වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

චිත්‍රපටයක් නිසා රන්බීර් තරබාරු වෙයි
මධුරිගේ රහසකුත් එළියට

පසුගිය දවසක සම්මාන උලෙළකදී රන්බීර් කපූර් දුටු සියලු දෙනාම මවිතයට පත් වුණා. හිතා ගන්නවත් බැරි විදියට ඔහු තරබාරු වෙලා. සාමාන්‍යයෙන් බොලිවුඩ් තරු තමන්ගේ කඩවසම බව රැක ගන්න ලොකු උනන්දුවක් දක්වනවා. පසුගිය කාලයේ අමීර් Dangaal චිත්‍රපටය වෙනුවෙන් තම සිරුරේ බර වැඩිකර ගත්තා. ඒක දැන් මෝස්තරයක් වෙලා ද කියලත් ඇතැමුන් විමසනවා.නමුත් දැන් රන්බීර් දුටු කාටවත්ම එහෙම හිතෙන එකක් නැහැ. හරියටම එයාගේ තාත්තා රිෂි කපූර් තරමට එන්න තියෙන්නේ තව ටිකයි. ඇතැමෙක් එහෙම කිව්වා.

හැබැයි රන්බීර් මේ විදියට තරබාරු වෙලා තියෙන්නේ අරමුණක් ඇතුවයි. ඒ අලුත් චිත්‍රපටයක් වෙනුවෙන්. ඔහුගේ බලාපොරොත්තුව ඒ වෙනුවෙන් තමන්ගේ බර කිලෝග්‍රෑම් 13කින් ඉහළ නංවා ගැනීමයි. සංජේ දත්ගේ ජීවිත කතාව ඇසුරෙන් ගොඩනැඟෙන චිත්‍රපටය වෙනුවෙන් තමයි රන්බීර් මේ කැපවීම කරන්නේ. රාජ් කුමාර් හිරාණිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කෙරෙන මේ චිත්‍රපටය නිසා මීට දශක තුනකට එහා රහසකුත් හෙළි වෙලා.

ඒ රහස වෙන කවුරුවත් නෙවෙයි මධුරි ගැන තමයි. අනූව දශකයේදී සංජේ දත් සහ මධුරි ඩික්සිත් අතර හාදකමක් පැවති බවට සැක කරනවා. තමන් දැන් සිටින තත්ත්වය සමඟින් මේ චිත්‍රපටයේ ඒ පිළිබඳ කොටස් ඉවත් කරන ලෙස හිරාණි ගෙන් මධුරි කළ ඉල්ලීමක් නිසා ඒ සැකය ගැන දැන් ආයෙමත් කතා කරන්න පටන් අරන්. එය මොන තරම් වැදගත් වුණත් ඉවත් කරන ලෙසින් ඇය ආයාචනා කළ බව දැන් රහසක් නෙවෙයි. බොලිවුඩ් ආරංචිවලට අනුව අධ්‍යක්ෂ රාජ් කුමාර් හිරාණි ඒ ඉල්ලීමට එකඟත්වයක් පළ කරලා.

මේ චිත්‍රපටයෙන් සජේ දත්ගේ ජීවිතයේ බොහෝ පැති අනාවරණය කෙරෙන බවත් ආරංචියි. ඔහු සිරගතව ගත කළ කාලය, මත් ද්‍රව්‍ය චෝදනා වගේම ඔහුගේ සම්බන්ධතා ද එයට ඇතුළත්. මේ වසරේ නත්තලට එය තිරගත කරන්නත් නිෂ්පාදන කණ්ඩායම බලාපොරොත්තු වෙනවා.


අනුෂ්කා හොල්මනක්

අනුෂ්කා ෂර්මා බොලිවුඩයේ තමන් මැවූ චරිත ගැන බෙහෙවින් තෘප්තිමත් නිළියක්. ඇය අතරමං වුණු පෙම්වතියගේ චරිතයේ සිට මල්ලවපොර සූරියකගේ චරිතය දක්වා චරිත නිරූපණය කරලා තියෙනවා. තමන්ට ඕනෑම චරිතයකට පණ දිය හැකිය යන ස්ථාවරයෙන් සිටින ඇය මේ දක්වා විවිධාකාර චරිත ලැබීම තමන්ගේ වාසනාව ලෙසින් දකිනවා.

"නිළියක් විදියට මට ඕනෑම චරිතයක් කරන්න හැකි බව සිතනවා. නමුත් මට ලැබෙන අවස්ථාවන් අනුව එය රඳා පවතිනවා. ඒ විදියට ගත්තත් මම ගොඩක් වාසනාවන්තයි. මොකද මට මේ දක්වා ලැබුණු හැම චරිතයකට හොඳීන් පණ දෙන්න හැකි වුණා. ප්‍රේක්ෂකයන්ද ඒ චරිතවලට කැමැති වුණා. මං හිතන්නේ වැදගත්ම දෙය එය යි. මොකද අපට ප්‍රේක්ෂකයන් සතුටු කරන්න හැකි වෙන්නේ අපේ චරිතවලින් විතරයි.

අපි තිරයේ දක්වන චරිත සමඟින් ප්‍රේක්ෂකයා ආදරයෙන් බැඳෙනවා. ඒ නිසා අපි හැම තිස්සෙම වෙනස් චරිත කළ යුතුයි. මට මගේ වෘත්තියේදී ඒ වගේ විවිධ අවස්ථා ලැබීම ගැන සතුටුයි." අනුෂ්කා පවසනවා. ඒ විතරක් නෙවෙයි ඇය NH10  චිත්‍රපටය සමඟින් නිෂ්පාදනයටත් පිවිසුණා. දැන් ඇය සිය දෙවැනි නිෂ්පාදනයට සූදානම්. Phillauri  නම් එහි අනුෂ්කා හොල්මනකගේ චරිතයට පණ පොවනවා.


