වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




කොස්ගස් හන්දියේ අපේ ස්වර්ණා

කොස්ගස් හන්දියේ අපේ ස්වර්ණා

අපි හෙට ගුණසේන සාප්පුවට යනවා පොත් වගයක් ගන්න. ඔයත් එනවද අපිත් එක්ක යන්න' ස්වර්ණා දිනක් මගෙන් ඇසුවාය.

ස්වර්ණා මට හමු වූයේ කොස්ගස් හන්දියේදී. 'සිරිසල හෝටලය' හා සුමිත්‍රා ස්ටුඩියෝව තිබුණේ එතැනය.

'හෙට ඔයා උදේ 10 ට 152 බස් හෝල්ට් එක ළඟට එන්න. මම මර්සිත් එක්ක එන්නම්' ඇය කීවාය.

පසුදා නියමිත වේලාවට ස්වර්ණාත්, මර්සිත් බස් නැවතුම්පළට පැමිණ සිටියහ. අයි. ඩී. එච්. හන්දියේ සිට පැමිණි පිටකොටුව බලා යන බස් රථයෙන් අපි ගුණසේන සාප්පුවට ගියෙමු. ගුණසේන සාප්පුවට මුල්වරට අප තිදෙනාම ගිය ඓතිහාසික ගමන එය විය. ඒ 1965 වසරය. අප තිදෙනාම දහ හතර වැනි වියේ පසළොස් වන වියේ පමණ පසුවීමු.

ස්වර්ණාත්, මර්සිත් අඹ යහළුවන් වූයේ අපි පොතපත කියවීමේ රුසියන් වූ නිසාය. එකල අපි ඔට්ටුවට පොත් කියවීමු.

'ඔයාට ලොතරැයි දිනුමක් ඇදුණොත් මොනවද කරන්නේ?' අපි පාඩම් කරමින් සිටි දිනක් ස්වර්ණා මගෙන් ඇසුවාය.

'ගුණසේන සාප්පුවේ තියෙන ඔක්කොම පොත් සල්ලිවලට ගන්නවා' මට කියැවිණ.

'ඔක්කොම පොත් ගන්න එපා. අපිටත් කියවන්න අපි ඔයත් එක්ක තෝරලා පොත් ගම්මු. අපි තුන් දෙනාම පොත් බෙදාගෙන උස්සගෙන එමු' මර්සි කීවාය.

එදා ගුණසේන සාප්පුවේ ඇති පොත්පත් අතගාමින් අපි පැයක් පමණ ගත කළෙමු.

'අපි අපේ සර් ලියපු පොත් දෙක තුනකුත් සල්ලි දීලා ගම්මු' ස්වර්ණා තම විද්‍යාලයේ ගුරුවරයකු වූ ඇඩ්වින් රණවක ලියූ 'රොබින්සන් කෲසෝ' පොත අතට ගනිමින් කීවාය.

ස්වර්ණාත්, මර්සිත් ඉගෙන ගත්තේ ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේම ස්ටේස් පාරට හැරෙන විටම තිබෙන විජයබා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පන්තියේය. ඇඩ්වින් රණවක (ප්‍රවීණ ලේඛක), ධර්ම ශ්‍රී ජේ. දහනායක (ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකි), වජිරා බාලසූරිය (ප්‍රවීණ ගායිකා) ඔවුන්ගේ ගුරු භවතුන් වූහ.

'අයියෝ ඔය පොත මම කියවලා තියෙනවා කියවන්න කම්මැලියි. මඩවල රත්නායක පරිවර්තනය කරපු 'රොබින්සන් කෲසෝ' ඊට වැඩිය රසවත්' මා කිවේ ඔවුන් කුපිත කිරිමේ අදිටනින්ය.

'එන්න එපා . . . අපේ රණවක සර්ව හෑල්ලු කරන්න' ස්වර්ණා එරෙහි වූවාය.

'ඔයා ගාව මාර්ටින් වික්‍රමසිංහගේ 'සිංහල සාහිත්‍යොදය කථා' පොත තියෙනවද?'

'නැහැ'

'අපි දෙන්නා ගානේ තෑග්ගක්. හැබැයි අපිටත් බලන්න ඕනෙ' කියමින් ස්වර්ණා මුදල් අයකැමි වෙත ගියාය.

පොත මිලදී ගෙනවිත් මහ වික්‍රමයක් කළා මෙන් මිතුරියෝ දෙදෙනා එහි තමන්ගේ අත්සන් තබා පොත මට දුන්හ. (එහි දිනය 04. 03. 1965 යනුවෙන් සඳහන් විය. පොත් පිටකවරය නැති එහෙත්, ඔවුන්ගේ අත්සන සහිත ඒ පොත තවමත් මා සතුව ඇත). එදා ඔවුහු තවත් පොත් කිහිපයක්ම මිලදී ගත්හ. එවකට මා නම ලිව්වේ රංජිත් යනුවෙනි. 'රංජිත් ඔය නමේ බිංදුව වෙනුවට අල්නයන්න ලියන්න. ලස්සනට අත්සන් කරතෑකි' ස්වර්ණා පැවසුවාය. මර්සි එය හිස සලා අනුමත කළාය. එය බිංදුව වෙනුවට 'න්' යන්න එකතු කොට රන්ජිත් යනුවෙන් ලියන්නට යැයි එදා ස්වර්ණා හා මර්සි මට බල කලහ. ඒ අත්සන බිංදුවට වඩා ලස්සනට ලිවිය හැකි නිසා. එතැන් පටන් මා නම ලිව්වේ එහෙමය.

'හරි වැඩේ. පොත් ගත්තා. බස් එකේ යන්න සල්ලි නැහැ' මර්සි කීවාය.

'මා ගාවත් අපි තුන් දෙන්නාටම යන්න තරම් සල්ලි නැහැ' මම ලැජ්ජාවෙන් කීවෙමි.

'කමක් නැහැ. අද ඉතිහාස ගතවන දවසක්. මතක හිටින්නත් එක්ක පයින්ම ගෙදර යමු. වැඩිදුරක් නැහැනෙ. කතාබස්වලින් යන්න පුළුවන්' මර්සි කීවාය.

'උඹ නං කැමති ඇති. මම තමයි පයින් ගිහිං නැහෙන්නේ' ස්වර්ණා නෝක්කාඩුවෙන් කීවාය.

'අපි සල්ලි දෙන්නම්. උඹ විතරක් බස් එකේ පලයං' මර්සි කීවාය.

'ඔව්! උඹ කැමති ඇති. මං ගියාම උඹල මොන දේවාලයක ගියත් නැන්දට මටයි වගඋත්තර බඳින්න වෙන්නේ'

'උඹට තරහ ගියාද?'

'බොරුවට මං කිවේ. පයින් යන එක මොන තරම් ජොලිද?' ස්වර්ණා කීවාය.

අපි තිදෙනා පිටකොටුවේ බෝගහ ළඟින් දිගටම ටෙක්නිකල් හන්දිය දක්වා ද, එතැනින් පංචිකාවත්ත පාර දිගේ මරදාන පාරටත් පැමිණ එතෙනින් ආමර් වීදිය දිගේ කොස්ගස් හන්දියට පැමිණියෙමු.

ස්වර්ණා මල්ලවආරච්චි සහ මා උපන්නේ කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දියේය. මැතිවරණ ආසනය මැද කොළඹය. කොළඹ නගර සභා කොට්ඨාසය අනුව ඇය අයත් වූයේ උතුරු ග්‍රෑන්ඩ්පාස් නාගරික කොට්ඨාසයටය. මා අයත් වුයේ දකුණු ග්‍රෑන්ඩ්පාස් කොට්ඨාසයටය. මේ කොට්ඨාස දෙකම යූ. ඇන්. පී. බලකොටුය. ඡන්ද බලය නැති ස්වර්ණා පාසල් යන කාලයේ සිටම කොමියුනිස්ට් පක්ෂයට හිතවත්කම් පෑවාය. පිය උරුමයෙන් ආ යූ. ඇන්. පියට මම හිතවත්කම් දැක් වූවෙමි. උතුරු ග්‍රෑන්ඩ්පාස් කොට්ඨාසයට යූ. ඇන්. පීයෙන් ඉදිරිපත් වූ ධනවත් ව්‍යාපාරිකයෙකු වූ ෆලීල් කපූර්ට එරෙහිව ග්‍රෑන්ඩ්පාස් පුංචි මිනිස්සුන්ගේ හදවත දිනූ මානව හිතවාදියකු වූ ද වෘත්තියෙන් ටැක්සි රියැදුරෙකු වූ එච්. අබේවර්ධන (වැඩි දෙනා හැඳින් වූයේ අබේසේන කියාය) කොමියුනිස්ට් පක්ෂයෙන් තරග කළේය. තරුණ පරපුර රොඳ බැඳ ගත්තේ අබේසේන නම් කදිම තරුණයාටය.

'තරුණ සහාය අබේට' යැයි එකල ප්‍රචාරක පත්‍රිකාවක් මැතිවරණය සඳහා නිකුත් වූවා මට මතකය. ඩිවොස් ලේන්හි පදිංචි ඇල්බට් පෙරේරා කොමියුනිස්ට් පක්ෂයේ පතාක යෝධයාය. (ඔහු අපි හැඳින්වූයේ ඇල්බට් මාමා නමිනි) ඇල්බට් පෙරේරාගේ පුතෙක් වූ ප්‍රේමසිරි පෙරේරාත් (හිටපු පළාත් සභා මන්ත්‍රී), ටී. ඇම්. සංඝදාස (හිටපු නාගරික මන්ත්‍රී හා කලාකරු) ස්වර්ණාත් මේ දැන්වීමට අත්සන් තබා තිබුණි. මේ ප්‍රචාරක පත්‍රිකාව ප්‍රේමසිරි පෙරේරා ළඟ සුරැකිව තිබුණි. මේ සියලුදෙනාම පීටර් කේනමන්ගේ ආධාරකරුවන් වූහ.

1964 පැවති මේ නාගරික මැතිවරණයෙන් ෆලීල් කෆූර් ලෙහෙසියෙන් තම අසුන ජය ගත්තේය. මා හිතවත්කම් පෑ දකුණු ග්‍රෑන්ඩ්පාස් කොට්ඨාසයට යූ. ඇන්. පියෙන් තරග කළ ඒ. එච්. එම්. ෆවුසි (අද අමාත්‍ය) ජයගත් අතර, එදා කඩවසම් තරුණයකුව සිටි ඔහු කෙතරම් ජනප්‍රිය වී ද යත් ජාති, ආගම් භේද නොතකා තරුණ තරුණියෝ ඔහු වටා රොඳ බැඳ ගත්හ.

කොස්ගස් හන්දිය ජනාකීර්ණ, දූවිලි, ශබ්ද, ඝෝෂා සහිත සංකීර්ණ හන්දියකි. කලාවට ලැදි කලාකරුවන් කලාකාරියන් රැසක් ඒ අවට සිටියෝය. ප්‍රථම සිංහල නළුවා වූ ඇන්. ඇම්. පෙරේරා (කෘතහස්ත දේශපාලනඥ) ප්‍රථම ලාංකේය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ මොහොමඩ් ගවුස්, චිත්‍රපට නළු ප්‍රේම් ජයන්ත්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ගායිකා මල්ලිකා කහවිට (ද සිල්වා), චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ ආර්. මුත්තුසාමි, ගායක ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ඔහුගේ පියා වූ ප්‍රකට තබ්ලා වාදක පොඩි අප්පුහාමි, ලක්ෂ්මී බායි, තබ්ලා වාදක නඩරාජා, ගායක ඒ. ඇම්. යූ. රාජ්, චිත්‍රපට නිෂ්පාදිකා මිලිනා සුමතිපාල ග්‍රෑන්ඩ්පාස් ආශ්‍රිතව උපන් කලාකරුවෝ වූහ. ලෝක බිලියඩ් ශූර ලාෆීර් සිටියේ ඒ අවටය. ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය වූ 'කඩවුණු පොරොන්දුව' මංගල දර්ශනය පැවැත් වූ කිංස්ලි සිනමාහල ද, ජෙසීමා, අසෝකා, සෙයින්ස්තාන්, ගෙයිටි, සෙල්ලමහල් සිනමාහල් පැවැතියේ කොස්ගස් හන්දියට සමීපවය.

ස්වර්ණා හැදී වැඩුණේ මේ පරිසරයේය. මගේ නිවස පිහිටියේ කොස්ගස් හන්දියේ ලෙයාඩ්ස්් බ්‍රෝඩ්වේ පාෙර්ය. මගේ නිවසට යාබද නිවස ඉංග්‍රීසි ඩිස්පෙන්සරියකි. එහි ප්‍රතිකාර කළේ එංගලන්තයේ වෛද්‍ය විද්‍යාලයකින් ර්අඛ්ර්‍ථ උපාධිය ලත් විශේෂඥ වෛද්‍ය ග්‍රේබ්රියල් ද සිල්වාය. ඔහු විශ්වකර්ම දොස්තර කෙනෙකැයි ද ළමයින්ට විශේෂඥයකු බවත් එකල පැවසිණි. මේ ඩිස්පැන්සරියේ ප්‍රධාන ඇපෝතකරි ප්‍රැන්සිස් පෙරේරාය. ඔහු හා බිරිඳ කමලා ද, දරුවන් පස් දෙනා ද නිල නිවාසයේ පදිංචිව සිටියහ. පෙරේරා මාමාගේත්, කමලා නැන්දාගේත් වැඩිමහල් දියණිය මර්සිය. ඉගෙනීමට විශේෂ දක්ෂතා ඇති ඇය මට වඩා මාස කිහිපයක් වැඩිමහලුය. මර්සිගේ අඹ යාළුවා වූ ස්වර්ණා ද ඉගෙනීමට, සාහිත්‍යයට දක්ෂ, උසස් රසවින්දනයක් සහිත යුවතියක් වූවාය.

යාබද නිවෙස්වල සිටි නිසා මර්සි, ස්වර්ණා හා සමඟ එක්ව පාඩම් කළාය. අ. පො. ස. (සාමාන්‍ය පෙළ) විභාගයට අපි සූදානම්ව සිටියෙමු. සිංහල විෂයයට අයත්ව තිබූ බුදුගුණඅලංකාරය, පූජාවලිය, විජයබා කොල්ලය ගැන ටියුටෝරිල්ස් ලිවීමේදී ඔවුන් දෙදෙනා මාවද සහභාගි කර ගත්තේය. අපි ඩිස්පැන්සරියට ඇතුළු වන තැනම තිබූ කහ පැහැති මේසයේ අසල සිට පාඩම් කළෙමු. සමහර දිනවල මේ දෙදෙනා අපේ ගෙදර ද පැමිණ පාඩම් කරති. ස්වර්ණා හා මර්සි එකල අලුත පිට වූ නවකතා, කෙටිකතා, කවි පොත් තලු මර මර කියවූවාය. පොත් ගුල්ලෙකු වූ මට මේ දෙදෙනාටම වඩා අලුත් පොත් කියවීමට අවස්ථාව ලැබුණේ ආනන්දයේ පුස්තකාලයේ ඒවායේ පිටපත් තිබූ නිසාය. ගුණදාස අමරසේකර, එදිරිවීර සරච්චන්ද්‍ර, සිරි ගුණසිංහ, මඩවල රත්නායක, කේ. ජයතිලක, මහගමසේකර ආදීන්ගේ පොත් සොය සොයා අපි කියවීමු. හෙවනැල්ල, යළි උපන්නෙමි, මළගිය ඇත්තෝ, පරාජිතයෝ, අප්‍රසන්න කතාවක්, මස් ලේ නැති ඇට, අබිනික්මන, හෙට ඉරක් පායයි, ව්‍යාංගා, සිත නැති බඹ ලොව, මාර යුද්ධය අප කිය වූ පොත් අතර සුවිශේෂය.

ස්වර්ණා ගැන තවත් කතා ලබන සතියේ...