වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




අදත් පෙබරවාරි දහසය වැනිදාවකි

අදත් පෙබරවාරි දහසය වැනිදාවකි

අදත් එදා මෙන් පෙබරවාරි 16 වැනිදාවකි. වෙනස එදා අඟහරුවාදාවකි. ඒ 1988 වසරය. එදින දහවල් මධ්‍යහ්නය වන තෙක් ලාංකික සිනමාව පිළිබඳ කවර ගැටලු තිබිය ද එය හොඳීන් පවත්වා ගෙන යනු ලැබිණ. එහෙත් එක් වරම ඇසුණ හෙණ හඬක් වන් ආරංචියක් සමග මුළු මහත් සිනමා කර්මාන්තයම පමණක් නොව රට ම මළ ගෙයක් බවට පරිවර්තනය ව තිබිණ.ඇසූ ඇසූ තැන් වල සිටි ජනී ජනයා කවර විපතක් වීදැයි අදහා ගත නොහැකි ව බලා සිටියහ.

අදට එම කාලකන්නි දවසට අවුරුදු විසි නවයකි. ඒ එවකට මෙරට සිනමාවේ සිටි ජනප්‍රිය සිනමා තාරකාව වන විජය කුමාරතුංග ඝාතනය කළ දවසය. ඒ බව මුළු රටට මුල් වරට කියා සිටියේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ මධ්‍යහ්න ප්‍රවෘත්ති විකාශය අතරමග නතර කර මේ දැන් ලැබුනු පුවතක් හැටියටය. එකල අද මෙන් ජංගම දුරකතන හරහා කෙටි පණිවිඩ ලැබෙන යුගයක් නොවීය. ප්‍රවෘත්තියක් ලැබෙන එකම මාර්ගය වූයේ එබඳු ගුවන් විදුලි නිවේදනයක් පමණී. නැත්නම් පසුවදා ප්‍රවෘත්ති පත්‍රයකින් පමණී. අද මෙන් ෆේස් බුක් හෝ වෙනත් සමාජ ජාලා වෙබ් අඩවි නොමැති එකල කටකතා ඉගිලී යන්නට හේතු තිබුණ ද එයට පෙර ගුවන් විදුලිය ඉක්මන් විය. විජය ඝාතනය ව තිබුනේ එයට මිනිත්තු කිහිපයකට පෙරාතුවය. දහවල් ප්‍රවෘත්ති විකාශය අතරමග නතර කොට විජය ඝාතනය කළ බව රටට කියා සිටියේ හදිසියේ ගුවන් විදුලිය මැදිරියට ඇතුළත් වූ ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් විසිනි. එයින් වසරක් ගතවන්නට මත්තෙන් ප්‍රෙමකීර්ති ටද විජය ගේ ඉරණම උරුම වනු ඇතැයි ඔහු ට සිතුණේ නැතියැයි සිතමි.

මේ වසර විසි නවය ඇතුළත ලංකාවේ පමණක් නොව ලෝකය පුරා සිනමාව පිළිබඳ සියලු ආකල්ප වෙනස්ව ගියේය. තව දුරටත් සිනමාව සොයා රසිකයන් නොයන අතර රසිකයන් සොයා සිනමාව යා යුතුව ඇත. මේ ලියන මම එවකට සිනමා ලෝලියකව සිටියෙමි.අදට ද එලෙසමය. අහම්බයක් හැටියට හෝ සිනමා පුවත්පත් කලාවට මා යොමු වුනේ එයින් වසරකට පසුවය. එබැවින් විජය කුමාරතුංගයන් සමීප ඇසුරු කළ අයෙකු ලෙස පූච්චානම් දෙඩීමේ අයිතියක් මට නැත. මට එතුමන් සමීපව සිට දැක ගන්නට ඉඩ ලැබුනේ ද එක වතාවකි. ඒ බඹරු ඇවිත් චිත්‍රපටය තිර ගත වූ කාලයයි. එය ඉතිහාසය වෙසක් නාට්‍ය වල යොදා සිනමාවට නගා අධ්‍යාපන අමාත්‍යංශය මගින් අනුමත කරන යුගයක් නොවීය.