බන්සාලිට ප්‍රහාරයක් ජයාගෙන් දෝස් මුරයක්

සමාජවාදී පක්ෂයේ නායිකා ජයා බච්චන් පසුගියදා රාජ සභාවේදී ‍දැඩි ආවේගයෙන් කතා කළ බව ආරංචියි. ඇය පැවසුවේ නිර්මාණශීලිත්වයට සලකන අයුරු ගැන පැහැදීමට පත්විය නොහැකි බවයි. එක්තරා දේශපාලන පක්ෂයක පිරිසක් රටේ එකිනෙකා නොරුස්සන ස්වභාවය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවත් ප්‍රකාශ කළා. නීතිය අතට ගෙන ඇති ඔවුන්ට රාජය ව්‍යවස්ථාව හෝ නීතිය පිළිබඳ කිසිදු තැකීමක් නොමැති බවත් ඇය පැහැදිලි කළා.

ජනප්‍රිය බොලිවුඩ් නිළිය එදා රාජ සභාවේදී කළ මේ කතාව තුළ ඉන්දීය සිනමාවෙන් වන සේවය ගැන හොඳ පැහැදිලි කිරීමකුත් කරලා. විවිධ පාර්ශව විසින් සිනමා කර්මාන්තයට බාධා කිරීම එහි උන්නතියට විශාල බාධාවක් කියලත් පැහැදිලි කරලා. ජයාගේ මේ දැඩි ප්‍රකාශයට ප්‍රධාන හේතුව වුණේ මැර ප්‍රහාරක්.

මැර ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ සම්මානනීය අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලිට. පසුගිය ජනවාරි මාසයේ පද්මාවති දර්ශන තලයේදී සිදු වූ එම ප්‍රහාරය රජය හෙළා නොදැනීම ගැන ඇය චෝදනාවකුත් එල්ල කළා. දර්ශන තලයේ තිබූ කැමරා උපකරණ කිහිපයකටත් අලාභානි වූ බවත් බොලිවුඩ් ආරංචි මාර්ග වාර්තා කළා.


කන්ගනා ඉන්දු- පකිස්තාන දේශ සීමාවේ

ඉන්දු- පකිස්තාන දේශ සීමාව ආසන්නයේ ජම්මුහි පිහිටා තිබෙන දේශසීමා ආරක්ෂක හමුදා මූලස්ථානයට පසුගියදා තරුවක් පැයූවා. පසුගිය කාලයේ ඇති වූ ගැටුම් සමඟින් මේ රටවල් දෙක අතර දේශ සීමාවේ ආතතියක් ඇති වෙලා තිබුණා. නමුත් මේ තත්ත්වය තරමක් පහව ගිය පසු ජම්මුහි දේශසීමා ආරක්ෂක හමුදා මූලස්ථානයේ උත්සවයක් සංවිධානය කෙරුණා. එයට හමුදා සාමාජිකයන් වගේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද සහභාගි වුණා.

මේ අතරේ වූ වෙනස්ම අමුත්තිය වුණේ බොලිවුඩ් නිළි කන්ගනා රනවුත්. ඇයගේ පැමිණීමෙන් එහි සිටි සියලුම දෙනාගේ සතුටට හේතුවක් වුණා. බොහොම ආදරයෙන් ඇය පිළිගත් ඔවුන් ඇය සමඟින් ගීත ගායමින් නර්තනයේ යෙදුනා. ඔවුන්ගේ ප්‍රධානියා පැවසුවේ ඒකාකාරි ජීවිත ගතකරන සොල්දාදුවන්ට මෙය වෙනස් නැවුම් අත්දැකීමක් වූ බවයි. කන්ගනා මේ ජම්මු ගමනට සහභාගි වුණේ, සිය නවතම චිත්‍රපටය Rangoon හි ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන්.


සුන්දරම පෙම් යුවළ නැවතත්

ආලියා භාත් සහ වරුන් ධවාන් මුලින්ම දකින්න ලැබුණේ කරන් ජොහාර්ගේ Student of the Year චිත්‍රපටයෙන්. බොලිවුඩයට පැමිණි සුන්දරතම පෙම් යුවළක් ලෙසින් රසිකා රසිකාවන් බොහොම ආදරයෙන් මේ දෙන්නා පිළිගත්තා.

දැන් තවත් අලුත් චිත්‍රපටයකින් මේ දෙදෙනා දැක ගන්න ලැබෙනවා. ඒ Badrinath Ki Dulhania චිත්‍රපටයෙන්. එහි පූර්ව ප්‍රචාරක පටය නිකුත් කර පැය 12කදී මිලියන 5ක පිරිසක් එය නරඹා තිබුණා. Badrinath Ki Dulhania චිත්‍රපටයේ ආලියාට මනාලියක ලෙසින් හැඩ වෙන්නත් තිබුණා. ඒ ගැන ලොකු සතුටක් හිතේ තියෙන බව ආලියා පවසනවා. "මම මනාලියක ලෙසින් තුන් වතාවක් හැඩ වෙලා තියෙනවා. ඒ ගැන සතුටුයි" ඇය පවසනවා. ශෂංකා කේතන් විසින් අධ්‍යක්ෂණය කළ Badrinath Ki Dulhania ලබන මාර්තු මාසයේදී තිරගත වෙන්න නියමිතයි.