වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




රන්ජන්-පද්මසිරි මහා පුණ්‍ය කර්මයකට මුල පුරති

රන්ජන්-පද්මසිරි මහා පුණ්‍ය කර්මයකට මුල පුරති

පසුගිය දවස්වල අපූරු කටයුත්තකට අත පෙවූ පිරිසක් පිළිබඳ අපට ලැබුණේ ආරංචියකි. ඒ සැදෑ සුවය විඳීන කලාකරුවන් වෙනුවෙන් සොඳුරු නවාතැනක් ඉදි කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය වන බවකි. ඒ අදහස ඉදිරිපත් කළ අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාරත්, පැවසූ ප්‍රමාදයෙන් ඒ කාරණය කුමක්දැයි අසා ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මුල් වූ සමාජ සේවා හා සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකත් හමු වූයේ ඒ අපූරු කතාව කුමක්දැයි හා එහි වර්තමාන තත්ත්වය කුමක්දැයි දැනගනු රිසියෙනි. මේ ලිපිය සැකසෙන්නේ ඒ ඇසුරිනි.

ඒ අදහස පළමුවෙන් ම පහළ වන්නේ අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාරගේ සිතේ ය.

“විවිධ ප්‍රශ්නවලින් පීඩා විඳීන කලාකරුවන් රැසක් අපට සිටිනවා. ඔවුන්ගෙන් සමහ කෙනෙකු අපට ඒවා ප්‍රකාශ කළත්, සමහරුන්ට එසේ ඒවා ප්‍රකාශ කර ගැනීමට බැරිවයි ළතැවෙන්නේ. සැදෑ සමය ගෙවන එවැනි සමහර අයට පැන නැඟෙන ප්‍රශ්නවලට පෞද්ගලිකව අපට හැකි ආකාරයෙන් උදවු කළත් හැමෝට ම එලෙස කළ හැකි වන්නේ නැහැ. ඒ නිසයි පසුගිය දවසක මට කල්පනා වුණේ එවැනි කලාකරුවන් වෙනුවෙන් යමක් කළ නොහැකිද යන්නයි. ඒ කියන්නේ වැඩිහිටියන් බවට පත්ව කිසියම් ප්‍රමාණයකට ප්‍රශ්නවලට මැදිවෙලා සිටින කලාකරුවන්ට අවශ්‍ය පහසුකම්, අවශ්‍ය පිටිවහල සලසන, බොහොම සුවපහසුවට ඉන්න හැකි ස්ථානයක් නිර්මාණය කළ නොහැකි ද යන්නයි.

ඒ සඳහා යම් සැලසුමක් නිර්මාණය කරගත් මා එය රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමාටයි මුලින් ම ඉදිරිපත් කළේ. ඒ කාරණය බොහොම ඉහළින් අගය කළ එතුමා සාකච්ඡාවකින් පසුව අපි හැකි ඉක්මනින් මේ කටයුත්ත ආරම්භ කරමු යැයි ද පැවසුවා. ඉන්පසුව එතුමා නැවතත් ජනවාරි 02 වැනිදා මට දුරකථනයෙන් පවසා සිටියේ අමාත්‍යාංශයෙන් මිලියන 150ක් වෙන්කළ බවයි. සති දෙකකට පසුව නැවතත් කතා කරමින් ඔවුන් මට පැවසුවේ එස්. බී. දිසානායක ඇමතිතුමාත් සමඟ කතා කළාට පසුව මිලියන 300ක් දක්වා වෙන්වූ බවයි.