එකල බඹරු ඇවිත් චිත්‍රපටය නැරඹීමට ද ඒ පිළිබඳ විචාරක සම්ම්න්ත්‍රණයක් පවත් වන්නට ද එවකට මා ඉගෙනුම ලැබූ කොළඹ ආනන්දයේ ඉඩ ලබා දී තිබිණ. එය සංවිධානය කරන ලද්දේ ලොකු අය්යලාය. පොඩි එකෙක් හැටියට සිනමා සම්මන්ත්‍රණය නරඹන්නට ගිය මට කට පියා ගෙන ඉන්නට බැරි විය. අන්තිමට මා ඇසුවේ මහා ලොකු ප්‍රශ්නයකි. එය යොමු කරන ලද්දේ සම්මන්ත්‍රණයට සහභාගි වි සිටි විජය කුමාරතුංගයන්ටය. මගේ පැණය කොයි හැටි වෙතත් විජය එයට උත්තර දෙන්නට නැගිට්ටේය. ඒ ප්‍රශ්ණෙට උත්තර දෙන්න තවම ඔයා ලොකු වැඩියි විජය සිනහවෙමින් කියා සිටියේය. සම්මන්ත්‍රණය නිමා වූ පසු ආපසු යන ගමන් අපි විජය මෙන්ම එහි ආරාධිතයන් වූ ධර්මසේන පතිරාජ, ඩොනල්ඩ් කරුණාරත්න, තිලක් ගොඩමාන්න ,දයා තෙන්නකෝන් ඇතුලු පිරිසට සමීප වීමු. විජය මා සමීපයට විත් මගේ කම්මුල මිරිකා ගියේ සිනහසෙමිනි.

කෙසේ වෙතත් මා සිනමා ලෝලියක් බවට පරිවර්තනය වූයේ විජය රඟපෑ තුෂාරා නැරඹීමෙනි.ළමා වියේ දී අහම්බයක් ලෙස තුෂාරා නැරඹීම මගේ ජීවිතයෙ හැරවුම් ලක්ෂණයක් වනු ඇතැයි මා සිතුවේ නැත. එහෙත් සිනමාව පිළිබද මගේ පිපාසය හට ගත්තේ එයිනි. මේ සියලු කාරණා මවිසින් සටහන් කරනු ලබනුයේ විජය එකල අපට කෙතරම් බලපාන්නට ඇත්දැයි කියන්නටය. විජය මෙන් කොන්ඩය සකස් කරන්නට ඔහු ඇදි විලාසිතා වලින් සැරසෙන්නට හේතුවක් නැතුව හෝ විජය මෙන් ඇවිදින්නට බොහෝ දෙනා පෙළඹුනහ.

විජය සිනමාවට පිවිසෙනුයේ හැටේ දශකයේ අග බාගයේය. එය ලාංකික සිනමාවේ නව යුගයක ඇරඹුම සනිටුහන් කළ යුගය විය. එමෙන්ම එය ලොව පුරා තරුණයන් ගේ සිතුවිලි දේශපාලන හා සාමාජීය වශයෙන් වෙනස් කළ අවදියයි. මෙරට දේශපාලනයේ පළමු තරුණ කැරැල්ල ට පිඹුරු පත් සැකසුන අවදිය වන විට සිනමාවේ ද උඩු යටිකුරු අරගලයක් දැනුවත් ව හෝ සිදුවෙමින් පැවැතියේය. සම්ප්‍රදායික සිනමාව වෙනුවට තරුණයන්ගේ සිනමාවට විළිලන යුගයකි එය. විශේෂයෙන් ප්‍රංශයේ නව රැල්ලේ ආස්වාදය වැළඳුණු තරුණ පෙළක් ලොව පුරා සිනමාවේ සම්ප්‍රදාය වෙනස් කරලීමට අරගල කර ගෙන ගිය අතර ලතින් ඇමෙරිකානු රටවල සිදුවන දේශපාලන අලකලංචි සමග අත් වැල් බැද එයින් වශීකෘත තරුණයන් දේශපාලනය උඩු යටිකුරු කිරීමේ වෑයමක මුළු ලෝකය පුරා යෙදී සිටියහ.

