරුණයකුගේ ආශ්වාදයයි.

අරියදාස පීරිස් මහත්තයාට නිවන් සැප ලැබේවා.