වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ෂාරුක්ගේ බයිට් එක

ෂාරුක්ගේ බයිට් එක

දෙරණ නාළකාවේ විකාශය වන දෙරණ චැම්පියන් ස්ටාර් අන් ලිමිටඩ් වැඩසටහන හරිම ජනප්‍රියයි. ඒ හින්දම එහි නිවේදන කටයුතු කරන පේෂල, මාධව සහ සචිනි යන තිදෙනාටත් නානාප්‍රකාර ප්‍රතිචාර ලැබෙනවලු. මේ අතරින් කාගෙත් බයිට් එක තමයි සචිනි. වෙලාවකට ඇය බයිට් වෙනවා වැඩිද මන්දා කියලත් හිතෙනවා. නමුත් සචිනිත් අතහරින්නෙම නැහැ. තමන්ට කියන දේවල්වලට සචිනිත් වාග් ප්‍රහාර දියත් කරනවා.

සචිගේ කැමැතිම නළුවා තමයි ෂාරුක් ඛාන්. ෂාරුක්ට අනම්මනම් කියනවට ඇය කැමැති නැහැලු. කවුරු හරි කෙනෙක් ෂාරුක්ට ඇද කියනවා නම් හිමිහිට සචිනි එතනින් මාරු වෙනවලු. මේ බව දැනගෙන පේෂලලා සචිනිට වැඩසටහනට පැමිණෙන ආරාධිත අමුත්තන් කවුද කියන වග දන්වනවලු.

මෙදින එහෙම වෙලා නැහැ. සර්ප්‍රයිස් එකක් කියලා දන්වලා කට්ටිය සචිනිගේ ඇස්වහලා ෂාරුක් රඟපාපු චිත්‍රපටයක සින්දුවකුත් ප්ලේ කරලා. සචිනිට නටන්න කිව්වලු. සචිනි දැන් නට නටා ඉන්නවලු. එක පාරට පේෂලලා කිව්වලු ඇස් අරන්න කියලා. සචිනි දෑස බැඳ තිබුණු ආවරණය ඉවත් කළාලු.

මෙන්න වැඩක්, ෂාරුක්ගේ ස්වරූපය තියෙන ලෝකල් ෂාරුක් සචිනි ළඟ ඉන්නවලු. ඔහුව දැකලා සචිනිට ඇඬෙන්න ඇවිල්ලා. නමුත් ඒ වග නොපෙන්වා හිනාවෙවී සචිනි වැඩසටහන කළාලු. එදත් දවසේ බයිට් එක සචිනිලු.

වම දකුණ මාරු වෙලා

රුක්ෂානා දිසානායක නමැති නව පරපුරේ නිළිය තමන්ගේ වාහනය පදවගෙන යද්දී පිටුපසින් පැමිණ ඇයට ඉස්සර කරගෙන යන වාහනවල ඉන්න රියදුරන්ගෙන් වැඩි දෙනෙකු ඇයට බැන බැන යනවා පේනවලු. ඇයට මේක හරිම ප්‍රශ්නයක් හේතුවක් නැතුව ඇයි එහෙම වෙන්නේ කියලා.

ඇතැම් දෙනා රුක්ෂානාගේ වාහනය පිටුපස සිට හයියෙන් හෝන් කරනවලු. මේ මේ හේතු නිසා ඇය පාරට වාහනය දාන්නේ දෙපාරක් හිතලලු. මේ ඊයේ පෙරේදා දිනෙක රුක්ෂානා තම මිතුරෙකුගේ මාර්ගයෙන් රියදුරන් තමන්ට බැන බැන යන හේතුව හොයා ගත්තලු. සාමාන්‍යයෙන් රුක්ෂානට වම දකුණ මාරු වෙනවලු.

වාහනය පදවද්දිත් ඒකේ වෙනසක් නැතිලු. ඇය දකුණට සිග්නල් දාලා හරවන්නේ වමටලු. වමට සිග්නල් දාලා හරවන්නේ දකුණටලු. අන්තිමේ පැයක විතර පුහුණුවකින් පසුව රුක්ෂානා වම දකුණ හදාගත්තලු. රුක්ෂානාට වම දකුණ මාරුවෙද්දී අනිත් රියදුරන්ට උතුර දකුණ අමතක වන එකත් අහන්නත් දෙයක්ද.