මෙරට කථානාද සිනමාව ඇරඹ දෙවන දශකය නිමා වූ එම සමයේ ලාංකික සිනමාවේ අලුත් යුගයකට මුල පුරමින් සිටියහ. සම්ප්‍රදායික ඉන්දියානු සිනමාකරුවන් මෙන්ම කාර්මික ශිල්පීන් අතරින් කලා අධ්‍යක්ෂ ජේ.ඒ.වින්සන්ට් හැර සියල්ල ආපසු ගොස් අවසානය. සිනමාව අලුත් පරම්පරාවක් අතට මාරු වෙමින් දළු ලමින් තිබිණ.

සැබැවින්ම සිංහල සිනමාව ස්වර්ණමය යුගයේ කූටප්‍රාප්තියට ළංවෙමින් තිබිණ. විජය කුමාරතුංගයන් සිනමාවට පිවිසෙනුයේ ඒ සමයේය. බැලූ බැල්මට සන්සුන් සාමකාමී යුගයක් වුව විවිධ අර්බුද දළු ලමින් තබුණ යුගයකි. ඔහු සිනමාවට සම්බන්ධ වනුයෙ සිනමාවේ සිහින විලාසය ප්‍රතික්ෂප කරන පරම්පරාවක සාමාජිකයකු හැටියටය. එහෙත් නළුවකු වන්නට සම්මතය තුළ අත්‍යවශය සියලු සුදුසුකම් ඔහු සතු ව තිබිණ. ඔහු මුල් වරට ප්‍රෙක්ෂකයා හමුවට එනුයේ මනමාලයෝ චිත්‍රපටයේ සුළු පෙනී සිටිමකින් වුව ඔහු නළුවක් ලෙස සිනමාවට හදුන්වා දෙනු ලබනුයේ හන්තානේ කතාව හරහාය. එයට පෙර ටයිටස් තොටවත්තයන් විසින් නිර්මාණය කරන්නට සැරසුනු පුරන් අප්පු චිතපටය සඳහා ද ඔහු දායක වූ වග පළ වෙයි.

හන්තානේ කතාව චිත්‍රපටයට ඔහු සම්බන්ධ වනුයේ සරසවිය පුවත්පතේ පළ වූ දැන්වීමකට ඉල්ලුම් පත්තරයක් යැවීමෙන් පසු පැවැත්වූ සම්මුඛ පරීක්ෂනයකින් තෝරා ගැනීමෙනි . එබැවින් විජය සිනමාවට හදුන්වාදීමේ ගෞරවය සුගතපාල සෙනරත් යාපා ගේ මුල්ම සිනමා කෘතිය වන හන්තානේ කතාව චිත්‍රපටයට හිමි වෙයි. හන්තානේ කතාව ඊළඟ ලාංකික සිනමාවේ පිවිසුම් දොරටුව ලෙස හැඳීන්වීම නිවැරදිය. සිනමාවේ දෙවැනි සුපිරි තරුව විජය මෙන්ම සිනමා වේ තුන් වන පරම්පරාවේ පුරෝගමි සිනමාකරු ධර්මසේන පතිරාජයන් ගේ පිවිසුම ද හන්තානේ කතාව විය. එහෙත් හන්තානේ කතාවට පෙරාතුව විජය රඟපෑ රෝමියෝ ජුලියට් කතාව සහ මනමාලයෝද තිර ගත විණ.

