වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




විජයට අහිමි වූ විජය ඡායාරූපය

විජයට අහිමි වූ විජය ඡායාරූපය

විජය කුමාරතුංගයන් මිය යන මෙහොතේ මා සිටියේ තිස්ස අබේසේකර සූරින්ගේ 'දොළොස් මහේ ගංගාව' ටෙලි නාට්‍යයේ නිශ්චල ඡායාරූප ශිල්පියා වශයෙන් කටයුතු කරමිනි. එදින රූපගත කිරීම සිදු කෙරුණේ කොත්මලේ ප්‍රදේශයේ පැරැණි වලව්වකදීය. ඒ අසල තේ කඩයකට ගිය මට විජය ඝාතනය කළ පුවත ගුවන්විදුලියෙන් ප්‍රචාරය කරනවා ඇසිණ.

මේ අමිහිරි පුවත මම එහි කැමරා ශිල්පී කේ. ඒ. ධර්මසේනට (කිචි ධර්මේ) පැවසීමි. ඔහු ගල් ගැසී බලා සිටියා මට මතකය. පසුව මේ පුවත සහාය අධ්‍යක්ෂ සෝමදාස මල්දෙනිය විසින් අධ්‍යක්ෂ තිස්ස අබේසේකරයන්ට දැන්වූයේ හීන්සීරුවේය. එය දර්ශනය රූපගත කිරීම අවසන් වනතෙක් රහසක් වශයෙන් තබාගන්නා ලෙස ඔහු අපට දැන්වීය. අද මෙන් එස්. එම්. එස්. පණිවිඩ නොමැති එකල එය රහසක්ම විය. එම රූපගත කිරීම අවසන්කර අපි සියලුදෙනාම කොළඹ බලා පිටත් වීමු.

ඒ වන විට විජය මියගිය පුවත සැල වී සියල්ලෝම ශෝකබරිතව සිටියහ. එම වකවානුවේ මා 'ආරාධනා' පුවත්පතේ ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවය කරමින් සිටි යුගයයි. විජයගේ ඉතා ජනප්‍රිය වූ මෙම ඡායාරූපය මා විසින් ගන්නා ලද්දේ එම කාලයේදීය. මෙම ඡායාරූපය ගැනීමට මා දිරිමත් කළේ එවකට ආරාධනා පුවත්පතේ කර්තෘ ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මුදිත කාරියකරවන මහතා විසිනි. ඒ 1987 වසරේදීය.

එවකට ඉතා කාර්යබහුල නළුවකු වී සිටි විජයගෙන් ඡායාරූප ගැනීම සඳහා දිනයක් වේලාවක් වෙන්කර ගැනීම අපහසු විය. විජය දේශපාලන කටයුතුවල නිරතවීම ද එයට හේතු විය.

දිනක් පෙරවරුවේ මම ඔහු සොයා පොල්හේන්ගොඩ ඔහුගේ නිවසට ගියෙමි. මගේ වාසනාවට ඔහු නිවසේ විය. පුවත්පතක් බලමින් සිටි ඔහු මා දැක 'මොනවද මල්ලි මගෙන් කෙරෙන්න ඕනේ' යයි නිහතමානීව ඇසුවේය. මම මගේ අවශ්‍යතාව ඔහුට කීවෙමි. ඔහු වහාම එයට එකඟව එම මොහොතේම ඡායාරූප ගැනීමට කැමැති විය. එම අවස්ථාවේදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා ද දේශපාලන කටයුත්තකට ඔහු හමුවීමට පැමිණ සිටියේය. විජය වාසු සමඟ කතා කරමින් කවිච්චියේ වාඩි වී මගේ ඡායාරූප ගැනීමට ඉරියව් වෙනස් කරමින් මුහුණ දුන්නේය.

එහිදී මා විසින් ගන්නා ලද එක් ඡායාරූපයක් එවකට 'ආරාධනා' පුවත්පතේ පිටු දෙකක් පුරා මුල් කවරයකින් සැරසුණි. කවරය සැලසුම කරන ලද්දේ එකට අප පුවත්පතේ ප්‍රධාන පිටු සැලසුම් ශිල්පියා වශයෙන් කටයුතු කළ දැන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන උදයකාන්ත වර්ණසූරිය විසිනි.

පුවත්පතේ පළ වූ තම ඡායාරූපයට විජය මහත් ආශා කළේය. ඔහු කීපවරක් මෙම ඡායාරූපයේ පිටපතක් මගෙන් ඉල්ලා සිටියේය. පසුව ඔහුට බාරදීම සඳහා පුවත්පත් ආයතනය මඟින් ඡායාරූපයක් සූදානම් කර තිබුණේය.

විජය අවසන්වරට මා හමු වූයේ ඔහු මිය යාමට දින කීපයකට උඩදී පොල්හේන්ගොඩ නිවසේදීය. 'දෙලොස් මහේ ගංගාව' ටෙලි නාට්‍යය සඳහා රෝද පුටුවක් ලබා ගැනීමට මමත්, අසංකා මොනරවිලත්, ගෝතමී පතිරාජත් ඔහුගේ නිවසට ගියෙමු.

එදින ද එම ඡායාරූපය ඔහු මගෙන් ඉල්ලා සිටියේය. එය සූදානම් කර ඇති බව මම ඔහුට කීවෙමි. 'දොලොස් මහේ ගංගාව' නිමවා කොත්මලේ සිට කොළඹ පැමිණි පසු එය ඔහුට ලබාදෙන බවට මම පොරොන්දු වුණෙමි.

එහෙත් දෛවයේ සරදමකට මෙන් ඊට දින කීපයකට පසු සහාසිකයකුගේ වෙඩි පහරින් ඔහු අප අතහැර ගියේය.

විජයට හිමි නොවූ එම විජය ඡායාරූපය කිසිවකු විසින් මගේ අවසරයකින් තොරව අන්තර් ජාලයට එක්කර ඇත. එම ඡායාරූපය අද අයිති ඩිජිටල් තාක්ෂණයට හෝ අන්තර් ජාලයටත් නොව විජය කුමාරතුංගගේ සුවහසක් රසික ජනතාවටය.