ඒ ආකාරයෙන් ඉතා ම ඉක්මනින්, ඉතාම ඉහළින් ම අපට සහයෝගය ලැබුණා. අතීතයේ සිට ම මේ කටයුත්ත කිරීමට උවමනාවක් තිබුණත් එවැනි කටයුත්තකට කිසිවකු මුල පිරුවේ නැහැ. වැඩපිළිවෙළක් ඉදිරිපත් වුණේත් නැහැ. ඒක විශාල ධනස්කන්දයක් වැය වන වැඩක්. එහෙම වුණත් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශය ඒ කටයුත්ත කිරීමට භාර ගත්තා. ඒ ගැන දැනෙන්නේ බොහොම සතුටක්. අපේ යෝජනාව වුණාට මේ සඳහා සවි ශක්තියක් වූයේ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමායි. මුදල් වෙන්කර දීමට මහන්සි වූයේ ඔහුයි. මා නැවත විමසීමක් කිරීමටත් පෙර ම ඔහු අමාත්‍යාංශ ලේකම්වරයත් සමඟ කතාකර මෙහි පළමු මිලියන 150 වෙන් කරන ලද්දේ ඔහුගේ උනන්දුවෙන්. ඒ නිසා එහි ගෞරවය හිමි විය යුත්තේ රන්ජන් රාමනායක මහතාටයි. ”

කලා ක්ෂේත්‍රයේ ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ඒ සිතුවිල්ල පිළිබඳ සාකච්ඡාවක් කිරීමට පසුගියදා ඔවුහු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකට ආරාධනා කළහ. එසැණින් ඔහු පද්මසිරි කොඩිකාර ඇතුළු පිරිසට ඒ සාකච්ඡාව සඳහා ආරාධනා කළේ සිය නිවෙසට ය. පද්මසිරි කොඩිකාර ඇතුළු ප්‍රවීණ කලාකරුවන් විසිදෙනෙක්ගෙන් යුත් පිරිසක් ඒ සඳහා සහභාගි වූහ.

“එහිදි සාකච්ඡාවට බඳුන් වූයේ මේ කටයුත්ත කෙරෙන්නේ කෙසේ ද? යන්නයි. අවසාන වශයෙන් කිව හැක්කේ මේ කටයුත්ත කෙසේ හෝ ඉටු කිරීමට හැකි බවයි. පසුගිය දිනවල සිනමාව වෙනුවෙන් කතාබහ කළ බොහෝ දෙනෙක් මේ සාකච්ඡාවට සහභාගි වූ බවත් පැවසිය යුතුයි.”

පද්මසිරි කොඩිකාර පැවසුවේ කලාකරුවන් සඳහා යෝජනා වූ වැඩපිළිවෙළ ආරම්භ වීම පොරොන්දුවක් පමණක් නොවන බව හෙළි වූ සතුටෙනි.

ඊට වඩා දෙවැනි නොවූ සතුටක් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකගේ සිතේ ද තිබෙන බව අපට වැටහිණි.

“කලාවේ ඉඳන් දේශපාලනයට පිවිසුණු බොහෝ දෙනෙකුට නැඟෙන චෝදනාවක් වන්නේ කලාවේ කර මතින් පැමිණියත්, දේශපාලනයේදී මොනයම් හෝ දෙයක් නොකිරීමයි. මටත් ඔය කියන චෝදනාව එල්ල වෙනවා. එහෙම වුණත් මට හැකි අයුරින් මා ඔවුන් පිළිබඳ, ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ කතා කළා. ඒ ගැන හැන්සාඩ් වාර්තාවල පවා ලියැවිලා තිබෙනවා. ඒ අනුව කලාකරුවන්ට සිය සැදෑ සමය සුවසේ ගත කරන්න, සතුටින් ඉන්න, උවමනා ස්ථානයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු පිළියෙල කිරීමට අනෙක් අයගේ උදවු ඇතිව මා වෙහෙස වුණා. පද්මසිරි කොඩිකාර මහත්තයා ඇතුළු පිරිස ඒ අදහස ඉදිරිපත් කළාට පස්සේ මේ කාරණය යථාර්ථයක් කර ගැනීමට මා අමාත්‍යතුමාගේ අවසරය ලබා ගත්තා. ඒ අනුව මුදලක් හා ඉඩමක් වෙන්කර ගැනීමට අපට හැකියාව ලැබුණා. තවත් මාස කිහිපයක් ඇතුළත කැබිනට් අනුමැතිය ලැබුණු විගසම මේ කටයුත්ත අප ආරම්භ කරනවා. ඉදිරියේදී ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ කටයුත්ත ආරම්භ කිරීමට මුල්ගල තියනවා කියන සුබ ආරංචිය මා ඔබ සැමට ලබා දෙනවා.”