විජය කුමාරතුංගයන් ගේ කඩවසම් සිනමා පිවිසුම ඒ වන විට සිනමාවේ ජනප්‍රිය නැගී එන තරුණ නළුවන් කිහිප දෙනෙකුගේ ඉරණම වෙනස් කරවන්නට විය. ඒ සඳහා අවුරුදු පහකට වැඩි කලක් ගත විණ. කෙසේ වෙතත් ඔහු සිනමා නළුවකු ලෙස කැපී පෙනෙන්ට පටන් ගනුයේ 1971 වසෙර්ය. ඒ රන්ඔන්චිල්ලා, හතර දෙනාම සූරයෝ, අබිරහස සහ කේසර සිංහයෝ යන චිත්‍රපට හතර ම එම වසරේ තිර ගත වීම සමගය. හතර දෙනාම සූරයෝ මේ අතරින් අපගේ වඩාත් අවධානයට පාත්‍ර විය යුතුය. ඒ අවදියේ සිටි සුපිරිතම සිනමා නළු ගාමිණී ෆොන්සේකා මෙන්ම තවත් ජනප්‍රිය නළුවන් දෙදෙනෙකු එහි විජය සමග ප්‍රධාන චරිත රඟපෑවේය. ඒ සේනාධීර රූපසිංහ සහ ඇන්තනි සී පෙරේරා ය. මේ අතරින් ඒ වනවිට ලාබාලම නළුවා වූයේ විජය ය. ඔහු මුලින්ම මාලිනිට පෙම් කරන්නේ ද හතර දෙනාම සූරයෝ චිත්‍රපටයෙනි. ඒ වන විට ඇය සිනමාවේ නිළි රැජන වීමේ ාගෟරවනීය ගමන් මගට අවතීර්ණය ව සිටියාය.සමකාලින ජනප්‍රිය සිනමාවේ සියළු නිළියන් අබිබවා යා හැකි රුව ගුණ තේජස ඇය සතු විය. සිංහල සිනමාවේ එදා මෙදා කාලය අතරතුර විජය මාලිනී තරම් ප්‍රේමන්විත යුගයක් තවත් තිබුණේ නැත.

එය ඇරඹෙනුයේ තුෂාරා චිත්‍රපටයෙන් වුව ඔවුන් මුලින්ම සිනමාවේ පෙම් කරනුයේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයෙනි.මේ අවදියේම සමගාමිව ගාමිණී මාලිනී යුගය ද පැවැතිය ද ප්‍රේක්ෂකයන්ගේ වඩාත් ආදරයට ලක් වූ පෙම් යුවළ විජය-මාලිනී බැව් අවිවාදාත්මකය. දෙදෙනාගේ සම වයස ද ආකර්ෂණීය පෙනුම ද නිසා මේ යුවළ හොඳට කැපෙන ජෝඩුවක් විය. හතර දෙනාම සූරයෝ චිත්‍රපට කතාවේ එන සියලු කේන්ද්‍රිය සිදුවීම් වලට මුල පුරනුයේ විජය ගේ චරිතයයි. චිත්‍රපටයේ වීරයන් හතරදෙනාටම එක සේ චරිත ගොඩ නැගුන ද හතර දෙනාම සූරයෝ විජය ට සෑහෙන ඉඩ කඩක් ලබා දී තිබිණ. විජය මාලිනී දෙවැනි හමුව මේ දෑස කුමටද විය .

