වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




67 වන බර්ලින් උලෙළ අද ඇරැඹේ

67 වන බර්ලින් උලෙළ අද ඇරැඹේ

රන්ජිත් කුරුප්පු බර්ලින් සිනමා උලෙළේ සිට...

ලොව අග්‍රගණ්‍ය සිනමා උලෙළක් ලෙස සැලකෙන හැට හත්වෙනි බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළ අද උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට දැන් සියලු විධිවිධාන යොදා අවසන්ය. සිනමා උලෙළ අද සිට 19 වනදා තෙක් පැවැත්වේ. මෙවර සිනමා කෘති 399 ක් බර්ලින් නගරයේ සිනමා ශාලාවල් 240 ක ප්‍රදර්ශනය කරන්නට විධිවිධාන යොදා ඇති අතර එයින් සිනමා කෘති 125 ක් කාන්තාවන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිනමා කෘති වීම මෙවර උලෙළේ විශේෂත්වයක් බැව් සිනමා උලෙළේ අධ්‍යක්ෂ ඩීටර් කොස්ලික් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියේය.

චිත්‍රපට උලෙළ සඳහා වැයවන මුදල ඉයුරෝ මිලියන 24 ක් වන අතර එයින් මිලියන 7.2 ක් ජර්මන් රජය විසින් යොදවා ඇති බවත් ඉතිරි මුදල චිත්‍රපට නැරැඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශපත් විකිණීමෙන් සහ අන්‍රග්‍රාහකයින්ගෙන් ලැබී ඇති බැව් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. සිනමා උලෙළේ ප්‍රධාන අනුග්‍රාහකයින් වන්නේ අවුඩ් මෝටර් රථ නිෂ්පාදන සමාගම, ගලාස්හුට ඔරිජිනල් සමාගම (Glashuette Original), L'oreal Paris සහ ZDF - දෙවන ජර්මන් රූපවාහිනී නාළිකාවයි. පසුගිය වසරේ පවත්වන ලද සිනමා උලෙළේදී ප්‍රවේශ පත්‍ර 335986 ක් අලෙවි වී ඇති අතර මෙවර ඊට වඩා ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක් අලෙවි වනු ඇතැයි විශ්වාස කරනු ලැබේ.

හැට හත් වෙනි බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළ ප්‍රධාන අංශ හතරකින් සමන්විත වේ. එනම් තරගකාරී අංශය, බර්ලින් සිනමා උලෙළේ විශේෂ අංශය, පැනොරාමා සහ ෆෝරුම් අංශයයි. තරගකාරී අංශය සඳහා චිත්‍රපට 24 ක් තෝරාගෙන ඇති අතර එයින් 18 ක් හොඳම චිත්‍රපටය සඳහා තරග වදිනු ඇත. ආසියානු කලාපයෙන් තරගකාරී අංශය සඳහා මෙවර තේරී ඇත්තේ ON THE BEACH AT NIGHT AIONE නමැති කොරියානු චිත්‍රපටයත් HAO JILE නමැති චීන චිත්‍රපටය සහ Mr.LONG  නැමති තායිවාන් චිත්‍රපටය පමණි. මිස්ට ලෝංග් චිත්‍රපටය තායිවාන් සහ ජපන් සම නිෂ්පාදනයකි.

67 වෙනි බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළේ ජූරි සභාපති වශයෙන් පත්ව සිටින්නේ බේසික් ඉන්ස්ටික්ට් (1987), ටෝටල් රිකෝල් (1990), ස්ටාර්ෂිප් ටෲපස් (1997), බ්ලැක් බුක් (2006) සහ ඊලි (2016) නැමති ආන්දෝලනාත්මක චිත්‍රපට නිර්මාණය කළ සම්මානනීය චිත්‍රපට තිර රචකයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන පෝල් ෆර්හෝවන් වීම විශේෂත්වයකි.