සැදෑ සමය බොහොම සතුටින් විඳීන සොඳුරු නිවහන තැනෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයේ ය. කොළොම්පුරවරයේ සිට අධිවේගී මාර්ගයේ විනාඩි හතළිහක් පමණ කාලයක් ඇතුළත පිවිසිය හැකි ආකාරයෙන් දුර ප්‍රමාණයක පිහිටා ඇති මේ ස්ථානය වෙන් වන්නේ අසරණ තත්ත්වයට පත්ව සැදෑසමය ගත කරන කලාකරුවන්ට පමණක් නොවේ. ඒ සොඳුරු නිවෙස එලෙස අසරණ වූ මාධ්‍යවේදීන්ට ද විවෘත වීම මෙහි ඇති විශේෂත්වයකි.

“මාධ්‍යයි කලාවයි කියන දෙක වෙන්කරන්න බැහැ. අපි ගැනත් මුලින්ම ලිව්වේ මාධ්‍යවේදීන්. කලාකරුවන්ව ජනතාව අතරට අරගෙන යන්නේ මාධ්‍යවේදීන් විසින්. ඔවුන් දෙදෙනා අතර තිබෙන්නේ ගසට පොත්ත වගේ සබැඳීයාවක්. ඒ වුණත් ඒ අයගෙන් සමහර අය අවසන් කාලයේ සිය ජීවිතය ගත කරන්නේ බොහොම අසරණවයි. ඒ අය වෙනුවෙනුත් මේ සොඳුරු නිවහන විවෘතව ඇති බව අප පවසන්නේ බොහොම සතුටින්.”

ඒ විශේෂත්වය කුමක් ද යන්නත් රන්ජන් රාමනායක හා පද්මසිරි කොඩිකාර යන මහත්වරු පැහැදිලි කළහ.

ඉදිකිරීමට නියමිත සැදෑසමය විඳීනා සොඳුරු නිවහන සියලු ම අංග සම්පූර්ණ අංශවලින් සමන්විත ය. එනම් නිදන කුටි මෙන්ම පුස්තකාලයක්, ඔවුන්ට විවේකය ගත කරන හා සෙල්ලම් කිරීම සඳහා අවශ්‍ය බඩුබාහිරාදිය, රූපවාහිනි යන්ත්‍ර, අසනීප වූ විට හෝ හදිසි අවස්ථාවක් සඳහා පිහිට විය හැකි සාමාන්‍ය වෛද්‍ය පහසුකම් සහිත රෝහලක්, ආදි නවීන පන්නයේ පහසුකම් ඉදිවීමට නියමිත නිවහනේ සැලසුමට ඇතුළත් ය. ඊට අමතරව ඔවුන් වෙනුවෙන් ම වෙන්වුණු රක්ෂණ ක්‍රමයක් ද හඳුන්වා දීමට නියමිත ය.

“අනෙක් කාරණය නම් කලාකරුවන් සමඟ කතා කිරීමට කැමැති ඔවුන්ට ආදරය දක්වන රසිකයන්ට එක ම ස්ථානයකදී ඔවුන් හමු වීම ද මෙහිදී කළ හැකියි. එමෙන්ම ප්‍රවීණ කලාකරුවන් සැදෑ සමය ගත කළ ද සතුටින් සිටීමටත්, නව පරපුරේ අය ඇසුරු කිරීමටත් කැමැත්තක් දක්වනවා. ඒ නිසා නව පරපුරේ අය නිතර ගැවසිය හැකි අයුරෙන් දර්ශන තලයකුත් එහි ඉදිවීමට නියමිතයි. එවිට ඔවුන්ට කිසිදු පාළුවක්, කාංසියක් නොදැනේවි.”