හන්තානේ කතාවෙන් ඇරඹි විජය ගේ සිනමාගමන ජනප්‍රියත්වයේ කිරුළ වෙත හරවන ලද්දේ තුෂාරා සමගය. ඒ වන විට සිංහල සිනමාවට තරුණ නළුවන්ගේ අඩුවක් තිබුණේ නැත. එහෙත් විජය කුමාරතුංගයන් ගේ විශේෂත්වයක් විය. ඔහු ගේ කඩවසම් ස්වරුපය ආකර්ෂණය හඬ පමණක් නොව ඔහුට ලැබුණ සිනමා කෘතින් සැලකීමේ දී එය මනාව ස්ඵුථ වන්නකි. සමකාලීන බොහෝ ජනප්‍රිය තරුණ නළුවන් සියල්ලම පාහේ තෝරා ගත්තේ හුදු ජනප්‍රියත්වය ලැබෙන චිත්‍රපට පමණක් විය. ඒ වන විට සම්ප්‍රදායික සිනමාවට එහා යන තරුණ සිනමාකරුවන් රැසක් එළි දකිමින් සිටි යුගයයි. ඔවුන් හා ගාමිණී ෆොන්සේකා සමග න්‍යායාත්මක හා මතවාද අරගල යක් විය. එහෙයින් ගාමිණී නම් අග්‍රගණ්‍ය රංග වේදියානන් ට හැත්තෑව දශකයේ බිහි වූ විශිෂ්ට තරුණයන් කිසිවකු ගේ චිත්‍රපට සමග පෑහෙනු බැරි විය. එහෙත් මෙම තරුණ පරම්පරාවට විජය නැතුවම බැරි විය. එක් අතකින් විජය ගේ නම්‍යශීලී සුහද බව මෙනම දිදුලන තාරුණ්‍ය එයට වැදගත් වන්නට හේතු වන්නට ඇත. එබැවින් ම ඔහුට ධර්මසේන පතිරාජයන්ගේ සහ යසපාලිත නානායක්කාරයන්ගේ සිනමාවට ද නැතුවම බැරි විය.

හැත්තෑව දශකයේ බිහි වූ ජනප්‍රිය සිනමාකරුවන් අතර විජය කුමාරතුංගයන් සමග කටයුතු නොකළේ සේන සමරසිංහ සහ ජේ.සෙල්වරත්නම් පමණී. සෙසු සියලු සිනමාකරුවන් සමග කටයුතු කරවීමේ වාසනාව විජයට ලැබිණ. මේ දශකයේ බිහි වූ සිනමාකරුවන් අතර වඩාත් වැදගත් සිනමාකරුවන් වන පතිරාජ ,වසන්ත ඔබේසේකර, එච්.ඩී.ප්‍රේමරත්න මෙන්ම ජනප්‍රිය සිනමාවේ යසපාලිත,ලෙනින් මොරායස්, වැන්නන් ගේ චිත්‍රපට සඳහා ද විජය ගේ රංගන දායකත්වය මහෝපකාරි විය . එයට පූර්වයේ සිට සිනමාකරණයේ නියැලි මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙන්ම කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා සහ මුල් දශකයේ සිනමාකරුවකු වන සිරිල් පී අබේරත්න ද විජය තෝරා ගත්තේය.

විජය වේදිකාවේ ද රගපා ඇති නමුත් ඔහු ටෙලිවිෂනය සම්පූර්ණයෙන් බැහැර කළේය. පසුකලක ඔහු කියා සිටියේ තමා අලුත් චිත්‍රපට වල ගිවිසුම් අත්සන් කරද්දි එම චිත්‍රපට ටෙලිවිෂනයේ විසුරුවා හැරීමට නොහැකි වන අන්දමට ගිවිසුම් අත්සන් කරන බවය. එම අවදිය අද මෙන් නොව සිනමාව ද ටෙලිවිෂනය ද එකිනෙකාට එරෙහිව යුද වැදි සමයයි. විජය එලෙස ගිවිසුම් අත්සන් කළාදැයි නොදන්නා කරුණක් වුව ත් අද පරම්පරාවේ විජයගේ රංගනයන් බහුලව දැක ගත්තේ ටෙලිවිෂනය හරහාය. විජය සිනමාව හැරුනු විට දායක වූයේ ගායනයටයි. ඔහු පාර දිගේ චිත්‍රපටය හරහා ගායනයට එක් වූ අතර ගඟ අද්දර සිනමා ගායකයෙකු ලෙස ඔහු ඉහලට ඔසවා තිබිණ. පසු කලක ඔහු චිත්‍රපට රාශියකට මෙන්ම කැසට් පට ගණනාවකට ගායනයෙන් දායක විය. ජෝතිපාලයන් මිය ගිය පසු සිය චිත්‍රපට සඳහා විජය ගායනයෙන් ද දායක වන්නට පටන් ගත්තේය.

විජය ඝාතනය වන විට ඔහු මෙරට සිනමාවේ සිටි ජනප්‍රියතම සිනමා තාරකාව විය. ඉතා කාර්ය බහුල හා තර්ජනාත්මක අවදියේ පවා කිසි කලකත් ඔහු කාලය බැහැර කළේ නැත. සුනිල් සෝම පීරිස් ගේ චිත්‍රපටයටත් වසන්ත ඔබේසේකරගේ චිත්‍රපටයටත් ඔහු එක සේ කැප විය. ජනප්‍රිය සිනමාවෙන් ඔහු උපයා ගත් කීර්තිය විදග්ධ සිනමාවේ කර්තව්‍ය වෙනුවෙන් කැප කරන්නට ඔහු මැලි නොවීය. ඔහු සිය සිනමා ජිවිතයේ වඩාත් ජනප්‍රිය අවදියේ බඹරු ඇවිත් හෝ කැඩපතක ඡායා වැනි චිත්‍රපට සදහා ලබා දුන් දායකත්වය සැලකිය යුතුය. විජය චිත්‍රපට නිෂ්පාදනයට පසුකාලිනව දායක විය.ඒ වරදට දඬුවම්,සමාව යන චිත්‍රපට හරහාය. සමාව කිසි කලක තිර ගත වූයේ නැත. සුප්‍රකට නිෂ්පාදක වරයෙකු වන මුණිදාස ද සිල්වා නිපද වූ තිස්ස අබේසේකරයන් නිර්මාණය කරමින් සිටි මං මුලා වැල් චිත්‍රපටය අතරමග නතර වද්දී විජය එය මිළ‍ට ගත්තේ වැඩ අවසන් කරන්නටය. එහෙත් එය යළි එළි දුටුවේ නැත. එම චිත්‍රපටය විජය ගේ විශිෂ්ට රංගනයෙන් ඔපවත් වූ චිත්‍රපටයකැයි එයට දායක වූවෝ සාක්කි කියති.

විජය ජීවත් විමට වරම් ලද්දේ අවුරුදු හතලිස් තුනක් වැනි කාලයකි.එය සාමානන්‍යෙයන් මිනිස් ආයු කාලය හා සසදද්දි කෙටි කාලයකි. කිසිවකු විසින් ඔහුගේ ජීවිතය උදුරා නොගන්නට සමහර විට ඔහු අප තවමත් අතර විය හැක. එහෙත් මේ හතලිස් තුන් වසරට ඔහු සියවසක මිනිසුන්ගේ භූමිකාවක් ඉෂ්ට කළේය. විජය මිය යන විට ලාංකික සිනමාව මුලුමනින්ම තිබුණේ ඔහුගේ ජනප්‍රියත්වය නම් කර මත ය.එක දිගට පෝලිම් වල පල් කෙරුණු යල් පැන ගිය සිංහල චිත්‍රපට බහුතරය සම්බන්ධයෙන් ප්‍රෙක්ෂකයා සිටියේ ප්‍රතික්ෂප කරන තත්වයකය. එහෙත් විජයගේ චිත්‍රපටයකට පොදු ප්‍රේක්ෂක ආකර්ෂණයක් විය. එබැවින් විජය රගපාන අලුත් චිත්‍රපයක් තිර ගත වන සිනමා හල් ඉදිරියේ මහා පෝලිම් දැක ගත හැකි විය. ඔහුගේ දේශපාලනය නොඉවසූවෝ පවා විජයගේ සිනා

මාවට ආදරය කළහ. ඔහු පිට පිට සය වතාවක්ම සරසවිය ස්මමාන උලෙලේ ජනප්‍රිය නළුවා ලෙස සම්මාන දිනා ගත්තේය. අවසන් වරට සම්මානය දිනා ගන්නා විට ඔහු ජිවතුන් අතර සිටියේ නැත.විජය ගේ ඝාතනයෙන් පසු සිනමාවේ හිස් ඉඩ කඩ බොහෝ කලක් යන තුරු පිරුණේ නැත. ඝාතනය කළ විජය ගේ ජනප්‍රියත්වය සොයා සමහරු එකල තරගයක යෙදිණ.සමහරු විජය සෘජු ව අනුකරණය කළහ. පසු කලක රන්ජන් රාමනායක ජනප්‍රිය නළු කිරුළ ලබා ගන්නා තෙක්ම බොහෝ දෙනා තමන් ජනප්‍රිය යැයි හඳුන්වා ගන්නට විවිධ උත්සාහයන් හි යෙදිණ.මේ අතරින් සමහරු අද සිනමාවේ ද නැත.

වසර විසි නවයක් යනු එදා උපන්නෙකු අද රැකියා කරන යුගයකය .එදා විජය සමීපව ඇසුරු කළ පිරිස මහළු වියටත් ඔහුට ඇලුම් කළ ගැටවර රසිකයන් මැදි වියට එළැඹී අවසානය.විජය ඝාතනය කළ පසු ඒ සොවින් සිය දිවි නසා ගත්තෙක් ද විය. ඔහු මෙරට සිනමා නළුවකු වෙනුවෙන් දිවි නසා ගත් එකම රසිකයාය. එය අතීතයට ද පමණක් නොව අනාගතයට ද වළංගුය. විජය රඟ පෑ වැඩ නිම වූ චිත්‍රපටයක් දෙකක් තවමත් තිර ගත වී නැත .ඔහුගේ චිත්‍රපටයක් අවසන් වරට තිර ගත වනුයේ 1998 වසරේ ය. ඒ විජය ඝාතනය කොට වසර දහයකට පසුවය. එය නරඹන්නට එදා මෙන් රසිකයන් රොක් වූයේ නැත. ඔහු ඝාතනය කරන විට තිර ගත වෙමින් පැවැති ඔබටයි ප්‍රියේ ආදරේ දින එක සිය විසි පහක් ද ඔහුගේ මරණයෙන් පසු තිර ගත වූ මමයි රජා සහ නොම්මර දා හත යන චිත්‍රපට යුගලම දින දෙසිය ද ඉකමවා තිර ගත විය.ඒ මෙරට සිංහල චිත්‍රපට ප්‍රදර්ශණ ඉතිහාසයේ දැවැන්තම වාර්තාවකි. විජය රඟපෑ චිත්‍රපට අතරින් එකක් දෙකක් හැර සියළු චිත්‍රපට මේ වන විට ටෙලිවිෂන චැනල ඔස්සේ පට්ටා ගසා අවසන් ය.

විජය ලද ජනපියත්වය මෙතරම් යැයි මැන කිරා පෙන්වන්නට අද පරම්පරාවට හැකි නම් තමන් අද ලබන ජනප්‍රියත්වය පිලිබද වගාඩම්බරයේ යෙදෙන ටෙලිවිෂන බෝනික්කන් බොහෝ දෙනා මුහුනු සඟවා ගනු නිසැකය.

ඇත්තම නම් විජය යනු සිනමාවේ පමණක් නොව ජිවිතයේ ද විඳී චමත්කාරජනක ආශ්වාදයකි..එය දැන් හැඟෙන්නේ සිහිනෙන් ගෑ සුවඳක් හැටියටය.