‘මේඝ’ට ලිව්ව උපාලි

රංගන ශිල්පී හා අධ්‍යක්ෂ සේනක විජේසිංහ අධ්‍යක්ෂණය කරන 'මේඝ' චිත්‍රපටයේ ගීත පටිගත කිරීම පසුගියදා සිදු කළා.

මෙහි ගීත ගායනා කළේ රනිල් මල්ලවාරච්ච්,උරේෂා රවිහාරි, අමිලා නදීෂානි, සේනක විජේසිංහ, පවන් මල්ලවාරච්චි යන ශිල්පීන්. මෙහිදී පවන් මල්ලවාරච්චිගේ පළමු චිත්‍රපට ගී ගැයීම සිදු වූ අතර ඔහුත් සමඟ ගී ගායනයෙන් සහභාගි වූයේ ගායන ශිල්පිනී අමිලා නදීෂානියි.

ඒ ගීතයේ පද රචනය මාධ්‍යවේදියකු මෙන්ම ‍ගී පද රචකයකු වන උපාලි බණ්ඩාර වීරසේකරගෙන්. ලේඛකයකු, මාධ්‍යවේදියකු හා ගී පද රචකයකු වන කපිල කුමාර කාලිංග 'මේඝ' චිත්‍රපටයේ අනෙක් ගීත සඳහා ගී පද රචනයෙන් එක්වන මෙහි සංගීත අධ්‍යක්ෂණය ලස්සන ජයසේකරයි.

මට අමතක නැහැ

අප ක්ෂේත්‍රයේ සිටින කලාකරුවන්ගෙන් වැඩි දෙනකුට මාධ්‍යවේදීන්ව මතක් වෙන්නේ උදව්වක් ඉල්ලගන්න පමණයි. පුවත්පතේ ලිපියක් පළ කරගන්න ඕන නම් අන්න ටක් ගාලා කතා කරනවා. එහෙම පළ වුණායින් පස්සේ කාලයක් යනකම් ඒ ලිපිය පළ කරලා දුන්නු කෙනාව මතකවත් නැහැ.

ඒ අතරින් අතළොස්සක් කලාකරුවන්ට තමන්ට උදව් කරපු අයව මතකයි. ඒ අතරින් කෙනකු තමයි අර්ජුන කමලනාත්. මේ අර්ජුන කියන්නේ ඔහු තමන්ට උදව් පදව් කළ පුවත් කලාවේදීන්ට වසරක් පාසා කැලැන්ඩරයක් ඩයරියක් එහෙම එවනවා. මෙවරත් එහෙම වුණා. අපි කියන්නේ නැහැ හැමෝටම එහෙම කරන්න කියලා.

නමුත් අර්ජුන කරන මේ කාර්යය ගැන අගය කරන්න ඕන. එකයි මේ පුංචි සටහන තැබුවේ. කොටින්ම කිව්වොත් එදා තමන් ගැන ලියපු දැන් පුවත්පත්වල නැති මිතුරන්ටත් එහෙම තෑග්ගක් යවන්න තරම් අර්ජුන කෘතවේදී වුණු එකයි වටින්නේ.

ඉතුරු වෙයිද?

නිළියන් රැසකට මැදි වූ අධ්‍යක්ෂවරයකු මේ දිනවල ඉන්නවා රිවස්ටන්වල. ඒ පළාත සීතල වුණත් නිළියන්ට මැදිව සිටින හින්දා ඒ අධ්‍යක්ෂවරයාට සීතලක් නම් දැනෙන්නෙම නැතිලු. මොහුගේ නම කල්‍යාණ චන්ද්‍රසේකර. ඔහු රිවස්ටන්වල කාලය ගත කරන්නේ ඔහුගේ නවතම චිත්‍රපටය වූ සේයා නිසා.

එහි රංගනයේ යෙදෙන්නේ නිළියෝ විතරයි. හරිම අමාරුවෙන් වෙන්ට ඇති කල්්‍යාණ සේයා අධ්‍යක්ෂණය කරන්නේ. මං දන්න විදිහට නිළියෝ පමණක් ඉන්න චිත්‍රපටයක් මේ හැදෙනවමද කොහෙද.

ඒ හින්දම සේයා වෙනස්ම රටාවකින් යුතු චිත්‍රපටයක් වේවි කියලයි වැඩි දෙනෙකුගේ අදහස. තවත් පිරිසක් බලාගෙන ඉන්නේ නිළියො රොත්තකට මැදිවෙලා කල්‍යාණ ආයේ ගෙදර එන්නේ කුමන ස්වරූපයෙන් ද කියලා දැක බලාගන්න.