රන්ජන් රාමනායක පවසන්නේ සැදෑ සමය ගත කරන කලාකරුවන්ගේ හා මාධ්‍යවේදීන්ගේ සුව පහසුව පිළිබඳ ය. මේ අදහස පද්මසිරි කොඩිකාර ඉදිරිපත් වීමට පෙර සිට ම නිවහනක් නොමැති කලාකරුවන් වෙනුවෙන් යමක් කළ යුතු ය යන්න රන්ජන් රාමනායකගේ සිතේ සැඟව තිබුණු අදහසකි. ඒ අදහස ඔහු සිතූ කාලයටත් පෙර ම ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ පද්මසිරි කොඩිකාරගෙන් මේ අදහස ඉදිරිපත් වීමත් සමඟිනි.

“කලාකරුවන් වෙනුවෙන් මෙවැනි දෙයක් කළ යුතුය කියන අදහස මගේ සිතේ පිළිසිඳෙන්නේ මීට කාලයකට කලින්. ඒ මා රූබී ද මෙල් නම් ප්‍රවීණ නිළියගේ දුක සැප සොයන්න ගිය අවස්ථාවෙදියි. ඈ සිටියේ සියලු පහසුකම්වලින් යුක්ත නිවාසයකයි. එහි තිබුණු පහසුකම් සමඟ මගේ සිතට පිවිසුණේ මෙවැනි නිවාසයක් අපේ කලාකරුවන් නිර්මාණය කළ යුතුය යන්නයි. කොහොම වුණත් පද්මසිරි කොඩිකාර ගෙනාව ඒ යෝජනාව මේ වනවිට මල්පල දරලා. මේත් සමඟ ම තවත් යමක් සඳහන් කළ යුතුයි. මේ සඳහා විදේශ ගත අයගේ හෝ වෙනත් අයගේ හොඳ යෝජනා තිබේ නම් අපට දැනුම් දිය හැකි බවයි. ”

එවැනි යෝජනා තිබේ නම් රංජන් රාමනායක, ඒ- 5, මන්ත්‍රී නිවාස, මාදිවෙල, කෝට්ටේ යන ලිපිනයට ඔබට දැන්විය හැකිය. එමෙන්ම සැදෑ සමය ගෙවන්නට ඉදිවන සොඳුරු නිවෙසේ පුස්තකාලයට කලාකරුවන් පිළිබඳ සඳහන්ව ඇති ඩී.වී.ඩී. පට, පුවත්පත්, සඟරා එකතු කරන ලද්දේ නම් ඒවා ඔබට එහි ඉදිවීමට නියමිත පුස්තකාලයට භාර දිය හැකිය. ඒ වගේ ම විවේකීව ගත කිරීමේදී අවශ්‍ය කැරැම් බෝඩ් ආදි දේවල් සැපයීමෙන් ඔබ ආදරය කරන කලාකරුවන්ට ආදරය දැක්වීමට අවස්ථාවක් ලබාදීමට ද ඔවුන් කැමැති ය. එවැනි දේ ඔබ සතු නම් නියමිත අවස්ථාවලදී සෙත්සිරිපායේ දෙවැනි මහලට පැමිණි විට ඒ සියල්ල භාර දීමේ අවස්ථාව ඔබට උදාවෙනු නියත ය.

කුමක් වුවද මේ කෙරෙන්නේ සිදු විය යුතුව තිබූ යහපත් කාර්යයකි. එය කලක් ගත වී හෝ නිවැරැදිව කෙරෙන්නේ නම් අසරණව දිවි ගෙවන කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට අපූරු පණිවුඩයක් වනු නොඅනුමාන ය. ඒ නිසා මේ සොඳුරු නිවහනේ ඉදිවීම පිළිබඳ හා එහි අලුත් ම තත්ත්වය පිළිබඳ විස්තර වරින්වර ඔබට මෙන්ම පාඨකයන් වෙතට ද ගෙන එන්නට ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙමු.