වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




සුමීගෙන් අහන්න

ටවර් රඟහලට නම ආවේ කොහොමද?

හැඳල වික්ටර් පල්ලිමුල්ල
ප්‍රශ්නය - චිත්‍රපට නළු ලින්ටන් සේමගේ දැන් කෝ?
පිළිතුර - ඔහු ඇමෙරිකාවේ පදිංචියට ගිහිං.

මොරටුව සුනිල් සිරිල් පීරිස්
ප්‍රශ්නය - ගායක මිල්ටන් පෙරේරා විජය කුමාරතුංග වෙනුවෙන් පසුබිම් ගී ගයා තිබේද?
පිළිතුර - ඔව්. 'කේසර සිංහයෝ' චිත්‍රපටයේ 'සන්සුන් රුවන් හද මන්දීරයේ' ගීතය ඔබට මතක නැද්ද?

වැලිගල්ලේ චාන්දනි කුමාරි
ප්‍රශ්නය - ප්‍රථම 'සරසවිය' සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය වූයේ කුමක්ද?
පිළිතුර - ගම්පෙරළිය.

කොටුගොඩ යාගොඩ මුල්ලේ සුනිල් චන්ද්‍රසේකර
ප්‍රශ්නය - 'සරසවිය' පුවත්පතේ චිත්‍රපට විවේචන පළ කළොත් හොඳයි නේද?
පිළිතුර - එහෙම විවේචන බොහෝ අවස්ථාවල පළ වෙනවා.

අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි
ප්‍රශ්නය - පියදාස ගුණසේකර මුලින්ම රඟපෑවේ 'සැඩ සුළං' චිත්‍රපටයේද?
පිළිතුර - නැහැ. 'සිරිසඟබෝ' චිත්‍රපටයේ ඔහු සුළු චරිතයක් රඟපා තිබුණා. නමුත් ඔහු නළුවකු ලෙස ජනප්‍රිය වුණේ 'සැඩ සුළං' චිත්‍රපටයෙන්.

මාතලේ ධර්මා ඒකනායක
ප්‍රශ්නය - මහාචාර්ය කාලෝ ෆොන්සේකා ලියූ 'පෙම් සිනා සුන් වුණා' ගීතය කේ. ඩී. කේ. ධර්මවර්ධන විසින් සංශෝධනය කළේ යැයි කියන්නේ ඇත්තද?
පිළිතුර - එම ගීතයේ එක් තැනක 'නැතිවුණා, නැතිවුණා, නැතිවුණා' කියා යෙදෙනවා. එය වෙනුවට 'ඔබට ජයම වේ ඔබට සුව සැදේ' යන වචන පෙළ කේ. ඩී. කේ. එකතු කළ බව මා අසා තිබෙනවා.

වටරැක නලින් පද්මසිරි
ප්‍රශ්නය - 'හියුගෝ' සම්මානය පිරිනැමෙන්නේ කුමන අන්තර් ජාතික චිත්‍රපට උලෙළේද? 'හියුගෝ' යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
පිළිතුර - මෙය චිකාගෝ චිත්‍රපට උලෙළේ දෙන සම්මානයක්. හියුගෝ කියන්නේ මිථ්‍යා කතාවල සඳහන් වන දෙවි කෙනෙක්. 1964 දී ඉතාලි මූර්ති ශීල්පියෙක් හියුගෝ ප්‍රතිමාවක් නෙළුවා. ඒ සඳහා ඔහු ආභාසය ලැබුවේ බර්ග්මාන්ගේ 'ද සෙවන්ත් සීල්' චිත්‍රපටයේ එන දේව රූපයකින්.

වරකාපොල දිලිප් සඳරුවන්
ප්‍රශ්නය - 'පුන් සඳෙන් රැස් ගං තෙරෙන් - කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන්' ගීතය මුලින්ම ගැයුවේ වික්ටර් රත්නායක ද? පුන්සිරි සොයිසා ද?
පිළිතුර - වික්ටර් රත්නායක. පසුව එය පුන්සිරිගේ ඉල්ලීමක් මත සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේන පුන්සිරිට හුදෙක් ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට පමණක් ගායනා කිරීම සඳහා අවසර දුන්නා. නමුත් පුන්සිරි ඒ පොරොන්දුව කඩ කරමින් දිගටම ඒ ගීතය ගැයුවා.

මත්තෙගොඩ අජිත් ජෝතිය කරසිංහ
ප්‍රශ්නය - මරදානේ 'ටවර් රඟහලට' 'ටවර්' යන නම යෙදුණේ කෙසේද?
පිළිතුර - රඟහල ඉදිරිපිට ඇති ඔරලෝසු කණුව ඔබ දැකලා ඇති. ඒ ඔරලෝසු කණුව ඉදිවුණේ 'ටවර් ඔෆ් ලන්ඩන්' නම් වූ ඔරලෝසු කණුවේ ආකෘතියට අනුව. ඒ නිසා තමයි රඟහලත් 'ටවර්' යන නම ලැබුවේ.

ඉහළ තල්දුවේ ආනන්ද වික්‍රමආරච්චි
ප්‍රශ්නය - චන්ද්‍රන් රත්නම්ගේ 'කොමන් මෑන්' ඉංග්‍රීසි චිත්‍රපටයේ රඟපාන ශ්‍රී ලංාකික නළු නිළියන් කවුද?
පිළිතුර - බෙන් කිංස්ලි, බෙන් ක්‍රොස් වගේ කීප දෙනකු හැරුණු කොට අනිත් හැම නළු නිළියන්ම ශ්‍රී ලාංකික තමයි. ජෙරොම් ද සිල්වා, අශාන් ඩයස්, විල්සන් ගුණරත්න, ලකී වික්‍රමනායක, ටෙඩී විද්‍යාලංකාර, විල්මන් සිරිමාන්න, මොහොමඩ් අදිමලි, නුමායා සිරිවර්ධන මේ ඔක්කොම ශ්‍රී ලාංකික.

මීගමුවේ ඩබ්. ලෙනාඩ් ප්‍රනාන්දු
ප්‍රශ්නය - ලක්ෂ්මන් විජේසේකර ගයන 'ඇස ප්‍රීති කරන රූපා - නැති වී යති නොහැඟී' ගීතය පැරණි නූර්ති ගීයක් ද? එය කුමන නාට්‍යයේද? එහි ගීත රචකයා කවුද?
පිළිතුර - එය පී. ටී. පී. ප්‍රේමචන්ද්‍රගේ 'මානාභරණ' නාටකයේ ගීතයක්. රචනයත් ඔහුගේමයි. ඉස්සර නාට්‍යවලට වෙනම ගීත රචකයෝ හිටියේ නැහැ. නාට්‍ය රචකයාම තමයි සින්දු ලිව්වෙත්.
මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. හික්කඩුව සීනිගම ඊ. දයානන්ද ද සිල්වා, ග්‍රෑන්ඩ්පාස් විමල් රණසිංහ, මරදානේ ඩබ්. ඒ. අතුල, එච්. ජී. සැමුවෙල්, ගෝනපල සුනිල් බී. වේහැල්ල, පාණදුර කුසුම්සිරි විජේනාම, මීගමුවේ පී. ඩී. චාලට් ප්‍රනාන්දු, දෙමගොඩ ආරි එගොඩවත්ත, රන්පොකුණගම ආනන්ද ප්‍රනාන්දු.